July 9

ජුලි 9

අජිත් පැරකුම් ජයසිංහ

ජුලි 9දා ගෝටා හා ආණ්ඩුව පැන්නීමේ අරගලය සූදානම්ය. එයට සමාන්තරව ප්‍රාදේශීයව සූදානම් කිරීමේ උද්ඝෝෂණ පැවැත්වෙනු දුටිමි. භික්ෂු උපවාසයක් ද ආරම්භ කර තිබේ. එය මාරාන්තික උපවාසයක් යයි ද කියනු ලැබේ. අල්ලා තිබෙන්නේ මාරක නිලයකි.

ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි දේශපාලන පක්ෂ ද, 43 සේනාංකය වැනි දේශපාලන කණ්ඩායම් ද, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වැනි බහුජන සංවිධාන ද, ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැනි වෘත්තික සංවිධාන ද, සාමාන්‍යයෙන් ඕනෑම විරෝධයකට එක්වන වෘත්තීය සමිති හා සිවිල් සමාජ සංවිධාන ද 9දා සහභාගී වන බව තහවුරු කර තිබේ. කතෝලික ඇතුළු ක්‍රිස්තියානි ආගමික නායකයන්ගේ ද, මුස්ලිම් ප්‍රජාවගේ ද සැලකිය යුතු සහයෝගයක් ද එයට ඇති බව පෙනේ.

සමගි ජන බලවේගය එයට නිල වශයෙන් සහභාගී වනවාද යන්න තවම නිවේදනය කර නැත. සජබ සහභාගී වුවහොත් එයට සෑහෙන සෙනගක් ඇදිය හැකිය. ජවිපෙ සතුව ද කැපවුණු සෙනගක් සිටිති. කෙසේ වෙතත්, මේ උද්ඝෝෂණය කැඳවා තිබෙන්නේ සර්වපාක්ෂික අරගලකරුවෝ නම් පාර්ශ්වයක් විසින්ය. එබැවින් එහි යම් දුරකට ආඬි හත්දෙනාගේ කැඳහැළියේ තත්වයක් වුව තිබිය හැකිය. උදාහරණයක් ලෙස සජබ තවමත් ඒ පිළිබඳ ප්‍රාදේශීය නායකයන්ට පණිවුඩයක් සන්නිවේදනය කර නැත. සජිත් හෙට වන විට පවතින තත්වය බලනවා විය හැකිය. පසුව එකතු වන්නට වුව හැකිය.

ගෝටා-රනිල් ආණ්ඩුව සාපේක්ෂව ගත් කල ස්ථාවර තත්වයක තිබිණි. එහෙත් ඔවුන් මේ වන විට ඉන්ධන ආනයනය පැත්තෙන් අසමත් වී තිබේ. ඒ නිසා එය ජුලි 9 සටනට වාසිදායක තත්වයකි. කලකිරුණු ජනතාව උද්ඝෝෂණවලට පැමිණිය හැකිය. එහෙත්, එන්නට වාහනවලට තෙල් නැතිකමේ අවාසියක් ද තිබේ. මැයි 9 සිදුවීම්වලින් පසු බස් හිමියන් ද තරමක් ආරක්ෂාකාරී ප්‍රතිපත්තියක ඉන්නවා විය හැකිය. තෙල් නැතිය කියන එක්ස්කියුසය ද ඔවුන්ට තිබේ.

වාහන පාර මැද නැවැත්වීමේ උද්ඝෝෂණය මෙන් ජුලි 9 අරගලය අසාර්ථක වනු ඇතැයි සිතිය නොහැකිය.

කොළඹ වටලාගෙන දීර්ඝ උද්ඝෝෂණයකට යන්නට අරගලකරුවන් උත්සාහ කරනු ඇත. ගෝඨාභය පැන්නීම සඳහා වන සටන තීව්‍ර වීමට ඉවහල් විය හැකි බොහෝ සාධක තිබේ. පොලිසිය හා හමුදාව ද උද්ඝෝෂණ නිසාම ආතතියට පත්වී තිබේ. අරගලකරුවන් යම් පිබිදීමක සිටිය ද සෙනග අවශ්‍ය පරිදි නොපැමිණියහොත් ඔවුන් වෙතින් කලකිරුණු, බලාපොරොත්තු සුන්වූ ප්‍රතිචාර පළවිය හැකිය.

