MAK Perera

ප්‍රබුද්ධ හෝමොෆෝබියාව

මේ ලංකාවේ වම නූතනකරණය කරන්නට ඉවහල් වූ එක්ස් කණ්ඩායමේ ලන්ඩන් සඟරාවේ කර්තෘ, හිටපු ජවිපෙ ක්‍රියාධරයකු වන කල්‍යානන්ද පෙරේරාගෙ පෝස්ට් එකක් මේ. ඔහු දැන් ආපහු ටිපිකල් හෙවත් සංකේතාත්මක වාමාංශිකකයෙක්. මේක හෝමෝෆෝබියාවෙ ප්‍රබුද්ධ ස්වරූපයක්. සාමාන්‍ය ජනප්‍රිය අදහසක්. ඒත් නිවැරදි නැහැ. කිසිදු අධ්‍යයනයකින් ඔය වගේ කරුණක් හෙළිදරව් වෙලාත් නැහැ.

ඒ වගේම, කෙනෙකුගේ ජෙන්ඩර් අනන්‍යතාව ප්‍රකාශයට පත්කිරීම ඒ පුද්ගලයාගෙ අයිතියක්. එතනදි වර්තමානයෙදි සලකා බලන ප්‍රධානම සාධකය ඒ පුද්ගලයාගෙ කැමැත්ත. වෙනත් අයට අයිතියක් නැහැ ඒ ගැන තමන්ගෙ අදහස එම පුද්ගලයා පිට පටවන්න. රනිල් පිරිමි කියන ස්ත්‍රී පුරුෂ සමාජ අනන්‍යතාව ප්‍රකාශ කරන කෙනෙක්. ඔහුගේ ලිංගික නැමියාව ඔහුගෙ පෞද්ගලික දෙයක්. ඒ ගැන තොරතුරු පබ්ලික් ඩොමේන් හෙවත් ප්‍රසිද්ධ අවකාශයේ මොනම ස්වරූපයකින්වත් නැහැ.

ජීව විද්‍යාත්මකව හෝ නෛතිකව ගැහැණු හෝ පිරිමි කියල සැලකෙන අය වෙනුවෙන් ට්‍රාන්ස්ජෙන්ඩර් කියන අනන්‍යතාව පිළිගත්තෙ ඒ අය ඒකට කැමති වූ නිසා හා එතන ගැටලුවක් තිබෙන නිසා. මුලදී යම්කිසි තත්වයක් මත යම් ලිංගිකභාවයකට අනුව සමාජ අනන්‍යතාව සඳහන් වුණ කෙනෙකුට පසුව ඒ අනන්‍යතාව වෙනස් කරගන්න එක ලේසි නැහැ. ඒ වගේම, ජීව විද්‍යාත්මකව මිනිසුන් ස්ත්‍රී පුරුෂ කියල බෙදීමත් අසම්පූර්ණයි. සමාජභාවය සම්බන්ධයෙන් ගත්තාම ස්ත්‍රී, පුරුෂ කියන අනන්‍යතා දෙක ප්‍රමාණවත් නැති නිසා දැන් අනන්‍යතා දුසිම් ගණණක් හඳුනාගෙන තිබෙනවා. ඒකෙ ගැටලුත් ගොඩක් තියෙනවා. සමහර රටවල මේ පුද්ගල නිදහස උස්මුරුත්තාවට ගිහින් කෙනෙකු තමන් නරියෙකුය කියල හූ කියලා උත්තර දුන්නොත් ඒකත් පිළිගන්නට සිදුවෙන තත්වයකුත් ඇතිවෙලා. කොහොම වුණත්, කෙනෙකු පිරිමියකු ලෙස පිළිගැනීමට ලක්වෙලා පිරිමි විදියට සමාජ අනන්‍යතාව ප්‍රකාශ කරනවා නම් ඒකත් ඒ හා සමාන දෙයක්. එහි කිසිදු විශේෂත්වයක් නැහැ. රනිල් එහෙම කෙනෙක්. ඇයි ඔහුගෙ අනන්‍යතාව කල්‍යානන්ද පෙරේරා වෙනම සලකුණු කරන්නෙ? ඔහුට ඒකට අයිතියක් තියෙනවද?

මෙතනදි කල්‍යානන්ද පෙරේරා කරන්නෙ නූතන කතිකාවන් ගැන අන්දෝ සංසාරයක් නොදැන වල්පල් දෙඩවීමක්. රනිල්ගේ ලිංගික නැමියාව පිළිබඳ අපි දන්නෙ නැහැ. ඒ ගැන ඔහු කියන දේ හැර වෙනත් දෙයක් දැනගන්නට අපට අවශ්‍යත් නැහැ. ඔහු විවාහක පුද්ගලයෙක්. ඔහුට බිරිඳක් ඉන්නවා. ඔවුන්ට සමාජ ජීවිතයක් තියෙනවා. ඒක තමන් කැමති ආකාරයට ගතකරන්නට ඔවුන්ට ඉඩදීම මානුෂික දෙයක්. මේ ඇඟිලි ගහන්නෙ ඒකට.

සමාජයක් එකතු වෙලා ඔහුගේ ලිංගික නැමියාව ගැන ප්‍රබන්ධ රාශියක් නිර්මාණය කරලා බෙදාගන්නවා. ඉන් පස්සෙ ඒවා ඇත්තය කියන පදනම නිර්මාණය කරනවා. ඒ මත පදනම් වෙලා මේ වගේ ප්‍රකාශ කරනවා.

මේක තමයි වර්තමාන සමාජයේ තිබෙන බුද්ධිමය ප්‍රචණ්ඩත්වය. මේක තේරුම් ගන්න පැරණි එක්ස් කණ්ඩායමේ මේ වගේ අයගෙ චර්යාවන් හැදෑරීමත් වැදගත් වෙනවා.