kpoint cover

ත්‍රස්ත විරෝධී නීති ගැන ත්‍රස්තවාදී සංවිධානයක හිටපු සාමාජිකයෙකුගේ අදහස

අජිත් පැරකුම් ජයසිංහ

මම ත්‍රස්තවාදයට එරෙහි දැඩි නීති තිබිය යුතුයි කියන ස්ථාවරයෙ ඉන්න කෙනෙක්. හැබැයි, මං අවුරුදු තුනක් විතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිරගතව සිටි කෙනෙක්. ඒ යටතෙ බලහත්කාර පුනරුත්ථාපනයකටත් යොමු වුණ කෙනෙක්.

එහෙම ඉඳලත් මේකට පක්ෂද අහන අයට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මං සදාචාරවාදියෙක් හෝ කවියෙක් නෙමෙයි. දේශපාලන මැදිහත්කරුවෙක්. මගේ හෘදය සාක්ෂිය කවියන්ගෙ වගේ මතුපිට සංදර්ශනයක් නෙමෙයි.

මේක පැහැදිලි කරන්න හරි ලේසියි. කවියන්, කලාකරුවන් ගැන දන්නවනෙ. පළමු ඇසුරෙදි උන් හදවත ගලවලා අතට දෙන තරම් සංවේදී බව ඔබට දැනේවි. ටික කාලයක් ආශ්‍රය කරලා බලන්න. ඔබේ වකුගඩුවත් ඔබට නොදැනී ගලවාගන්න තරම් ගල් ආඳො තමයි වැඩිහරියක් සංවේදී කලාකාරයො. යූ නේම් ඉට් කියල වුණත් කියන්න පුළුවන්. දන්න අය ගැන ඕනැ තරම් විස්තර තියෙනවා.

සංවේදී කලාකාරයකු නොවන, කලාකරුවන් අතර කිසිදු පිළිගැනීමක් නැති, හැබැයි, කවි එහෙමත් ඕනැ නම් ලියන්න පුළුවන් කෙනෙකු වන මං ගැන පුළුවන් නම් ඒ වගේ පුදුම හිතෙන එක කතාවක් කියන්නකො. මෙතන ඉන්නවා මං ඇසුුරු කරපු දහස් ගණනක්. ඒ කාටහරි මං ගේම ඇදපු එකක්. කාගෙ හරි කණ කපපු එකක්. ගෑනු යූස් කරපු එකක්, යටින් කපපු එකක්, මොත්තෙ දාපු එකක් ආදී ඕනැ එකක් කියන්න. මාත් වැරදි කරල තියෙනවා ඕනැ තරම්. හැබැයි, ගේම් ගහල නැහැ. මතුපිට මනුස්සකමුත් නැහැ.

1989දි මං වැඩ කරපු ජනතා විමුක්ති පෙරමුණ කියන දේශපාලන පක්ෂය ත්‍රස්තවාදය දේශපාලන අරමුණු දිනාගැනීම සඳහා භාවිතා කළා. ඒක ඉතාම කෘර තත්වයක්. ඇත්තෙන්ම කියනවා නම්, පුද්ගල ත්‍රස්තවාදය මුලින්ම පටන්ගත්තෙ ජවිපෙය කියල කීවත් වැරදි නැහැ. දයා පතිරණ ඝාතනය එවැනි මුල් කාලීන එක් පුද්ගල ත්‍රස්තවාදී ක්‍රියාවක්.

1989 මැයි මාසෙදි මාව අත්අඩංගුවට ගත්තෙ නීති විරෝධීව. ඒ කාලෙ හදිසි නීතිය තිබුණෙත් නැහැ. ප්‍රේමදාස ජනාධිපති වුණාට පස්සෙ මාස කීපයක් හදිසි නීතිය තිබුණෙ නැහැ. එළියකන්දට ගෙනත් ටික දවසකට පස්සෙ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මට රැඳවුම් නියෝග ගත්තා. ඒ අනුව මං ඉන්න බව වාර්තා කළේ මාතර පොලිසියේ. ඒත්, මං අවුරුද්දකට වැඩි කාලයක් හිටියෙ එළියකන්ද වධකාගාරයේ. මාතර පොලිසියේ පැයක්වත් ඉඳල නැහැ.

