Maharagama UC Chairman

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 පැවැත්වෙයිද?

අජිත් පැරකුම් ජයසිංහ

පළාත් පාලන මැතිවරණය නීති ප්‍රකාරව පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් ප්‍රතිඥා දී ඇති බැවින් මැතිවරණය පැවැත්වීම සඳහා මැන්ඩමස් ආඥාවක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා 2023 පෙබරවාරි 11 පැවසීය. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම් දෙකක් සලකා බලමින් එම තීන්දුව දෙන ලදි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ රිට් පෙත්සම් දෙක ඔවුන් විසින්ම ඉල්ලා අස්කරගන්නා ලදි.

පළාත් පාලන මැතිවරණය වැළැක්වීම සඳහා විධායකය හෝ ව්‍යවස්ථාදායකය කටයුතු කර නොමැති සංදර්භයක් තුළ මෙවැනි නඩු පැවරීම අධිකරණයේ කාලය නාස්ති කිරීමකි. හොරාට කලින් කෙසෙල් කැන වැට පැනීමකි.

විධායකය හෝ ව්‍යවස්ථාදායකය කළ යුතු දේ නිර්දේශ කිරීම අධිකරණයේ කාර්යයක් නොවේ.

ප්‍රජතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සාර්ථකව සහ කාර්යක්‍ෂමව පවත්වා ගෙන යාමට නම් විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නීතියටම අනුකූලවම පමණක් ඒවාට පැවරී ඇති බලතල හා කාර්යයන් ක්‍රියාවට නැංවිය යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා 2019 මාර්තු 22 දින ලංකාදීප පුවත්පතේ පළ කළ ලිපියක දැක්වේ. ඔහු වැඩිදුරටත් මෙසේ ද පවසයි: “ප්‍රතිඵලය වන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වය අතර ගැටුම් ඇතිවීමය. එහි ප්‍රතිඵලය වන්නේ ආණ්ඩුකරණය අවිනිශ්චිත තත්ත්වයකට පත්වීමය. ආණ්ඩුකරණය අවිනිශ්චිත වූ විට රටේ දේශපාලන ක්‍රමය, ආර්ථික ක්‍රමය සහ සමාජ ක්‍රමය අර්බුදය කරා යාම වැළැක්විය හැකි නොවේ. මෙම අර්බුදය අවසාන විය හැක්කේ රට තුළ විධායක ආඥාදායකත්වයක් බිහිවීමෙන්ය. එය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ පමණක් නොව මොන්ටෙස්කියු නමැති ප්‍රංශ ජාතික දේශපාලන දාර්ශනිකයා ප්‍රකාශ කළ පරිදි සෑම දෙයකම අවසානය වනු ඇත.”

දැනට ක්‍රියාත්මක ලෙස සලකන මැතිවරණ කොමිෂන් සභාව යනු දැනට බලාත්මක 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත්කරනු ලැබූවක් නොවේ. එහි නිල කාලය  විසිඑක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමත් සමග අහෝසි විය. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් පත්කිරීමට අයදුම්පත් කැඳවා තිබෙන අතර පෙබරවාරි 15දායින් පසුව ව්‍යවස්ථාදායක සභාව විසින් කොමිෂන් සභා සාමාජිකයන් පිළිබඳ නිර්දේශ ජනාධිපතිවරයා වෙත යවනු ඇත. ඒ අනුව, කොමිෂන් සභා පත්කරනු ඇත.

දැනට නාමයෝජනා කැඳවා, දින නියම කර තිබෙන පළාත් පාලන මැතිවරණය බොහෝ විට පවත්වනු ඇත්තේ නව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව විසිනි.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට පවතින ප්‍රධාන අභියෝගය වන්නේ ඒ වෙනුවෙන් වියදම් එකවර සම්පාදනය කිරීමට රජයට මුදල් නොමැති වීම නම්, එකී වියදම් කඩින් කඩ සැපයිය හැකිය. පළාත් පාලන මැතිවරණ කඩින් කඩ පැවැත්විය හැකිය. ඒවා පවත්වන්නේ එක් එක් සභා වෙනුවෙන් නිසා රට පුරා පළාත් පාලන මැතිවරණ එකම දිනයක පැවැත්වීම කිසි සේත්ම අවශ්‍ය නැත.

පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ බලතල පාර්ලිමේන්තුවට තිබේ. හදිසි නීතිය දක්වා බලතල විශාල ප්‍රමාණයක් ඒ සඳහා භාවිතා කළ හැකිය. 1970-77 සමයේදී පළාත් පාලන මැතිවරණ පැවැත්වුණේ නැත. රටේ පැවැති කලබලකාරී තත්වය හේතුවෙන් 1987දී පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් භාරගත් නාමයෝජනා ද අවලංගු කරන ලදි.

එහෙත්, ඒ කිසිවක් දැනට සිදුකර නොමැත. එසේ තිබියදී නඩු යන්නට දෙයකුත් නැත.

පළාත් පාලන මැතිවරණය මගින් ජනතා පරමාධිපත්‍යය ප්‍රකාශ වන්නේ නැත.

පරමාධිපත්‍යයෙහි අංශ දෙකක් තිබේ. එනම්, බාහිර කටයුතුවලදී රාජ්‍යයේ ස්වාධීනත්වය සහ අභ්‍යන්තර ව්‍යුහය තුළ රාජ්‍ය බලයේ ආධිපත්‍යයයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පළමු පරිච්ඡේදයෙහි අංක 3 යටතේ ජනතාව, රජය සහ පරමාධිපත්‍යය යන ශීර්ෂය යටතේ “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය” යනුවෙන් සඳහන් වේ. එය තවදුරටත් විස්තර කරමින් “පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේය” යි එහි සඳහන් වේ.

අංක 4 යටතේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සඳහන් වන අතර එහි (ඉ) යටතේ “අටළොස් විය සම්පූර්ණ කර ඇත්තා වූ ද, මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි ඡන්දහිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුළත් කරනු ලැබ සිටින්නා වූ ද, සෑම පුරවැසියකු විසින් ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දී ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දී ද, සෑම ජනමත විචාරණයක දී ද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය” යි පරමාධිපත්‍යය සම්බන්ධ පුරවැසි වගකීම පැහැදිලි කරනු ලැබේ.

පළාත් පාලන මැතිවරණවල මූලික අරමුණ ගම් මට්ටමේ නායකයන්ට පළාත් පාලනය හරහා දේශපාලනයට සම්බන්ධ වීම සඳහා දොරටු විවෘත කර දීමයි. එය බලය විමධ්‍යගත කිරීමේ ප්‍රධාන මෙවලමකි. දැනට ක්‍රියාත්මක ක්‍රමය තුළ කොට්ඨාස කුඩා නිසා එම කොට්ඨාසවල සැබෑ නායකයන්ට මැතිවරණ හරහා සභාවට තේරී පත්වීම පහසුය. පළාත් පාලන මැතිවරණ ජාතික මට්ටමේ දේශපාලනයට නතු කිරීම මගින් රටට සිදුවන සේවයක් නැත. එපමණක් නොව, එය ප්‍රතිගාමී කාර්යයකි. මෙම ප්‍රතිගාමී කාර්යය හොඳින්ම කළේ 2018දී මහින්ද රාජපක්ෂගේ නායකත්වය විසිනි. මහින්දට ඡන්දය ඉල්ලා කරන ලද කැම්පේන් මගින් මහරගම, තිරප්පනේ වැනි පළාත් පාලන ආයතනවල ප්‍රතික්ෂේපිත පොහොට්ටු නාම යෝජනා වෙනුවට ස්වාධීන කණ්ඩායම්වල කිසිවකු නොදන්නා අප්‍රකට පුද්ගලයන්ට පවා ඡන්දය ලැබිණි. ඒ අනුව, ස්වාධීන කණ්ඩායම 2 යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශය පදිංචිකරුවන් පිරිසක් මහරගම නගර සභාවට පත්වූහ.

මේ වතාවේ මේ විකෘතිය කරන්නට හදන්නේ මාලිමාව හෙවත් ජාතික ජන බලවේගය හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ බහුජන අංශයයි.