Malcom Cardinal Cooray with Mahinda and Shiranthi Rajapaksa

පාස්කු දේශපාලනයේ අරමුණු මොනවාද?

අජිත් පැරකුම් ජයසිංහ

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන්නට ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩ තුනක් තියෙනවා. 1. වගඋත්තරකරුවන් සොයා නීති මගින් දඬුවම් කිරීම. 2. හානිපූරණය. 3. නැවත එවැනි දේ සිදුවීම සඳහා ඉඩ නොතැබීම. ඔය තුනම වෙනුවෙන් රජයන්/ ආණ්ඩු අවශ්‍ය පියවර අරගෙන තියෙනවා.

ඒ වුණාට කාදිනල් ප්‍රමුඛ ආගමික දේශපාලන බලවේග ඉල්ලන්නෙ ඒවා නෙමෙයි. රටේ සිංහල බෞද්ධ නායකයන්ව පාස්කු ප්‍රහාරයට ඈඳා ඔවුන්ගෙන් පළිගැනීම. ඒ නිසා තමයි, මුලින් යහපාලනය සමග සම්බන්ධ පිරිස් පසුපස එළෙව්වෙ. යහපාලනය සමග සම්බන්ධව සිටි මුස්ලිම් නායකයන් පසුපසත් එලෙව්වා. දැන් ඔවුන් සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා. දැන් තනිකරම සිංහල බෞද්ධ නායකයන් මේකට ඈඳන ක්‍රම තමයි හොයන්නෙ. කොටින්ම දැන් හැමෝටම සහරාන් හෂීම් අමතකයි වගේ. ඔහුගේ කල්ලියට එරෙහිව පවරා තිබෙන නඩුවත් අමුතුයි. චෝදනා 23,000කට වැඩියි. මෙහෙම නඩුවක් කොච්චර කාලයක් අහන්න වෙයිද? මේ අතරෙ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ රිමාන්ඩ් භාරයේ සිටි, මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන ඊබ්‍රාහිම් ඇප මත නිදහස් වෙනවා.

ත්‍රස්තවාදය ගැන අපට තිබෙන අවබෝධය අනුව, පාස්කු ප්‍රහාරය වගේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කිරීම පහසු වැඩක් නෙමෙයි. රාජපක්ෂ කෙනෙකු සල්ලි දීලා අපට බලයට එන්න මරාගෙන මැරෙන බෝම්බයක් ගහපල්ලා කිව්වට උන්ගෙ වහලෙකුවත් එහෙම කරන්නෙ නැහැ. ඒ සඳහා දැවැන්ත මානසික ශක්තියක් අවශ්‍යයි. එය කළ හැකි වන්නෙ ප්‍රබල දෘෂ්ටිවාදී මොළ සේදීමකින් විතරයි. සංවාද දේශපාලනයකිනුත් බැහැ.

එල්ටීටීඊ සංවිධානය මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කරගත හැකි දේශපාලනයක් නිර්මාණය කළා. එහෙම එකක් නිර්මාණය කරන්න 89 කැරැල්ලෙදි ජවිපෙට බැරි වුණා. හේතුව ජවිපෙ දේශපාලනය ඒ තරම් දැඩි විදියට ආධ්‍යාත්මික නොවීම.

ඔය පාස්කු ප්‍රහාරය මගේ අනුමානය අනුව නම්, ISIS සමග හෝ සම්බන්ධයක් නැතුව ලංකාවේ ඉස්ලාම් ආගමික උම්මත්තකයන් පිරිසක් විසින් කරන ලද ත්‍රස්ත ක්‍රියාවක්. එහි නායකයන්මයි එය කළේ. ඊළඟ නායකත්වය සමන්තුරෙයිහිදී මරාගෙන මැරුණා. තුන්වන පෙළ සම්පූර්ණයෙන්ම වගේ අත්අඩංගුවේ. ඉතිරි වූ අය ඉන්නට තිබෙන්නේ සුළු ඉඩක්. සහරාන් හෂීම්ගේ ත්‍රස්ත කල්ලිය සම්පූර්ණයෙන්ම වගේ මර්දනය කර අවසන්. අලුතෙන් මතුවෙනවා නම් එන්නේ වෙන පිරිසක් විය හැකියි. කෙසේ වෙතත්, ලංකාවේ මුස්ලිම් සමාජයෙන් එවැනි ත්‍රස්ත කල්ලි නැවත මතුවීමට තිබෙන ඉඩ අඩුයි.

අපරාධ සම්බන්ධ කුමන්ත්‍රණ න්‍යාය හැමදාමත් පවතිනවා. බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් ‘නොවිසඳුණු අභිරහස්’ තවමත් කාලෙන් කාලෙට මාධ්‍යවල මතුවෙනවා. මේවා ඇත්තෙන්ම සම්බන්ධ වන්නේ මිනිසුන් කතන්දර අසන්නට තිබෙන කැමැත්ත සමගයි. 1969දී ඇමරිකා එක්සත් ජනපද ගගනගාමීන් සඳ මත පාතැබීම මවාපෑමක් බවට තර්ක තියෙනවා. පෘථිවිය පැතලියි කියා විශ්වාස කරන අයත් තවම ඉන්නවනේ. මේ හැම දේකදිම වගේ පාස්කු ප්‍රහාරයෙත් හිස් තැන් තියෙනවා. බුද්ධි අංශ සමග සම්බන්ධය වගේ දේවල් ඒ අතර වෙනවා.

