Unic radio

ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වසා දැමීම ඉතා නිවැරදි තීරණයකි

අජිත් පැරකුම් ජයසිංහ

රේඩියෝ ගැන තිබුණු මාධ්‍ය ආසාව නිසා 2001දි කෙටි කලක් රජරට සේවයේ වැඩ කළා. වැටුප් ගත්තෙ නැහැ. ශ්‍රියානි සමරනායක පාලිකාව ලෙස කටයුතු කරද්දි අපට නිදහසේ කටයුතු කරන්නට අවස්ථාව දුන්නා. ඉතා සීමිත පිරිසක් විතරක් අහපු රජරට සේවයේ යල්පැනගිය සීමිත සම්පත් පාවිච්චි කරලා පුහුණු වෙමින් රේඩියෝ අත්හදා බැලීම් කීපයක් කරන්නට අවස්ථාව ලැබුණා. පස්සෙ එජාප ආණ්ඩුව බලයට ඇවිත්, නැවතත් ජෝතිපාල තෙබුවන පාලක වෙලා අපව අයින් කරලා දැම්මා. ආපහු පොදු පෙරමුණ බලයට ඇවිත්, ශ්‍රියානි පාලක වෙලා නැවත වැඩකරන්නට කතා කළත් මං ගියේ නැහැ.

එදා රජරට සේවය දැකපු දවසේ සිට පසුගිය අවුරුදු විස්ස තුළත් සිදුවන්නට ඇත්තෙ සම්පත් නාස්තියක්. රජරට සේවයේ හොඳ එළිමහන් රංග පීඨයක් තියෙනවා. කවුරුද ඒක පාවිච්චි කළේ? 2002දි සටන් විරාම කාලෙ හිරු කණ්ඩායමේ හිටපු අපි එතැන මහාචාර්ය සිද්ධාර්ථන්ගෙ පොංගු තමිල් ප්‍රසංගයක් සංවිධානය කළා.

මෙවැනි තැන් පසුගිය කාලයේ පවත්වාගෙන ගිය එකම අරමුණ ඒ තැන්වල වැඩ කළ ආචීර්ණ කල්පිත ජීවීන් විශේෂයකට රැකියා සැපයීම. මේවායේ රැකියා කළ අය කරපු ප්‍රධාන දේ අතීත උරුමය උලාකමින් අනාගත පරම්පරාවලට අවස්ථා ලබාදීම වැළැක්වීම හා උනුන් කුලල් කාගැනීම. ඒ රැකියාවලට වැටුප් ගෙවීම අවම මට්ටමින්වත් සාධාරණීකරණය කිරීමේ හැකියාවක් සහිත ප්‍රතිඵලයක් එවැනි තැන්වලින් ලැබුණෙ නැහැ.

ගුවන් විදුලි සංස්ථාව කියන්නෙ ශ්‍රව්‍ය කටුගෙයක් බවට පත්කළ හැකි ආයතනයක්. එහි වටිනා අන්තර්ගතයන් රැසක් තිබෙනවා. ඒවා ඩිජිටල්කරණය කළ යුතුයි. ගිහින් බලන්න දෙයක් නැහැ. අන්තර්ජාලයෙන් ලබාගත හැකි විය යුතුයි. එමගින් ආදායම් ලබන්නටත් පුළුවන්. කොළඹ හා රජරට සේවය වගේ තැන් කීපයක් රේඩියෝ කටුගෙවල් බවට පත් කළාට කමක් නැහැ. ලංකාවේ ලෝකයටම වැදගත් රේඩියෝ ඉතිහාසයක් තිබෙනවා.

දීර්ඝ කාලයක් තිස්සේ පමාවෙමින් තිබෙන ගුවන් විදුලි තරංග සංඛ්‍යාත පරාසය ඩිජිටල්කරණයෙන් පසුව රේඩියෝ, රූපවාහිනී ආදියේ අති විශාල වෙනසක් සිදුවේවි. අවශ්‍යතාව අනුව ඒවා යොදාගන්නට ජනතාවට විවෘත අවස්ථාවක් ලබාදිය යුතුයි. ගුවන් විදුලි සංස්ථාව පමණක් නොවෙයි රූපවාහිනී සංස්ථාවත් විකාශනයෙන් අයින් වෙලා නියාමනය පමණක් කළ යුතුයි. කෙසේ වෙතත්, වෙබ් තාක්ෂණය සමාජය විනිවිද යාමත් එක්ක බහුමාධ්‍ය අවකාශ නිර්මාණය වේවි. විශේෂයෙන්ම ජංගම දුරකථනයේ අලුත් පරම්පරා සමස්ත මාධ්‍ය අවකාශයම වෙනස් කරාවි. ප්‍රජා ගුවන් විදුලිය වගේ යල්පැනගිය NGO සංකල්ප උස්සගෙන එන්න එපා ප්ලීස්. මේ ආචීර්ණ කල්පිත ජීවීන් පුළුන් පුරවලා කටු ගෙවල් එකක දෙකක විතරක් තිබ්බාම ඇති.

ගුවන් විදුලි සංස්ථාව සතුව ස්වාභාවික අතින් වටිනා තැන් ගණනාවක විකාශනාගාර තියෙනවා. ඒ ඉඩම්වලින් ද ප්‍රයෝජන ගත හැකියි. සමහර තැන් රේඩියෝ තීම් එක සහිත සංචාරක හෝටල් බවට පත්කරන්නට වුණත් බැරිකමක් නැහැ. ඔක්කොටම කලින් මේවා වසාදමන තීරණය ගත යුතුයි. ඵලදායී සේවාවක් නොකර කැන්ටින්වල තේ බිබී, අතන මෙතන රස්තියාදු වෙවී ඉන්න දහස් ගණනක් සේවකයන්ට ඵලදායී රැකියාවක් සොයාගැනීමට අවස්ථාව ලබාදිය යුතුයි. සෙස්ස පස්සට.