Samabima-6-10-22

නොවැම්බර් 02 ඇසුරෙන් මොබ් ප්‍රචණ්ඩත්වයේ හැඩතල

අජිත් පැරකුම් ජයසිංහ

2013දී දැරණියගල නූරි වත්තේ අධිකාරිවරයා අයුතු ජන රාශියක් විසින් වධ දී ඝාතනය කරන ලදී. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 18දෙනෙකුට 2016දී මරණීය දණ්ඩනය පනවන ලදී. දහඅටදෙනෙකුට මරණීය දණ්ඩනය පනවන්නට නම්, මෙම ඝාතනයට කීදෙනෙකු සහභාගි වන්නට ඇද්ද?

පසුගිය ඔක්තෝබර් 31දා අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේ වන අලි ප්‍රහාරයකින් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් පැවති විරෝධතාවකදී පොලිස් සැරයන්වරයකු වූ ඒ. සුනිල් ප්‍රදේශවාසීන් පිරිසක් පහරදී මරාදැමූහ. එම අවස්ථාවේ එම අවස්ථාවේ එම ජන රාශියේ හෙවත් මොබයෙහි චර්යාව දැක්වෙන වීඩියෝ රූපවාහිනී ප්‍රවෘත්තිවලින් ප්‍රදර්ශනය විය.

මීට පෙර, මැයි 9දා මොබයක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ත් අතුකෝරලට හා ඔහුගේ ආරක්ෂක නිලධාරිවරයාට ද පහරදී මරාදැමූහ. තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ කුමාර් වෙල්ගමට ද පහරදී මරාදැමීමට තැත්කරන ලදි.

මෑත අවධියේදී ශ්‍රී ලංකාවේ මොබ් ප්‍රචණ්ඩත්වයෙහි වර්ධනයක් දක්නට ලැබේ. විශේෂයෙන්ම, මැයි 9, ජුලි 9 සිදුවීම් සමග දේශපාලන මොබ් ප්‍රචණ්ඩත්වය උච්චස්ථානයකට පත්විය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීමට මොබ් දේශපාලනය සමත්විය. එහෙත්, ඉන්පසු බලයට පත්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තත්වය හමුදා සහ පොලිස් සහයෝගය ලබාගනිමින් තත්වය පාලනය කිරීමට සමත් විය. එහෙත්, මොබ් දේශපාලනය දිගින් දිගටම ගෝඨාභය පළවාහැරි අන්දමින්ම ඔහු ද පළවාහරින බව තර්ජන කරමින් සිටියි.

පසුගිය නොවැම්බර් 02දා පැවති උද්ඝෝෂණය මෙම මොබ් දේශපාලනයෙහි උච්වචස්ථානයක් ප්‍රදර්ශනය කළ අවස්ථාවකි. එහි සංවිධායකයන්ට මර්දනයට විරෝධය පළකිරීමේ රැස්වීමක් විධිමත් අන්දමින් අවසර සහිතව පැවැත්වීමට හැකියාව තිබුණ ද ඔවුන් උත්සාහ කළේ පොලිසිය සමග ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කරගැනීමටයි. ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලකයන් ඉදිරියට තල්ලු කිරීමට මොබ් පිරිස උත්සාහ කළහ. එමගින් ඔවුන්ගේ ජීවිත අවදානමට පත්කිරීම අරගලකරුවන්ගේ අරමුණ වූ බව පෙනිණි. චම්පික රණවක වැනි ඇතැම් දේශපාලකයන් දැඩි අවදානම් තත්වයට පත්වනු දක්නට ලැබිණි. එහෙත්, බොහෝ දේශපාලකයන් මොබ් එකෙන් මිදී පළායාමට තරම් සූක්ෂම වූහ. අවසානයේදී අරගලකරුවෝ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අසාධාරණ ලෙස හූ කීහ.

තනි පුද්ගලයකු ලෙස නො දැනෙන ශක්තියක් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගී සමූහයක් තුළ සිටියදී දැනීම සාමාන්‍ය තත්වයකි. මහජන උද්ඝෝෂණවලදී මෙම ශක්තිය ප්‍රචණ්ඩ අයුරින් භාවිතා කිරීම මොබ් එකක් හෙවත් අයුතු ජන රාශියක් නිර්මානය කිරීමට හේතු වේ. 

නව යොවුන් හා තරුණ පුද්ගලයන් පහසුවෙන් ආවේගශීලී වන අතර ඔවුන් බොහෝ විට මොබ්වල සාමාජිකයන් වේ. එහෙත්, ඒවා තරුණයන්ට පමණක් සීමා වන්නේ නැත. ඕනෑම අයෙකු ඕනෑම මොහොතක මොබ් එකක සාමාජිකයකු විය හැකි ය. මොබ් වාතාවරණයක් තුළට පිවිසි අයෙකු සාමාන්‍ය පුද්ගල ස්වභාවයන්ගෙන් වෙනස්ව ප්‍රචණ්ඩව හැසිරීමට ඉඩ තිබේ.

මොබ් මානසිකත්වය හා වීරත්වය යනු එකක් නොව දෙකකි. වීරත්වය මතු වන්නේ වඩා අව්‍යාජ, බුද්ධිමත්, සංවේදී හා සිතා මතා ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ ය. එවැනි ක්‍රියාමාර්ග මගින් මොබ් පවා දේශපාලන අරමුණු වෙත මෙහෙයවාගත හැකි නායකත්වයන් බිහි වේ.

හුදු මොබ් මානසිකත්වයෙන් පමණක් යුතුව යම් යම් ක්‍රියාමාර්ගවලට එළඹෙන බොහෝ පුද්ගලයෝ මොබ් මානසිකත්වය පහව ගිය පසු පශ්චාත්තාපයට ගොදුරු වෙති. 

මොබ් නායකයන්ට සියුම් ලෙස මොබ් මෙහෙයවිය හැකි ය. මොබ් හා විප්ලවීය බලවේග යනු එකක් නොවේ. එමෙන් ම දෙකක් ද නොවේ. මොබ් සංවිධානාත්මක අරමුණු කරා යොමු කරගත් විට ඒවා විප්ලව දෙසට යොමු විය හැකි ය. ඒකාධිපතියන්, හමුදා ආණ්ඩු, ජනප්‍රිය නොවන ආණ්ඩු ආදිය පළවා හැරීමට මොබ්වලට හැකි බව ඔප්පු වී තිබේ..

කැරැලි නිසා බලතුලනය වෙනස් වේ. එමගින් සමාජ පරිවර්තන සිදු වේ. මොබ් ප්‍රචණ්ඩත්වයන් ඔස්සේ ලෝකයේ සාධනීය වෙනස්කම් සිදු වෙනවාට වඩා නිශේධනීය වෙනස්කම් සිදු වේ. උදාහරණයක් ලෙස අවුරුදු කීපයකට වතාවක් ලංකාවේ හිටිහැටියේ පැන නගින මුස්ලිම් විරෝධී මොබ් මගින් සිදු වන්නේ බරපතල දේශපාලන හානියකි. හිට්ලර් බිහි වුණේ ද මොබ් දේශපාලනය හරහා ය.

බොහෝ ගතානුගතික වාමාංශිකයෝ ද මොබ්වලට ලොබ බඳිති. මොබ් ජන අරගල බවට පරිණාමය වී ධනවාදය බිඳ දමන විප්ලව බවට පත් වනු ඇතැයි වාමාංශිකයෝ එදා පටන් ම සිතූ හ. ඉතිහාසය ඒ සඳහා ඕනෑ තරම් පූර්වාදර්ශ සපයා තිබේ. අතීත වාමාංශිකයෝ මොබ් අරගල පැනනැගී ඒවා ජන අරගල බවට පරිණාමය වන විට, ඉදිරිගාමීව ඒවා මෙහෙයවාගැනීම පිණිස කල් තබා ම සන්නද්ධ අරගල සංවිධානය කළ හ. ජනතා විමුක්ති පෙරමුණ 1987දී කළේ එයයි. දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ද එය ඉතා දක්ෂ ලෙස කළේ ය.

මොබ් ප්‍රචණ්ඩත්වය ඇති වන්නේ පීඩනය නිසා ය, ඒවා දිළින්දන්, පීඩිතයන් ධනවාදයට එරෙහිව ගසන අසංවිධානාත්මක කැරැලිය ආදි අදහස් හුදු හිතලුය. මොබ් ප්‍රචණ්ඩත්වයන් දේශපාලනිකව අර්ථකථනය කරන්නට යාමේ ලොකු තේරුමක් ද නැත. මොබ් ප්‍රචණ්ඩත්වයේ හැඩතල තීරණය වන්නේ මොබ් වාතාවරණය විසිනි.

මොබ් විසින් කිසිදු කලෙක මොබ් ඇති වීමට හේතු ආමන්ත්‍රණය කර නැත. ඒ වෙනුවට මොබ් විසින් කරනු ලබන්නේ තම පීඩනය ඕනෑම අතාර්කික අයුරකින් පිට කිරීම ය. මොබ් සාමාන්‍යයෙන් ම මෝඩයන්ගේ රජදහනකි. මොළේ ඇති මිනිස්සු මොබ්වලට මැදිවන්නේ නැත. ප්‍රතිපත්ති වෙනස් කිරීම සඳහා උද්දේශනය වෙනුවට මොබ් ප්‍රචණ්ඩත්වය යොදාගැනීමට උත්සාහ කරන දේශපාලන නායකයන් කරන්නේ කුහක, අපරාධකාරී ක්‍රියාවකි.