පොලිසිය එළියකන්ද වධකාගාරයට ඇවිත් කටඋත්තරයක් ගත්තා. සිවිල් පිට සාජන් කෙනෙකු තමයි ආවෙ. ඒත්, පස්සෙ ලියාගෙන ආපු වෙන පාපොච්චාරණයකට තමයි මං අත්සන් කළේ. පොලිස් සාජන් කෙනෙකු තමයි ඒක අරගෙන ආවෙ. මං අත්සන් කළේ සහකාර පොලිස් අධිකාරි කෙනෙකු ඉදිරියේ නෙමෙයි, මාතර පැත්තෙන් කසාදයක් බැඳලා තවමත් ජීවත් වෙන හතරවෙනි කාලතුවක්ක හමුදාවෙ බොම්බඩියර් කස්තුරිආරච්චි ඉදිරියේ. ඇයි ඒක අත්සන් කළේ වගේ ප්‍රශ්න අහන අය මං එළියකන්ද වධකාගාරය ගැන ලියපු පොත කියවන්න.

මං සම්බන්ධයෙන් හෙබයාස්කෝපුස් නඩුවකුත් තිබුණා. ඒකෙදි පොලිසිය කරුණු ඉදිරිපත් කළා, මාව මාතර පොලිසියේ රඳවාගෙන ඉන්නවාය කියලා. අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. අධිකරණය පිළිගත්තා මං ආරක්ෂිතව ඉන්නවාය කියලා. තාත්තාට බල කළා ඒ නඩුව අයින් කරගන්න.

1986 ජනවාරි වගේ කාලෙක මායි මෙතන ඉන්න මගේ මිතුරෙකුයි බුලත්සිංහල අතුර පොළේ ජවිපෙ පත්‍රිකා බෙදද්දි මාව අත්අඩංගුවට අරගෙන තහනම් සංවිධානයක පත්‍රිකා බෙදුවාය කියලා හදිසි නීතිය යටතේ ඇප නොදී මාස තුනක් තියාගෙන ඉඳලා පසුව මං ඇප පිටයි හිටියෙ. අඩු ගානෙ ඒ නඩුවටවත් මාව අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. මං බොහොම කැමැත්තෙන් හිටියෙ ඒකට ඉදිරිපත් වෙලා රිමාන්ඩ් වෙන්න. එළියකන්ද එක්ක බැලුවම රිමාන්ඩ් එක සුරපුරයක්.

පස්සෙ කාලෙක මානව හිමිකම් නඩුවකුත් තිබුණා. නීතීඥ කල්‍යානන්ද තිරාණගම තමයි පෙනීහිටියෙ. ඒ කාලෙ නඩුවලදි පොලිසිය ඒ පැත්තෙන් කිව්වාම නඩු දානවාය කියලා, මානව හිමිකම් සංවිධාන මේ පැත්තෙන් නඩු අයින් කරගන්නවා. අධිකරණය කැරැලි මර්දනයෙදි සහයෝගී ස්ථාවරයක හිටියෙ. හැබැයි, කැරැලි මර්දනයෙදි හමුදාව, පොලිසිය කටයුතු කරපු ආකාරය අනුව සාමාන්‍ය නීතිය යටතෙ නඩු පවරන්නට පුළුවන්කමක් තිබුණෙ නැහැ. නඩු පවරන එක ගැන හිත හිත වැඩ කළා නම් කැරැලි මර්දනය කරන්නත් බැහැ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නිසා වෙච්ච කරදර ගැන ඉතාම පොඩි විස්තරයක් ඔය කළේ. තව තියෙනවා. හැබැයි, ඔය වකවානුව එළියේ ජවිපෙත්, ආණ්ඩුවත් අතර ගල උඩ සටනක් තිබුණු කාලයක්. ජවිපෙ දිනන්නත් ඉඩ තිබුණා. හැබැයි පැරදුණා. ඊට පස්සෙ තිබුණෙ ත්‍රස්ත මර්දනයක්. කැරැලි මර්දනයක්. සමූලඝාතනයකට කිට්ටු තත්වයක්. සංහාරයක්. ජවිපෙ දිනුවත් ඒ දේම වෙන්න තිබුණා, අනෙක් පැත්තට.

