champika and sajith

ප්‍රභූ දේශපාලනයට සජිත් ප්‍රේමදාසගේ බලුගූ ප්‍රහාරය

අජිත් පැරකුම් ජයසිංහ

මීට වසර කීපයකට පෙර, සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස විසින් බැංකුවක තැන්පත් කිරීමට ගෙන ආ මුදල් තොගයක් තුළ තිබී අති විශාල හොර නෝට්ටු සංඛ්‍යාවක් හසු විය. ඒ සම්බන්ධයෙන් දුලාංජලීගේ පැත්තෙන් තියෙන කතාව මෙසේය: දුලාංජලීට ණය වී සිටි ඇය යටතේ සේවය කළ අයෙකු ඇය මුදල් ඉල්ලන නිසා තාවකාලිකව ඇය රැවටීමට එම මුදල් ගෙනැවිත් දී තිබුණේ ඇය එය පරීක්ෂා නොකර වහාම බැංකුවට රැගෙනගොස් තැන්පත් නොකරනු ඇතැයි සිතාය. එහෙත්, ඇය බැංකුවට යාම නිසා සිද්ධිය හෙළිදරව් විය.

කුමන තත්වයක් යටතේ හෝ බැංකුවට හොරසල්ලි රැගෙන ආවේ දුලාංජලී බැවින් ඇය අත්අඩංගුවට ගත යුතුව තිබිණි. එහෙත්, ඒ වන විට ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ වූ රජය මැදිහත් වී සිද්ධිය යටපපත් කළේය. හිටපු ජනාධිපතිවරයකුගේ දියණියක එවැනි වංචනික ක්‍රියාවකට ඒ අයුරින් පැටලීම මහින්ද රාජපක්ෂ අනුමත කළේ නැත.

විමල් වීරවංශගේ ව්‍යාජ පාස්පෝට් සිද්ධියේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහ විමල් වීරවංශට ද එවැනි සහායක් ලබාදුන්නේය. ලංකාවේ ප්‍රභූ දේශපාලනයේ හැටි එහෙමය. ප්‍රභූවරු තමන්ගේ එකා යයි කියා සිතන පුද්ගලයා හැකි තරම් දුරට ආරක්ෂා කරති. ලංකාවේ ප්‍රභූ සමාජයේ බොහෝ විෂමාචාර සඟවාගන්නේ මේ අන්දමිනි.

ආශු මාරසිංහට ලිංගික චෝදනාවක් එල්ල කරමින් ඔහුගේ බිරිඳ විසින් පවත්වන ලද පුවත්පත් සාකච්ඡාව මෙහෙයවීමට හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කටයුතු කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අනුදැනුම නොමැතිව යයි සිතිය නොහැකිය.

ආශු මාරසිංහ සමග වසර දෙකක් පමණ එකට ජීවත් වූ බව කියන කාන්තාව ඔහු පිළිබඳ ප්‍රසිද්ධියේ කරන එම හෙළිදරව්වෙන් පෙනීයන්නේ ඇය සිටින වෛරී මානසිකත්වයේ තරමයි.

එහි එල්ලෙන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර විවිධ පුද්ගලයන්ට ලිංගික චෝදනා කරමින් කරනු ලබන අපහාසාත්මක ප්‍රකාශ මාලාව ඔස්සේ ප්‍රකාශ වන්නේ හිරුනිකාගේත්, ඇගේ නායකයා වන සජිත් ප්‍රේමදාසගේත් තරමයි. ඔවුන් ඉලක්ක කරන්නේ ආශු මාරසිංහ නොව, රනිල් වික්‍රමසිංහයි. ඔහුගේ ප්‍රතිරූපයයි. එය ජාතික මට්ටමෙන් නොව, ජාත්‍යන්තර මට්ටමෙන්ම ඉලක්ක කර තිබේ.

