parliament

පාර්ලිමේන්තු මුල්‍ය කමිටුවට මහා බැංකුව සහභාගි නොවීම: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගකීම භාර ගත යුත්තේ ඇයි?

බර්නාඩ් එදිරිසිංහ

මහබැංකු නිලධාරීන් මුල්‍ය කාරක සභා රැස්වීමට සහභාගි නොවිම පිළිබඳ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ආවේගශීලී ලෙස කතා කරමින් එමගින් පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක්කර ඇතැයි චෝදනා කළේය. මහබැංකුව ආරක්ෂා කිරීමේ පිළිවෙතක් ගත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙනත් වැදගත් වැඩ නිසා පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කිරීම අවශ්‍ය නොවේයැයි කිමට තරම් එඩිතර වු  බව ද වාර්තා විය.

පාර්ලිමේන්තුවට විධායකය (දේශපාලන හා රාජ්‍ය සේවය) උත්තර දීමට බැඳී සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය කටයුතු හා හැසිරීම සම්බන්ධයෙන් මහජනයාට උත්තර දීමට  බැඳී සිටිති. මෙය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නියෝජන ආණ්ඩුක්‍රමයේ එක් අංග ලක්ෂණයක්  වේ. අද සිදු වන්නේ විධායකය  පාර්ලිමේන්තුවට වග නොකියන අතර මන්ත්‍රීවරු ද සිය කාර්යභාරය සම්බන්ධයෙන් මහජනතාවට වගකීම මගහරිති.  

සංවර්ධනය පිළිබඳ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් වත්මන් මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට උත්තර නොදීම කාලයක පටන් පාර්ලිමේන්තුවේ මතු කරනු ලබන ප්‍රශ්නයකි. මුදල් අමාත්‍යවරයා වශයෙන් බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය පිළිබඳ ඇගයීමක් කිරීමට සුදුසු දර්ශකයක් manthri.lk වෙබ් අඩවිය සපයයි. එම පාර්ලිමේන්තු ශ්‍රේණිගත කිරීම් අනුව බැසිල් රාජපක්ෂ සිටින්නේ 223 තරම් පහළ  මට්ටමකය. පාර්ලිමේන්තු විවාදයන්ට සහභාගි වී ඇත්තේ අවස්ථා දෙකකදී පමණක් යැයි Basil Rajapaksa_Manthri.lk වෙබ් අඩවිය වාර්තා කරයි.  

පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලනය පිණිස තිබෙන අධිකාරිය මෙලෙස සෝදාපාළුවට ලක් වුයේ කෙසේ ද සහ ඊට වගකිව යුත්තේ කවුරුන්ද යන්න සොයාබැලීම සුදුසුය.

විධායකය සංවරණ හා තුලන ක්‍රමයට ලක්කිරීමට තිබෙන විධිවිධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් එකිනෙක ගලවා දැමීම සම්බන්ධයෙන් ද මහජන නියෝජිතයින් අවසාන වශයෙන් වගකිව යුතු නොවේදැයි ප්‍රශ්න කළ යුතු නොවේද?

වර්තමානයේ උද්ගත වී ඇති සංවර්ධන අර්බුදය දශක කිහිපයක පටන් වර්ධනය වු එකකි. මෙම අර්බුදය කළමනාකරණය කිරීම පිණිස ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් හඳුන්වා දෙන ලද එක් විසඳුමක් වුයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කාර්යක්ෂම කිරීම පිණිස 200දී හඳුන්වා දෙන ලද රාජ්‍ය මුල්‍ය කළමනාකරණ (වගකීම්) පනතයි.  මෙම පනත මගින් අයවැය හිඟය 2006 වර්ෂයේ සිට දළ දේශීය නිෂ්පාදිතයෙන් 5% නොඉක්මන බවටත්, ස්වෛරී බැඳුම්කර සඳහා රජයේ ඇපවීම දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% නොඉක්මවන බවටත්, බාහිර ණය 2013 වර්ෂය වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 60% නොඉක්මවන බවටත් (විධායක විසින්) පාර්ලිමේන්තුවට සහතික වීම නීතියක් බවට පත්කොට තිබිණි. 2022 වන විට තුන් වරක් සංශෝධනය කර ඇති මෙම පනතට අනුව අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% දක්වාත්, මුළු රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 80% දක්වාත් 2030 වන තුරු පවත්වා ගෙන යාමට පාර්ලිමේන්තුවේ අනුමැතිය කැබිනට් මණ්ඩලයට ලැබී තිබේ.

අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැති නව ලිබරල් දේශපාලන පක්ෂ මෙහෙයවනු ලබන්නේ පක්ෂ නායකයා විසිනි. පාර්ලිමේන්තුව තුළදී දේශපාලන විධායකයේ අණසකට පසුපෙළ මන්ත්‍රීවරුන් යටත් විය යුතුය. මේ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස මෙරට සංවර්ධනය ගමන් කරන්නේ කවර දිශානතියකටදැයි කරනු ලබන විචාරය තීරණය වන්නේ තමන් සිටින්නේ ආණ්ඩු පක්ෂයේ ද නැත්නම් විපක්ෂයේ ද යන්න මතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම  හැසිරීමට විශ්‍රාමික අගවිනිසුරු සිරිපවන් කදිම පාඩමක් 2016දී ලබාදී තිබේ. 2016 යහපාලන රජය 2003 මුල්‍ය කළමනාකරණ පනත සංශෝධනය කරමින් ස්වෛරී ණය සඳහා ඇපවන ප්‍රතිශතය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7% සිට 10% දක්වා ඉහළට දැමීමට පනත් කෙටුම්පතක් ඉදිරිපත්  කරන ලදී. 2013දී එම පනත ප්‍රථම වතාවට සංශෝධනය කරන විට නිහඬව සිටි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා මෙවර අධිකරණය ගොස් 2016 සංශෝධනය ව්‍යවස්ථානුකූල නොවේ යැයි තර්ක කළේය. පැමිණිල්ල විභාග කළ සිරිපවන් අගවිනිසුරුවරයාගේ මතය වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් විධායකය විසින් ගනුලබන තීරණ අධිකරණයට විනිශ්චය කළ නොහැකි බවයි. ඉන් නොනැවතුන සිරිපවන් අගවිනිසුරුවරයා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මුලධර්ම නැමති සය වන පරිච්ජේදයට අවධානය යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ අනුව කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

1978 ව්‍යවස්ථාවේ හයවන පරිච්ජේදය රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී ගුරුකොට ගතයුතු මුලධර්ම අඩංගු වන පරිච්ජේදයයි. එම පරිචේජේදයේ අඩංගු මුලධර්ම ක්‍රියාත්මක කරගැනීමේලා මෙරට පුරවැසියන්ට තිබුණු නෛතික බලය එම පරිච්ජේදයේ අවසාන වගන්තියෙන් අහිමි කොට ඇත. සංවර්ධනය පිළිබඳ තිරසර ඉලක්කවල හරයට සමාන කළ හැකි මෙම පරිච්ජේදය පිළිබඳ මහජන මන්ත්‍රිවරු කිසිදු අවස්ථාවක සැලකිල්ලක් දක්වන්නේ නැත. මහජනයා සහ පාලකයා අතර සන්නිවේදන පාලමක් ලෙස ක්‍රියාකරන ජනමාධ්‍ය ද, විශේෂයෙන්ම පාර්ලිමේන්තු වාර්තාකරුවෝ පවා, ඒ පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකරති.

2016දී ස්වෛරී ණය අනුපාතය ඉහළ දමන විට ඊට පක්ෂව සිටි හර්ෂ ද සිල්වා මන්ත්‍රිවරයාත්, එයට විරුද්ධව අධිකරණයට ගිය බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාත් අද නිහඬව සිටීම මගින් මෙරට සංවර්ධනය කළමනාකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගවීමේ ඇත්ත සවරූපය හෙළිදරව් කරයි.

ආයතනයක් වශයෙන් වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවට තිබු මූල්‍ය පාලනය පිළිබඳ අධිකාරිය 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව විසින් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය වෙත ව්‍යවස්ථානුකූලව ලබා දෙන ලදී. ඇත්ත වශයෙන්ම 19වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයෙන් උත්සාහ දරා තිබුණේ ජනාධිපති හා කැබිනට් මණ්ඩලය වෙත සංකේන්ද්‍රනය වෙමින් තිබෙන විධායක බලය එලෙසම තිබියදී, පාර්ලිමේන්තුව තුළ නව ආයතනික ව්‍යුහයක් නිර්මාණය කරමින් දේශපාලනික වශයෙන් දිනෙන් දින අධිකාරිවාදය දෙසට ගමන් කරන විධායකට සංවරණ හා තුලන ක්‍රමයක් නිර්මාණය කිරීමයි. 20වන සංශෝධනය මගින් එම සංවරණ හා තුලන ක්‍රම අහෝසි කරමින් විධායකය (ජනාධිපති/ කැබිනට් මණ්ඩලය හා රාජ්‍ය සේවය) පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනික ව්‍යුහයක් ලෙස නිර්මාණය කරගැනීමට වත්මන් පාලකයෝ සමත් වූහ.

අද තිබෙන සංවර්ධනය පිළිබඳ අර්බුදය විසඳිය හැක්කේ විධායකය සංවරණ හා තුලන ක්‍රමයකට ලක්කරන බලයක් යළි පාර්ලිමේන්තුව තුළ ගොඩනගා ගැනිමෙනි. මේ සඳහා ඇත්ත උවමනාවක් තිබෙනවා නම් සර්ව පාක්ෂික සමුළු වෙනුවට පාර්ලිමේන්තුව තුළ පක්ෂ පාට හෝ ඩීල් නැති විවෘත සංවාදයක් ආරම්භ කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමු.