May 18 Colombo

දෙමළ මුල්ලිවයික්කාල් සහ සිංහල මුල්ලවයික්කාල්

අජිත් පැරකුම් ජයසිංහ

සිංහල-බෞද්ධ මූලිකත්වයෙන් යුත් කොළඹ කේන්ද්‍රීය රජය විසින් ස්වයං නිර්ණ අයිතිය සඳහා වූ තිස් අවුරුදු දෙමළ කැරැල්ල මර්දනය කර අවුරුදු 14ක් සපිරෙයි. පසුගිය මුළු කාලය පුරාම අවසන් සටන සිදුවූ මුල්ලිවයික්කාල්හි දෙමළ විමුක්ති අරගලයේ විරුවන් හා දෙමළ කැරැල්ල වෙනුවෙන් දිවිපිදූ සාමාන්‍ය ජනයා සැමරීම විවිධ ගැටුම් මැද්දේ පැවැත්වෙයි. එය හැඳින්වෙන්නේ දෙමළ ජන සංහාරයේ සැමරුමක් ලෙසයි. එවැන්නක් සිදුවූ බව ශ්‍රී ලංකා රජය හෝ සිංහල ජනතාව පිළිගන්නේ නැත. එහෙයින් එවැනි සැමරුම් දෙමළ ජනතාවට හෝ දකුණේ පැවැත්වීමට අවස්ථාව ලැබුණේ නැත. එහෙත්, 2023 වසරේදී පළමු වරට ආන්දෝලනාතමක මුල්ලිවයික්කාල් සමරුවක් කොළඹ කනත්ත අසලදී පැවැත්විණි. එයට සහභාගී වූයේ සුළු පිරිසක් වූ මුත්, එය සිද්ධියක් වශයෙන් වැදගත්ය.

එම සැමරුමෙහි කැඳවුම්කරු වූයේ අරගලයේ නායක භූමිකාවක් සිදු කළ කතෝලික පූජකවරයකු වන ජීවන්ත පීරිස් පියතුමාය. නිර්පාක්ෂික බව පෙනෙන අරගලකරුවන් පිරිසක් එයට සහභාගී වී සිටිනු දක්නට ලැබිණි. අරගලයට සම්බන්ධ වූ දේශපාලන පක්ෂ අතරින් ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද එම සැමරුම මගහැර තිබුණු බවක් දක්නට ලැබිණි. මේ අතර එයට විරෝධය පළ කිරීමට ද පිරිසක් පැමිණ සිටියහ. 2022 මැයි 9 දින අගමැති නිල නිවස ඉදිරිපිට හා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලකරුවන්ට පහරදීම සඳහා පැමිණි මහින්ද රාජපක්ෂ ආධාරකරුවකු වන ඩෑන් ප්‍රියසාද් ද ඒ අතර සිටියේය.

2022 මැයි 9 දින රට පුරා සිදුවූ පළිගැනීමේ ප්‍රහාරවලින් පසුව, සිංහල-බෞද්ධ ජාති-ආගම්වාදී බලවේගය ද සමගින් සමස්ත මහින්ද රාජපක්ෂ බලවේගයම මුල්ලිවයික්කාල් පරාජය වැනි පරාජයකට ලක්ව පාරට බසින්නට බැරි තත්වයක සිටියහ. 2023 මැයි 18 වන විට මෙම ජාති-ආගම්වාදී බලවේගයට යළි වීදි බසින්නට අවස්ථාව ලැබී තිබේ. එවැනි අවස්ථාවක් ඔවුන්ට ලැබුණේ කොළඹදී දෙමළ ජාතිකවාදී පදනමකින් මුල්ලිවයික්කාල් සමරුවක් පැවැත්වීම නිසා යයි කෙනෙකුට පැවසිය හැකිය. එවැනි සමරුවක් පැවැත්වීමේ වරද කුමක්දැයි ද කෙනෙකුට අසන්නට පුළුවන.

අවසානයේදී දෙමළ සංහාරය සැමරීමේ වැඩසටහනක් මෙන්ම එයට විරෝධය පළකිරීමේ වැඩසටහනක් ද 2023 මැයි 18දා කොළඹදී පැවැත්විණි. පොලිසිය මැදිහත් වී ගැටුමක් ඇතිවීම පාලනය කරගත් බව පෙනේ. එක පැත්තකින් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී පරිසරය හා රජයට තිබෙන පාලනය පිළිබඳ ප්‍රකාශනයක් බවට පත් විය. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහට වාසියකි. අනෙක් පැත්තෙන් එය මහින්ද රාජපක්ෂ බලවේගයට ද වාසිදායක විය. අපේ කාලෙ නම් කොළඹ ඔහොම දේවල් කරන්න දුන්නෙ නෑ අපේ හාමුදුරුවනේ යි කියන්නට ඔහුට අවස්ථාව ලැබී තිබේ.

සිංහල බලවේග පසුගිය කාලය මුළුල්ලේම යුද ජයග්‍රහණය උත්සවාකාරයෙන් සැමරූ මුත්, 2022 අරගලය සමයේ මැයි 18 දින උත්සවාකාර යුද සමරුවක් පැවැත්වුණේ නැත. නැවතත්, 2023 වසරේදී යුද ජයග්‍රහණය සැමරීම සඳහා වන රණවිරු සැමරුම් උත්සවයක් මැයි 19 පස්වරු 4.00ට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව තිබේ.

අරගලයට සම්බන්ධ සුළු පිරිසක් කොළඹදී මෙම අභියෝගාත්මක සැමරුම පැවැත්වීමෙන් දේශපාලනිකව බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න අපැහැදිලිය. එවැනි දේශපාලන අරමුණක් තිබීම අනිවාර්ය නැත. ඇතැම් විට, ඔවුන්ට දෙමළ දේශපාලනය සමග සම්බන්ධකම් ශක්තිමත් කරගැනීමේ අවශ්‍යතාව පමණක් තිබෙන්නට ඇත. නැතිනම්, දෙමළ අරගලය සමග තම ආත්මීය බැඳීම හා හෘදය සාක්ෂිය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් තිබෙන්නට ඇත. එහි කිසිදු වරදක් නැත. කෙසේ නමුත්, අවසානයේදී එමගින් අරගලය තුළ පවා බෙදීම් ගැඹුරු වන බව එහි සහභාගීත්වයෙන් පෙනේ.

2022 අරගලයෙන් පසු, සිංහල බෞද්ධ අධිපති ජාතිවාදයේ පසුබෑමක් සිදුවූ බව ද එහි නායකත්වය තීරණාත්මක පරාජයක මුවවිටට තල්ලු වී සිටි බව ද රහසක් නොවේ. වඩා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සිංහල බෞද්ධ නායකයකු වන රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වී යළි පාලනය තහවුරු කරගැනීම හේතුවෙන් යම් තුලනයක් නිර්මාණය විය. දෙමළ ජාතිකවාදී පදනමකින් මුල්ලිවයික්කාල් සමරුවක් හෙවත් දෙමළ ජන සංහාරය සැමරීමක් කොළඹදී පැවැත්වෙන්නේ මෙම පසුබිම තුළය. එහි වාසිය ඇත්ත වශයෙන්ම ලැබෙන්නේ කාටද?

ජාත්‍යන්තර බලවේගවල මැදිහත්වීම මධ්‍යයේ දෙමළ ජාතික සන්ධානය හා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය අතර බලය බෙදාගැනීමේ පදනමින් රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් අරමුණු කරගත් සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන පසුබිමකදී සිංහල මෙන්ම දෙමළ ජාතිවාදී කොටස් ද යළි නැගිටීම සුවිශේෂ තත්වයකි.

1753දී සියම් රටෙන් උපාලි භික්ෂුවගේ ප්‍රධානත්වයෙන් පැමිණි භික්ෂූන් පිරිසක් විසින් මෙරට සංඝ ශාසනයෙහි උපසම්පදාව පිහිටුවා ශ්‍යාමෝපාලි නිකාය ස්ථාපිත කිරීම සැමරීම සඳහා ත්‍රිකුණාමලයේදී පවත්වන ලද ආගමික උත්සවයකට දෙමළ ජාතිවාදී ශිෂ්‍ය පිරිසක් විරෝධය පළකිරීම නිසා ඇතිවන්නට ගිය ගැටුමක් ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් වළක්වාගනු ලැබුවේ දින කීපයකට පෙරදීය.

ජාතික ප්‍රශ්නයට විසඳුම් සොයන සෑම අවස්ථාවකදීම දෙමළ මෙන්ම සිංහල ජාතිවාදී බලවේග එයට එරෙහිව නැගී සිටිමින් බලය ගොඩනගාගැනීම සඳහා එම අවස්ථාව පාවිච්චි කිරීම ඉතිහාසය පුරාම සිදුවී තිබේ. සිංහල මෙන්ම දෙමළ ජාතිවාදී කොටස් මෙහිදී අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කරන ආකාරයක් ද දක්නට ලැබේ. කොළඹ මුල්ලිවයික්කාල් සමරුව අවසානයේදී විග්‍රහ කරගත හැකි වන්නේ එසේය. මන්ද, එහි අවසාන ප්‍රතිඵලය එයයි.

මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් සන්දර්භය තුළ අනුස්මරණ ක්‍රියාවලීන් සංක්‍රාන්ති යුක්තියේ පස්වන කුලුන ලෙස සැලකිය හැකි බව සත්‍යය, යුක්තිය, වන්දි ගෙවීම සහ නැවත ඇති නොවීමේ සහතිකය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු විසින් වාර්තා කර තිබේ.

ජාතික ප්‍රශ්නයට ඉවහල් වූ බලය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කරමින් වඩා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් සිදුවන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ද ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියේ ඉතා වැදගත් අවශ්‍යතාවක් බව අප අමතක නොකළ යුතුය.