Let me vote

පළාත් පාලන මැතිවරණ හා ප්‍රතිවිප්ලවය

මහජන ප්‍රශ්න විසඳන්න මොන ආණ්ඩු තිබුණත් ගත හැකි ක්‍රියාමාර්ග තමයි දැන් බලයෙ ඉන්න ආණ්ඩුවත් කරමින් ඉන්නෙ. කවුරු බලයට ආවත් ඔය ටික තමයි කරන්න වෙන්නෙ. වෙන වැඩක් නොකර දේශපාලන රැස්වීම් කර කර, කයිවාරු ගහ ගහ ඉන්න බල පෙරේතයන් බලය ගත්තොත් ඔය ටිකවත් කරන්න පුළුවන් වෙයිද සැක සහිතයි. මේ අර්බුදයෙන් ගොඩඑන්න වැඩකරන්න ඕනැ. අරගල කරල වැඩක් නැහැ. අරගල උත්කර්ෂයට නගන අයට බලය ගත්තත් අරගලකාරයන්ගෙන් පරිප්පු කන්න තමයි වෙන්නෙ.

අපි ප්‍රවර්ධනය කරන්නෙ කඩාකප්පල්කාරීත්වය නෙමෙයි. විප්ලවය. මේ සිදුවෙන්නෙ ක්‍රම වෙනසක්. ඒක කරන්නෙ කවුරුද කියන එක වැදගත් නැහැ. විප්ලව වකවානුවලදි සාමාන්‍ය කාලවල තියෙන මැතිවරණ අරව මේව ඒ විදියටම තියන්න බැරිවෙනවා. උදාහරණෙකට රජයට සල්ලි නැති මේ වෙලාවෙ රුපියල් බිලියන දහයක් විතර රාජකාරි, ප්‍රචාරය ආදියට වියදම් කරන, රටේ ජන ජීවිතයට බාධාකාරී පළාත් පාලන මැතිවරණයක් මොන මගුලටද? පළාත් පාලන මන්ත්‍රීවරුන් 8,000ක් පත්කරගත්තාය කියලා රටට වැඩක් තියෙනවද?

මේ කරන වැඩ ඉදිරියට ගෙන ගිහින් 2024දි මැතිවරණ පවත්වන එක තමයි වඩා නිවැරදි.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ අනිවාර්ය දෙයක් නෙමෙයි. මේ රටේ මේ වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නැහැ. තියෙන්නෙ බල දේශපාලනික යුද්ධයක තාවකාලික සංහිඳියාවක් විතරයි. ඇමරිකාවෙ ආධාරයෙන් ලංකාවෙ සිදුවුණු ඊනියා අරගලයෙ ඊළඟ අදියර ගැන පුරසාරම් දොඩන අය තවම ඉන්නවා. ඒ අය බලාඉන්නෙ නැවත පහරදෙන්න. ඒ තමයි ප්‍රතිවිප්ලවය.

සිදුවන ක්‍රම වෙනස සිදු කළ යුතුයි. එහෙම නැතුව ලාංකීය සමාජයට ඉදිරියට යන්නට බැහැ. ප්‍රතිවිප්ලවය සාර්ථක වුණත්, අපට තිබුණු ක්‍රමය පවත්වාගෙන යන්නට බැහැ. ප්‍රතිවිප්ලවවාදීන්ට කඩාකප්පල්කාරීත්වය හැර වෙන වැඩපිළිවෙලක් නැති නිසා අරාජිකත්වය හැර අන් කිසිවක් ලංකාවට ලැබෙන්නෙ නැහැ.

ඒ නිසා මං නම් මේ වෙලාවෙ මැතිවරණවලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒක කෙළින්ම කියන්නයි මේක ලිව්වෙ.

(ඡායාරූපය 2020ට කලින් එකක්)