youth protest

තරුණ නායකයන් වෙනුවට පරණ කලාකරුවන්

අජිත් පැරකුම් ජයසිංහ

දැන් දැන් සිදුවන විදියට රාජපක්ෂ ක්‍රමය හදපු හා එයින් ඵල නෙළපු, ජාතිවාදය වපුරමින් මුදල් ගරාගත්ත ඇතැම් කලාකරුවන්ටවන්ට ලොන්ඩරි දාන්න අරගලය පාවිච්චි වෙන බවක් පෙනෙනවා.

රාජපක්ෂවාදී කලාකරුවන් පසුපසින් ඊළඟට එකතුවන්නේ නිලධාරීන් සහ දේශපාලකයන්ය. උන් බලන්නේ ඊළඟ ආණ්ඩුවටත් සෙට්වෙන විදියකි. වෙනස් කළ යුත්තේ රොටිය ඒ පැත්ත, මේ පැත්ත දමන තැටිය වන රාජපක්ෂ ක්‍රමය මිස රොටියේ පැත්ත නොවන බව මතක තබාගන්න.

ඔය කලාකරුවන්ගේ සංකේත වටිනාකම් වැදගත් යයි සැලකීමම ගතානුගතික අදහසකි. අපට අවශ්‍ය මේ ක්‍රමයේ පූර්ණ පරිවර්තනයකි.

ලංකාවේ අර්බුදයේ ප්‍රධාන කොටසක් වන්නේ නායකත්වයයි. අප අලුත් නායකයන් සොයා නිර්මාණය කරගත යුතුය. එය විසඳුමේම කොටසකි. මේ අරගලය තුළින් අලුත් තරුණ නායකයන් ඉදිරියට ගත යුතුයි. පසුගිය දිනවල අරගලය තුළින් එවැනි තරුණ නායකත්වයන් මතුවනු දක්නට ලැබිණි. එහෙත්, දැන් හිටිහැටියේ අපට නායකයන් නැහැ, අපි ඔක්කොම එකයි ආදී කතා ඇසේ. ඔක්කොම එක නම්, ඒ අතරින් මතුවන අය නායකයින් ලෙස පිළිගැනීමත් ගැටලුවක් විය නොහැකිය.

අරගලය තුළින් නායකයන් බිහිවීමට අකැමැති අයට ඒ සඳහා හේතු තිබිය හැකිය. ගතානුගතික නායකත්වයන් තහවුරු කිරීම, අරගල හයිජැක් කිරීම, අයාලේ යැවීම වැනි අරමුණු ඒ අතර තිබිය හැකිය.

අලුත් නායකයන් හඳුනාගත්තොතත් ඔවුන් මර්දනයට ලක්වනු ඇතැයි කීම ද නායකත්වයන් මතුවීම වැළැක්වීම සඳහා කදිම උපායකි.

මේ අතර ඇතැමෙකු පරම්පරා වෙනස අවධාරණය කරති. මා සිතන අන්දමට නම් එය හීනමාන ලක්ෂණයකි. අප තරුණ නායකත්වයක් ඉල්ලද්දි තරුණයන්ය කියන අය පරම්පරා වෙනස්කම් සමග වයෝභීතිකාව හෙවත් gerentophobia ප්‍රවර්ධනය කිරීම කණගාටුවට කරුණකි.

අරගලය තුළින් නායකයන් නිර්මාණය කරගැනීමේ අවස්ථාව අත්හැරේ නම්, පරණ මැදිවියේ දේශපාලනඥයන් ලබන සතිය වන විට අරගලය අත්පත් කරගනු නියතය. අරගලය අයාලේ යාමට හෝ වැඩකට නැති අපතයන් පිරිසක් අතට පත්වීමට වඩා එය හොඳ විය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදය යනු ඕනෑම කෙනෙකුට නායකයකු වීමට සාධාරණ අවස්ථා ලබාදීම මිස ඔක්කොම නායකයන්ය හෝ නායකයන් අවශ්‍ය නැත යන ප්‍රලාපය නොවේ. නායකත්වය අතිශය වැදගත්ය.