Easter Sunday attack

පාස්කු කොමිෂමේ අරමුණ මොකක්ද?

පාස්කු ඉරිදා ප්‍රහාරය නමින් ප්‍රකට 2019 අප්‍රේල් 21 දින ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් විසින් ක්‍රිස්තියානි දේවස්ථාන හා හෝටල් කිහිපයකදී එල්ලකරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව නිකුත් වී තිබේ.

Translations by Creative Content Consultants

දැනට හෙළිදරව් වී තිබෙන ආකාරයට එහි තිබෙන ආන්දෝලනාත්මකම නිර්දේශය වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීමයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉන්දියාවෙන් ලැබුණු තොරතුරු මත පදනම්ව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව භාර ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා අවසානයේදී ආරක්ෂක ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා වගකිවයුතු බැවින් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.

එහෙත්, රාජපක්ෂවරුන් මෙම කොමිෂම පත්කිරීමේ අරමුණ 2014දී තමන්ට පිටුපෑ මෛත්‍රීපාල සිරිසේනගෙන් පළිගැනීම පමණකැයි කියා කෙනෙකුට තර්ක කරන්නට පුළුවන.

ඉස්ලාම් අන්තවාදී සංවිධාන මෙන්ම බොදුබල සේනාව ද තහනම් කරනවා නම් හොඳය. තවත් යම් වැදගත් නිර්දේශ ද එහි තිබෙන බව පෙනේ. එහෙත්, ප්‍රහාරයෙන් මියගිය අය, තුවාල ලද අය හා ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටුවී තිබේද?

එහෙත්, පාස්කු ප්‍රහාරය එල්ල කළේ, එය මෙහෙයෙව්වේ, එය සැලසුම් කළේ, එම සැලසුම්වලට ආධාර කළේ කවුරුද?

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පුහුණු කර ප්‍රහාරයකට යෙදවීම පහසු කාර්යයක් නොවේ. විශේෂයෙන්ම උගත්, ධනවත්, වරප්‍රසාදිත තරුණ පිරිසක් ඒ සඳහා යොදාගැනීම පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා ඔවුන් දෘෂ්ටිවාදයකින් සන්නද්ධ කළ යුතුය. පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය, නිවැරදි තාක්ෂණයෙන් බෝම්බ සැකසීම, මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීම, ඔවුන් මෙහෙයවීම, බෝම්බ නිසි ලෙස පුපුරුවාහැරීම යන මේ සියල්ල දැවැන්ත මෙහෙයුමකි. එය හුදෙක් මරාගෙන මැරුණු පිරිස විසින්ම කරන ලද්දකැයි සරල ලෙස සිතිය හැකිද?

දින කීපයකට පසු ප්‍රහාරයේ වගකීම ISIS නම් ත්‍රස්ත සංවිධානය විසින් භාරගන්නා ලදී. එහෙත්, ඔවුන් මෙම ප්‍රහාරකයන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට පැහැදිලි සාක්ෂි ලැබී ඇති බවක් වාර්තා වන්නේ නැත.

එහෙම සම්බන්ධයකුත් නොමැතිව, ISIS සංවිධානය ලවා මෙම ප්‍රහාරයේ වගකීම භාරගන්නට පෙළඹවීම සඳහා කටයුතු කළේ කවුරුද?

ටාජ් සමුද්‍ර හෝටලයේදී බෝම්බය පුපුරවන්නේ නැතුව දෙහිවල හෝටලයකට ගිය මරාගෙන මැරෙන බෝම්බකරුවා හෝටලයෙන් පිටවී ගොස් ආපසු පැමිණෙන මොහොත දක්වා සමස්ත කාලය තුළ ඔහු කළ කී දේ සම්බන්ධ තොරතුරු තිබේද?

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලින් සියලු කරුණු අනාවරණය කරගෙන තිබේද?

මහා ශබ්දයක් නගමින් පාස්කු ප්‍රහාරය සමග සම්බන්ධ කරන ලද ආණ්ඩුවේ සතුරු මුස්ලිම් දේශපාලකයන් සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් සොයාගෙන තිබෙන සාක්ෂි මොනවාද?

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔය තරම් නිශ්චිත තොරතුරු දෙන්නට තරම් ඉන්දීය බුද්ධි අංශ දැනුවත් වූයේ කෙසේද? එය පසුපස ඉන්දියාව සිටීද?

පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසි ලබාගත්තේ කවුරුද? අවසානයේදී එවකට පැවති රජය අන්ත පරාජයක් අත්කරගනිද්දී වත්මන් රජය අතිවිශාල ජයග්‍රහණයක් ලබාගත්තේ පාස්කු ප්‍රහාරයට ද ස්තුතිවන්ත වන්නට නොවේද?

පාස්කු ප්‍රහාරයේ වගඋත්තරකරුවන් සොයා දඬුවම් කරන බවට දුන් ප්‍රතිඥාවලට කුමක් වීද? අවසානයේ බෝම්බය තබා තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේනද?

පාස්කු ප්‍රහාරයත් සමග උද්වේගකර ප්‍රකාශකයකු බවට පත්වූ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් මෙම වාර්තාවෙන් තෘප්තිමත් වෙයිද? ආණ්ඩුවෙන් යුක්තිය ඉටුකරදීමේ බ්‍රෝකරකම කළ ඔහුට මෙම වාර්තාවත් රැගෙන කතෝලික ජනතාව ඉදිරියට යාහැකිද?

එක්කෝ පාස්කු ප්‍රහාරය අප සිතන තරම් සංකීර්ණ නැති, ඒ කට්ටිය විසින් බෝම්බ සොයාගෙන බැඳගෙන පුපුරවාගෙන කරන ලද සරල වැඩක් විය යුතුය. නැතිනම් තවමත් නොවිසඳුණු අභිරහස් රැසක් ඉතිරිව තිබේ.

Translations