එවැනි එක් ප්‍රධාන කරුණක් වුණේ එක් මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ බිරිඳ වූ සාරා ජැස්මින් ඉන්දියාවට පළාගිය කතාව. මේ වන විට ඩීඑන්ඒ පරීක්ෂණ හා වෙනත් සාක්ෂි මත එහි සත්‍යය හෙළිදරව් වී තිබෙනවා. ඒත්, කාදිනල්වරයා ඩීඑන්ඒ සාක්ෂි ගැන පවා සැක සංකා සමාජයේ වපුරමින් මෙම විමර්ශන ක්‍රියාවලිය ගැන සමාජය තුළ අවිශ්වාසය ඇතිකිරීම සඳහා දිගින් දිගටම කටයුතු කරමින් සිටිනවා. විමර්ශනය ගැන අවිශ්වාසය ජනිත කිරීම හා නඩත්තු කිරීම පාස්කු දේශපාලනයේ ප්‍රධාන කුලුනක්.

දැන් තියෙන්නේ වෙන දේශපාලනික ගේමක්. මෙය පාවිච්චි කරමින් කාදිනල් කරන දේ ගැන විමසීමෙන් බැලූ විට මේ ගේම තේරුම් ගත හැකියි. කාදිනල් පාස්කු ප්‍රහාරය පාවිච්චි කරමින් යහපාලන ආණ්ඩුව බිඳදමා ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ආවා. ඒ සමගම ලංකාවේ ප්‍රබලම දේශපාලන පවුල වන රාජපක්ෂ පවුල ඇතුළෙන් පුපුරා ගියා. ලංකාවේ ආර්ථිකයත් කඩාවැටුණා. 2022 අරගලයේදී කාදිනල් සහ කතෝලික සභාව ඉතා ආන්තික භූමිකාවක් කළා. අරගලයේ නායකත්ව පෙළගැස්ම ඉතා පැහැදිලිවම සිංහල බෞද්ධ ගොවිගම පිරිමි ආධිපත්‍යයට විරුද්ධ බලවේගයක්. කතෝලික පල්ලියේම හාමුදුරු කෙනෙකු බවට පරිවර්තනය වී තිබෙන ඕමල්පේ සෝභිත හිමි දක්වාම තත්වය ඒකයි.

සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යය ගැටලු සහගත එකක්. ඒක තමයි, හොඳ හෝ නරක වර්තමාන ශ්‍රී ලංකාව නිර්මාණය කළේ. එය පරාජය වුණා නම් නියත වශයෙන්ම ශ්‍රී ලංකාව අඩු ගානේ රාජ්‍ය දෙකකට හෝ වෙන් වෙනවා. එහෙම වුණා නම්, ඒ දෙකටම මීට වඩා සරු වෙන්නත් ඉඩ තිබුණා. කෙසේ වෙතත්, සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යය හා නායකත්වය විනාශ කරදැමීමෙන් සිදුවන්නේ ලංකාවේ අරාජිකත්වය පෝෂණය වීම විතරයි. එයට එරෙහිව ඒකරාශී වී තිබෙන ආගමික, වාර්ගික, කුල, ජෙන්ඩර් සුළුතර දේදුනු සන්ධානයට රාජ්‍ය පාලනයක් සිදුකළ නොහැකියි. මෙවැනි ආර්ථික අර්බුදයක් හා ජාත්‍යන්තර දේශපාලනික බලපෑම් මැද්දේ ඔවුන්ට කළ හැක්කේ තව තවත් අරාජිකවාදය තීව්‍ර කිරීම පමණයි. මෙය වැළැක්විය යුතුයි.

අරගලයේම දිගුවක් ලෙස පාස්කු ප්‍රහාරය භාවිතා කරමින් වත්මන් ආණ්ඩුව හා ඉතිරි සිංහල බෞද්ධ ප්‍රභූ දේශපාලනික නායකත්වය බිඳදැමීම සඳහා වෛරය පැතිරවීමේ වැඩසටහන 2023 අප්‍රේල් 21දා අලුත් ජවයකින් යුතුව ඉදිරියට ගත් ආකාරය දකින්නට ලැබුණා. ඒ සමග ජනතා විමුක්ති පෙරමුණත් එකතු වීම කැපීපෙනෙන ලක්ෂණයක්. ජවිපෙ නායකත්වයත් සිංහල බෞද්ධ ගොවිගම එකක්. ඇතැම් විට ඔවුන්ට මේ ආන්තික කතෝලික බලවේගය ඇතුළතින් දියකර දමන්නට හැකි වේවි. ඒත්, ඔවුන්ගේ බලවේගයත් අරාජිකවාදයේ ගොදුරු බව අප අමතක නොකළ යුතුයි.

මේ ගැන පසුගියදා ස්වාධීන රූපවාහිනිය සමග පැවැත්වුණ සම්මුඛ සාකච්ඡාවකදී කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිනී පියතුමා කීවේ දැන් ත්‍රස්තවාදයක් නැති නිසා ත්‍රස්ත විරෝධී පනත අවශ්‍ය නැති බවයි. පාස්කු ප්‍රහාරයට පෙර එවැන්නක් අනුමාන කළාදැයි ඇහුවාමත් ඔහු කීවේ ඒ වකවානුවේ තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාවක් නිසා තමන් එවැන්නක් අනුමානය නොකළ බවයි. පාස්කු දේශපාලනයේ උගුල මෙයයි.