පරිපාලන සේවය පුනරුත්ථාපනය නොකර රට හදනවා බොරු

සමස්ත මහා වැඩ වර්ජනය අතරතුර, රාජ්‍ය පරිපාලන නිලධාරීන් නිහඬ විරෝධයක යෙදෙනවා දැක්කා. මතක තියාගන්න රට අද වැටී තියෙන තත්වයට දේශපාලකයන් තරමට හෝ ඊටත් වඩා වගකිවයුතු පිරිසක් තමයි පරිපාලන නිලධාරීන්. දේශපාලකයන් මහජන මුදලින් ගත්තෙ තීරු බදු රහිත වාහන. ජ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරීන් ඊට අමතරව හොඳ වාහනයක් රජයේ මුදලින් අරන් ඒක විශ්‍රාම යනකොට ගෙදරත් අරන් යනවා.

දේශපාලකයන්ට වගේම අමාත්‍යාංශ ලේකම්ලාටත් පෞද්ගලික ලේකම් කෙනෙකු ඉන්න බව මා අසා තිබෙනවා. ඔබ එය දන්නවාද?

මේ රටේ පරිපාලන නිලධාරීන් විවිධ පුහුණුවලට, ශිෂ්‍යත්වවලට කොයි තරම් පිටරට ගිහින් තියෙනවාද? මොනවද මේ රටට අරගෙන ආවෙ?

පරිපාලන නිලධාරීන් තමයි දේශපාලකයන්ට වංචා කරන්නට අවශ්‍ය විදියට නීති නමල දෙන්නෙ. එකක් විතරක් කියන්නම්. තීරුබදු සහන මත ආනයනය කරගන්නට දෙන වාහනේ අවුරුදු පහක් යනකල් විකුණන්නට බැරි නීතියක් තිබුණා ඉස්සර. පරිපාලන නිලධාරි උන්ටත් ඒ වාහන විකුණගන්නට පුළුවන් වෙන්න චක්‍රලේඛයක් හදල දුන්නා තීරුබදු රහිත වාහනය බලපත්‍ර මට්ටමේදිම විකුණගන්නට පුළුවන් වෙන්න.

මේ රට විනාශ කරන්නට පරිපාලන නිලධාරීන් දුන්න දායකත්වය ගැන ඕනැ තරම් විස්තර ඔබ දන්නවා ඇති. රාජ්‍ය සේවයේ වර්ජනවලට හේතුවෙන කවදාවත් අවසන් නොවන වැටුප් විෂමතා ගැටලුවේ නිර්මාතෘවරු තමයි පරිපාලන නිලධාරීන්.

රාජපක්ෂ ක්‍රමයෙ කොඳුනාරටිය ශක්තිමත් කළේ ලලිත් වීරතුංගගේ සිට පහළට පරිපාලන නිලධාරීන් තමයි.

ඔය මහත්තුරුන්ව, නෝනලාව කොරහෙ දාලා නාවන්න නම් ලැහැස්ති වෙන්න එපා. අනාගත ආණ්ඩුවක් යටතෙ පරිපාලන නිලධාරීන්ගෙ අසාධාරණ වරප්‍රසාද සියල්ල කප්පාදු කරන්නට ඕනැ. දේශපාලකයන්ට දෙන බෙහෙතම තමයි ඔවුන්ටත් නිර්දේශ කරන්නට ඕනැ.