ප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩකම නොවේ

අජිත් පැරකුම් ජයසිංහ

මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීම ආන්තික ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ මුග්ධ ක්‍රියාවකි.

එමගින් ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන ආර්ථිකය තවදුරටත් විනාශ කරදමනු ඇත. මුදල් අච්චුගැසීම නිසා උද්ධමනය පාලනය කරගැනීමේ ප්‍රයත්නයන් අසාර්ථක වනු ඇත.

ජනතාවගේ දුප්පත්කම දුරලීම හා අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා තිබෙන අරමුදල් හා සම්පත් පෝස්ටර් ගැසීම වැනි වැඩකට නැති වැඩවලට වියදම් වනු ඇත. වැඩකිරීමට තිබෙන මහජන කාලය නාස්ති වනු ඇත.

මෙම මැතිවරණයෙන් පසු විවිධ පාර්ශ්වවලට තව තවත් මැතිවරණ අවශ්‍ය වනු ඇත. රටේ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වන අතර එය ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ ක්‍රියාවලියට සහ ආර්ථික ප්‍රතිසංස්කරණවලට දැඩිව බලපානු ඇත.

පළාත් පාලන මැතිවරණයෙන් පත්වන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව රටට බරකි. එම සංඛ්‍යාව අඩු කිරීමේ හා තරුණ නියෝජනය වැඩි කිරීමේ යෝජනා ක්‍රියාත්මක වීම තවත් වසර හතරකට කල්යනු ඇත.

මෙම මැතිවරණ ක්‍රියාවලි හරහා යන බලලෝභීන් පාලකයන් බවට පත්වන විට ඔවුන් අතට ලැබෙන්නේ තවදුරටත් විනාශ වූ ආර්ථිකයකි. දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔවුන් දෙසන නරිවාදං ඔවුන්ගේ රෙදි පල්ලෙන් බේරෙනු ඇත. එසේම, ජනතාවට දෙන බොරු බලාපොරොත්තු සුන්කිරීම ඔවුන්ගේ පැවැත්මට දරුණු තර්ජනයක් වනු ඇත.

කොවිඩ් වසංගතය මධ්‍යයේ රට වැසීමේ ජනප්‍රිය දේශපාලනය විසින් රට නැවත ගොඩගත නොහැකි දරුණු ආර්ථික අර්බුදයකට පත්වනු ඇතැයි අප කියද්දී බොහෝ අය එයට හිනාවුණහ. මේ මැතිවරණය පවත්වන්නට එපා යයි අප කරන ඉල්ලීමට හිනාවන අයට ද සිදුවන්නේ එයයි.

ප්‍රජාතන්ත්‍රවාදය යනු මෝඩකම නොවේ. බහුතරයේ කැමැත්ත හැමවිටම නිවැරදි නැත. මෝඩකම අයිතිවාසිකමක් නොවන බව නැවත මතක් කරමි.

එහෙත්, ඇතැම් මෝඩ ලාංකිකයෝ රෑ වැටුණු වලේ දවල් වැටීම ද අයිතිවාසිකමක් ලෙස සලකති.