අපි කැරැල්ලක් ගැහුවා. කැරැලිකරුවන්ට නීති අදාළ නැහැ. කැරැල්ලෙදි මානව හිමිකම්වලට තඹ දොයිතුවකට තරම්වත් ජවිපෙ සැලකිල්ලක් දැක්වූවේ නැහැ. කැරැලි මර්දනයෙදි ආණ්ඩුව කටයුතු කළෙත් ඒ විදියටමයි. දිනුවා නම් අපි අනෙක් පැත්තට දෙන්නෙත් ඔය විදියටම තමයි. එහෙනම් අපි තමයි කැරැලි මර්දනය කරන්නෙ. යුද්ධ එහෙම තමයි මෙයා.

ඉන් පස්සෙ රජය දරුණු විදියට රාජ්‍ය ත්‍රස්තවාදය පාවිච්චි කළා. අති විශාල තරුණ පරම්පරාවක් ඒ රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්වුණා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මං කාපු පරිප්පු ගැන මට දුකක් නැහැ. මොකද, මං හිටියෙ ත්‍රස්තවාදී සංවිධානයක. ඒ සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් අපි සියලු දෙනා වගකීම භාරගත යුතුයි. මං කවදාවත් කියන්නෙ නැහැ, ජවිපෙ නරක වුණාට අපි හරි හොඳයි, අපි කළේ පෝස්ටර ගහන එකනෙ, අරවා මේවා. ඒ සංවිධානය කරපු වැඩ නිසා ඒ තීරණ ගත්ත නායකයන් සියලුදෙනාම වගේ (සෝමවංශ අමරසිංහ හැර) ජීවිතයෙන් වන්දි ගෙව්වා. මූලික තීරණ ගැනීමට සම්බන්ධ නොවුණු මං වගේ ක්‍රියාකාරිකයන් දහස් ගණනක් ඝාතනයට ලක්වුණා. ඒ වගේම, මං වගේ තව දහස් ගණනක් ජීවතුන් අතරත් ඉන්නවා. මේ හැමෝම ත්‍රස්තවාදයේ වින්දිතයන් ලෙසයි මම සලකන්නෙ.

ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිය යුතුයි කියන එක තමයි මගේ ස්ථාවරය. නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කපනකල් හැදෙන්න දුන්නාම වෙන කරදර ගැන දේශපාලනයෙදි ඕනැ තරම් උදාහරණ තියෙනවා.

හකීම්ලාගෙ පටන් බදුර්දීන්ලා, මුජිබර්ලා දක්වා මුස්ලිම් දේශපාලකයන් සහරාන්ලාගෙන් දේශපාලන වාසි ගත්ත නිසා තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති යටතෙ සහරාන්ව නියපොත්තෙන් කඩාගන්න බැරි වුණේ.

ඒ වගේම තමයි ගෝඨාභය රාජපක්ෂ අරගලෙන් කෙළවාගත්තෙත්. රනිල් වික්‍රමසිංහ බලයට එනකොට ඒ ත්‍රස්තවාදය නියපොත්තෙන් කඩන්න බැරි මට්ටමට ලොකු වෙලා. ඒ නිසා පොඩි බ්ලේඩ් එකකින් කැපුවා.

මුළු ලෝකෙම මිනිසුන් ත්‍රස්තවාදය වෙත යොමුවෙන ආර්ථික, සාමාජික, මානසික හේතු තියෙනවා. පවුල් ඇතුළෙ ප්‍රචණ්ඩත්වයේ පවා ත්‍රස්තවාදයේ ලක්ෂණ තියෙනවා. ඒක සමාජයට, දේශපාලනයට ගියාම තමයි අපි ත්‍රස්තවාදය කියල දෙයක් හඳුනාගන්නෙ. ත්‍රස්තවාදය නිර්වචනය කරන විදිය ගැන ප්‍රශ්න කරන අයගෙන් මං අහන්නෙ ‘නිර්වචනය’ හරියට නිර්වචනය කරන්න පුළුවන්ද කියලයි. ඕනැම නිර්වචනයක් සාපේක්ෂයි. ත්‍රස්තවාදයට විතරක් පරිපූර්ණ නිර්වචන නැහැ. ඒක භාවිතාව තුළදි අවශ්‍ය පරිදි නිර්වචනය කරගත යුතුයි.