දැනට තිබෙන තත්වය තුළ සජිත් ප්‍රේමදාසට ඉදිරි මැතිවරණ ජයගැනීමේ අපහසුතාවක් නොපෙනේ. එහෙත්, ජනාධිපති ධුරය හඹා යාමේ ඔහුගේ නොතිත් ආශාව හැර මෙවැනි අර්බුදයකදී රටට අවශ්‍ය නායකත්වය ලබාදීමේ කිසිදු දැක්මක් ඔහු පෙන්වා නැත. එවැනි අයෙකු අතට බලය යාම අතිශය අවදානම්කාරී විය හැකි වුවත්, ප්‍රජාතන්ත්‍රවාදය අනුව එය වැළැක්විය නොහැකි වන්නට ඉඩ තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීම ද එවැනිම සංසිද්ධියකි. එහෙත්, මෙවැනි සමයක බලය අල්ලාගත්තත් රැකගැනීම පහසු නැත.

එම නිසා, මෙවැනි මොහොතක සජිත් ප්‍රේමදාස මෙවැනි තිරශ්චීන ප්‍රහාරයක් රනිල් වික්‍රමසිංහට එල්ල කිරීම දේශපාලනික වශයෙන් මතභේදාත්මකය. ඔහු එයට ඇත්තෙන්ම සම්බන්ධ නොමැති නම්, ඒ බව සන්නිවේදනය කළ යුතුය.

කෙසේ වෙතත්, අතිශය දුෂ්කර අවස්ථාවක ආර්ථිකය ගොඩගැනීම සඳහා ඉතා දුෂ්කර ප්‍රයත්නයක් දරමින් සිටින රනිල් වික්‍රමසිංහට සජිත් ප්‍රේමදාස එල්ල කළ මෙම බලු අසූචි ප්‍රහාරයෙන් එක් දෙයක් සලකුණු වේ. එනම්, ලංකාවේ ප්‍රභූ දේශපාලන බලය මහින්ද රාජපක්ෂගෙන් අවසන් වන අතර, රනිල් වික්‍රමසිංහට එය රැකදීමට බැරි වෙනු ඇත. එතනින් එහාට තිබෙන්නේ නිර්ප්‍රභූ අපි ඔහෙලාගේ දේශපාලනයයි.

ප්‍රභූ දේශපාලනයේ අවසානය ලංකාවේ තවත් සුසමාදර්ශීය වෙනසක් සලකුණු කරනු ඇත. එය 2009දී සිදුවූ අවසන් සුසමාදර්ශීය වෙනස වැනිම ලේ වැකි එකක් වන්නට ඉඩ තිබේ.

ආශු සම්බන්ධයෙන් ඔහුගේ සහකාරිය එල්ලකරන චෝදනාව කෙතරම් දුරට සත්‍යදැයි මම නොදනිමි. ඒ හා සම්බන්ධ නීතිමය කාරණා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තියට අයත් වනු ඇත. කෙසේ වෙතත්, වික්ටෝරියානු ලිංගික සදාචාරය හිස් මුදුනින් ගත් අයට මට කීමට ඇත්තේ එක් දෙයකි. ලිංගික විපරීතභාවයන් යනු ඔය සිතන තරම් දුර්ලභ චර්යා නොවේ. මෙය කියවන ඇතැම් කෙනෙකු තුළ ඇති විපරීත ලිංගික හැඟීම් මොනවාදැයි හඳුනාගැනීමට අවශ්‍ය වන්නේ බ්‍රව්සර් මතකයෙන් මකාදමන ලද ඉතිහාසයේ පෝන් වීඩියෝ පිළිබඳ දත්ත සොයාබැලීම පමණි. සෑම ආකාරයකම ලිංගික විපරීතභාවයන් සන්තර්පණය කිරීම සඳහා නිර්මාණය කරන ලද පෝන් වීඩියෝ තිබේ. ඔබේ විපරීතභාවය හඳුනාගෙන අවශ්‍ය වීඩියෝව නරඹා බ්‍රව්සරයේ මතකය මකා දමන්නට අමතක නොකරන්න.