උදාහරණවලින් පෙන්වා දෙන්නම්කො. කණ විදින එක ඔබ ළමා හිංසනයක් විදියට සලකනවද? කුඩා පිරිමි දරුවන්ගේ චර්ම ඡේදනය ළමා හිංසනයක් විදියට සලකනවාද? ළමයින් මහණ කිරීම ගැන මොකක්ද හිතන්නෙ? එතකොට ළමයින්ව පාසල් යැවීම? මේවායෙදි ළමා අයිතිවාසිකම්, හිංසනය ගැන නැති නිරපේක්ෂකමක් ත්‍රස්තවාදය අර්ථ නිරූපණය කරද්දි විතරක් තියෙයි කියල හිතන්න එපා.

ත්‍රස්ත විරෝධී පනත ගැන මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කෘර හෙවත් ඩ්‍රැකෝනියානු එකක්ය කියලා ලෝක සම්මතයක් වගේ එකක් තියෙනවනෙ. ඒකෙ එහෙම ලක්ෂණ තියෙනවා. ඉදිරියට ගෙන එන ත්‍රස්ත මර්දන නීතිවලත් ඒවා යම් දුරකට තියෙන්න පුළුවන්. මොකද, ඔය අපට මානව හිමිකම් උගන්වන රටවලත් ත්‍රස්ත විරෝධී නීති හා භාවිතාවන් එහෙමම තමයි. ත්‍රස්තවාදය කියන්නෙ මොනම නීතියකටවත් ගරු නොකරන තත්වයක්. ඒක මර්දනය කරද්දි බෝධිසත්ව නීති බලාපොරොත්තු වෙන්න එපා. ත්‍රස්තවාදීන් එහෙම බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔයා ත්‍රස්තවාදියෙකු නෙමෙයි නම්, ඔයාට තියෙන අමාරුව මොකක්ද?

ඔයා ත්‍රස්තවාදය පාවිච්චි කරන්නට අදහස් කරනවා නම්, පුළුවන් නම් අහු නොවී කරන්න. කරලා ඒකට අදාළ මිල ගෙවන්න. ඒක පීඩිතයාගෙ සුසුම නම් පස්සෙ කාලෙක ඔයා ඉතිහාසගත වෙයි. පැරදුණොත් හිරේ හරි අඩි හයක් යට හරි තමයි. අවදානම ගන්න ප්‍රභාකරන් වගේ. විජේවීර වගේ.

ත්‍රස්තවාදයට එරෙහි නීති ගැන බබා උක්කුං දාන බොහෝ අයගෙ හිතේ කොනක හෝ ත්‍රස්තවාදයට කැමැත්තක් තියෙනවා. ඒක ස්වාභාවිකයි. මිනිසුන් කියන්නෙ අවසානයෙදි කෘර සතුන් විශේෂයක්. අපේ සතුරන්ට වෙඩි තියන්න අපේ තියෙන කැමැත්ත නිසා තමයි අපි හොලිවුඩ් චිත්‍රපට බලන්නෙ. උන්ට ලේ පනින්න කඩුවෙන් කොටන්න තියෙන ආසියාතික ආසාව නිසා තමයි කොලිවුඩ් චිත්‍රපට බලන්නෙ. ඒක නිසාම තමයි ෆේස්බුක් ඇවිත් රනිල්ට ‘ගෝඨට දුන්න වගේම තමයි උඹටත් දෙන්නෙ’ කිය කිය ප්‍රාථමික පන්තිවල ඉස්කෝලෙ ළමයි වගේ ‘හිටපන්කො අපේ අයියට කියල තමයි උඹට ගස්සන්නෙ’ වගේ කතා කිය කිය සැනසෙන්නෙ. සෙනග ටිකක් ඉන්න රැස්වීමක මයික් එකක් ලැබුණාම නීතීඥවරුන් පවා පොලිස් නිලධාරීන්ට අපි උඹලගෙ ගෙවල් තියෙන තැන් දන්නවාය කියලා පරණ තාලෙ තර්ජන කරන්නෙ. හැබැයි, මතක තියාගත යුතු කාරණය තමයි, මේ ත්‍රස්තවාදී ප්‍රවණතාව මොබ් චර්යාවක් බවට පහසුවෙන් පරිවර්තනය වෙන්න පුළුවන්. මේ වගේ කට්ටිය තමයි මොබ් එක්ක එකතු වෙලා ගෙවල් ගිනි තියන්නෙ. මහ මග පොලුවලින්, හෙල්මට්වලින් ගහලා මිනිසුන් මරන්නෙ.

ඒ නිසා ත්‍රස්තවාදය මර්දන නීති සමාජ මාධ්‍ය ආවරණය කිරීම දක්වා පුළුල් විය යුතු බවයි මගේ අදහස.

ත්‍රස්ත මර්දන නීතිවලට එරෙහිව පෙනී සිටින බොහෝ මානව හිමිකම් උද්දේශකයන් සංවේදී වෙන්නෙ ත්‍රස්තවාදීන් ලෙස නම්විය හැකි පුද්ගලයන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් මිස ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්විය හැකි පුරවැසියන්ගේ මානව හිමිකම් සම්බන්ධයෙන් නෙමෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් සිරගතව සිට නිදහස් වන බොහෝ පුද්ගලයන් කියන්නෙ නැහැ තමන් කිසිම වරදක් නොකළ බව. එයට හේතුව ඔවුන් දන්නවා ඇත්ත. කවියො තමයි ඔවුන් වෙනුවෙන් සංවේදී කවි ලියන්නෙ. හැබැයි, ඔවුන් ඉන් පසු නිහඬ වෙනවා. හැකි නම්, වෙන රටකට ගිහින්, සියල්ලෙන් ඈත් වෙලා අලුත් ජීවිතයක් පටන් ගන්නවා. ඒ ජීවිතාවබෝධය නිසා.

ත්‍රස්තවාදයේ ප්‍රධානම ලක්ෂණයක් තමයි ත්‍රස්තවාදීන්ට එරෙහිව පහසුවෙන් නඩු පවරන්න්ට හෝ ඔප්පු කරන්නට බැරිකමත්. එතනදි නීතිය අසරණයි. නීතිය ක්‍රියාත්මක කරන අය වින්දිතයන් බවටත් පත්වෙනවා. නීතිය ඉදිරියේ වැරදිකරුවන් වනතෙක් සියලුදෙනා නිර්දෝෂීය කියන විශ්ව මානව හිමිකම ත්‍රස්තවාදීන්ට වගේම ඕනෑම අපරාධකරුවෙකුට වාසියක්.

ත්‍රස්ත විරෝධී පනත ගැන සමාජයේ සංවාදයක් තිබිය යුතුයි. අවශ්‍ය සංශෝධන කරගත යුතුයි. හැබැයි, මං පෙනී සිටින මූලික කොන්දේසිය ත්‍රස්ත විරෝධී නීති තිබිය යුතුයි කියන එක. ඒ නීති එක් එක් වකවානුවල ත්‍රස්තවාදයේ ස්වභාවයට අනුකූල විය යුතුයි. දැන් ත්‍රස්තවාදය 1989 හෝ 2009 ත්‍රස්තවාදය වගේ නෙමෙයි. 1979දි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එද්දි සයිබර් ත්‍රස්තවාදය කියල එකක් තිබුණෙම නැහැ. දැන්, තව ටිකකින් මේකෙ කමෙන්ට්වල ඒක තියෙන තරමට ඒක සුලබයි.

ත්‍රස්ත විරෝධී නීති ගැන සංවාදය මානව හිමිකම් වෘත්තිකයන්ගෙ, සංවිධානවල හා නීතිවේදීන්ගෙ ආධිපත්‍යයට යට විය යුතු එකක් නෙමෙයි. ත්‍රස්තවාදය ගැන හොඳට දන්න අපි වගේ අයගේ හඬටත් එහිදී අවස්ථාව තිබිය යුතුයි. ඔය සංවාදකාරයන් පුළුවන් නම් අපටත් ආරාධනා කරන්න ඔය විවාදවලට. අපි සූදානම් ඔබට ත්‍රස්තවාදයට එරෙහි නීති අවශ්‍ය ඇයි කියන එක පැහැදිලි කරල දෙන්න.

මේකත් කියවන්න: එළියකන්ද වධකාගාරයේදී පොලිසිය මගෙන් කටඋත්තර ගත් හැටි