වික්ටෝරියානු සදාචාරය මත හා එවැනිම නීති පද්ධතියක් මත පදනම් වූ සමාජයක ජීවත් වන විට වවුලාගේ මගුල් ගෙදර ගිය විට එල්ලී සිටින්නා සේ සිටිය යුතුය. විශේෂයෙන්ම ලිංගික හා සමාජ සහකරුවන්/ කාරියන් අතර අවබෝධයට විපරීතභාවයන් ගැටලුකාරී විය හැකිය. උදාහරණයක් ලෙස, බීඩීඑස්එම් නම් ලිංගික ආශාවට කැමති අඹුසැමියන් සිටිය හැකි වුණත්, එම චර්යා දූදරු සම්බන්ධතාවලදී ගැටලු ඇතිකළ හැකිය. කලකට ඉහතදී ප්‍රසිද්ධ දේශපාලනඥයකුට වාමාංශික මාධ්‍ය විසින් නගන ලද චෝදනාවක ගැඹුර එවැනි ‘විපරීතභාවයකි.’

වාමාංශික මාධ්‍ය හා කලාව ගැන කතාකරන විට මා අද කියැවූ සිරිමල් විජේසිංහගේ සටහනක් සිහිපත් වේ. ලංකාවේ ලිංගිකත්වය සිනමාවට හසුකරගත් බොහෝ කලාකරුවන් විසින් කරන ලද නිර්මාණවල තිබෙන්නේ අතිශය පටු සමාජ ලිංගික දැක්මකි. එයට හොඳම උදාහරණය සම්මානලාභී සිනමාකරුවකු වන අශෝක හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න චිත්‍රපටයයි. එය සම ලිංගිකත්වය ගැන අංශු මාත්‍රයක අවබෝධයක් නොමැති පඩංගු පත්තර වාර්තාවක් මත පදනම් වූ ඉතා බොළඳ දැක්මක් සහිත චිත්‍රපටයකි. එහෙත්, ඇල්බොරාදා කරා එන අවුරුදු විස්සක පමණ කාලය තුළ අශෝක හඳගම නම් කලාකරුවා තුළ සුවිසල් පරිණාමයක් සිදුවී තිබෙන බව කියන්නේ සතුටෙනි.

ලංකාවේ බෙහෙවින් උත්කර්ෂයට නංවන, විශිෂ්ට වුවත්, භාවාතිශය සිනමාකරුවකු වන ධර්මසිරි බණ්ඩාරනායකගේ දැක්ම පිළිබඳ සිරිමල් විජේසිංහ මෙසේ සටහන් කරයි: “ඔහුගේ ‘හංස විලක්’ සහ ‘තුන්වෙනි යාමය’ යනු ආකෘතික වශයෙන් මෙ රට සිනෙමාවෙ හි හැරවුම් ලක්ෂයන් ය. ඒ ගැන කතා දෙකක් නැත. එහෙත් – එහි සන්දර්භය ගැන විමසා බැලීමෙ හි දී – මේ කෘති දෙකෙ හි දෘෂ්ඨිවාදය වනාහි අන්ත ප‍්‍රතිගාමී එකකි. මා කළණ මිත‍්‍ර මහචාර්ය සුචරිත ගම්ලතුන් – මේ කෘති දෙක ට ම – අම්බානට නෙලූවේ ඒ නිසාවෙනි. මන්ද – මේ කෘති දෙකම – සම්ප‍්‍රදායික වික්ටෝරියානු සදාචාරය ආරක්ෂා කරනා නිර්මාණයන් වූ හෙයිනි.”

ලිපියට ප්‍රස්තුත කරගත් ප්‍රශ්නයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සිට ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී එක්සත් ජාතික පක්ෂයට ගිය වරුණ දීප්ති රාජපක්ෂ දක්වා වාමාංශිකයන් බොම්බිලි කරවල කෑල්ලක් සේ එහි කුණු රසය අවුස්සන ආකාරය බලාසිටීම ද විපරීත පෝන් වීඩියෝවක් බලනවා වැනිය.