ඕනෑම දෙයක් සිදුවිය හැකිය. අරගලකරුවන්, ආණ්ඩුව, හමුදා, පොලීසි ආදී විවිධ පාර්ශ්ව විවිධ ආකාරයේ සූදානම්වල සිටිනවා විය හැකිය.

අරගලය සාර්ථකම වුවහොත් කොළඹ වටලා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන්නැයි දැඩි බලපෑමක් කිරීමට අරගලකරුවන්ට හැකිය. ගෝඨා ඉල්ලා අස්වුවහොත්, ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය නොවේ.

එහෙත්, ගෝඨාභය ඉල්ලා අස්වුවහොත් නිර්මාණය වන රික්තය හේතුවෙන් දැඩි අස්ථාවර හා අරාජික තත්වයක් නිර්මාණය විය හැකිය. ගෝඨාභය නිසා අගමැති ධුරයට පත්වූ රනිල්ට ද ඉල්ලා අස්වන්නට බලකරනු ඇත. ගෝඨා පැන්නීමට බැරිවුණේ රනිල් මැද්දෙන් පැන්න නිසා යයි, රනිල් ගැන බලාපොරොත්තු තබාගෙන අරගලයෙන් ඉවත්වූ අය දැන් නැවත කියති. අලුතෙන් ජනාධිපතිවරයකු, අගමැතිවරයකු පත්කරගැනීම පහසු වන්නේ නැත. මෙහි එකතුවන දේශපාලන පක්ෂ පොදු අවම වැඩපිළිවෙලකට එකඟ කරගත යුතුය. නායකත්වයකට අවනත කරගත යුතුය. ඒවා පහසු නැත. ඉන්න සියල්ලෝම මං පොර ජාතකය.

අරගලයෙන් සිදුවිය හැකි අලුත් දෙය වන්නේ පැරණි ප්‍රභූ තන්ත්‍රය වෙනුවට භූමියේ අරගලකරුවන් වන සර්වපාක්ෂික අරගලකරුවෝ වැනි බලවේග ඉදිරියට පැමිණීමයි. එහෙත්, ඔවුන් වෙනුවට මැද මට්ටමේ ප්‍රභූන් ඒ අවකාශය අත්පත් කරගන්නට ඉඩ තිබේ.

සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් පිහිටුවාගැනීමට සර්ව පාක්ෂික අරගලකරුවන් සමත් විය යුතුය. ශ්‍රී ලංකා නීතීඥ සංගමය, සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය වැනි සංවිධාන අන්තර්වාර ආණ්ඩුවක් සඳහා අවශ්‍ය ව්‍යූහයන්, පොදු අවම වැඩපිළිවෙලවල් ආදිය යෝජනා කර තිබේ. ඔවුන් අතර එවැනි ආණ්ඩුවක දේශපාලන හා නිලධාරි තන්ත්‍රය සඳහා අවශ්‍ය කුසලතා සපිරි ප්‍රභූ වෘත්තිකයෝ ද සිටිති.

ගෝඨා (සහ රනිල්) පැන්නීමෙන් පසු ඉතාම ප්‍රශස්ත තත්වයන් යටතේ පවා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවාගැනීමට මාසයක් පමණ ගතවිය හැකිය. ඒ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා අඩාල වී තිබිය හැකිය. ඒවා නැවත පටන්ගත යුතුය. විශ්වාසය තහවුරු කරගත යුතුය. ඒ වන විට තත්වය තවත් දුෂ්කර වී තිබිය හැකිය.

මේ අතර තෙල් ආනයනය කළ යුතුය. අරගලයේ ජවය පෙට්‍රෝලියම් ඉන්ධන බව අමතක නොකළ යුතුය.

මේ සියලු සුරංගනා සුබ සිහින අප දකින්නේ බංකොළොත් රටක බව රාජ්‍ය නායකයන් වෙන්නට ආසා කරන සියලු බලලෝභී මහත්වරුන්ට මතක්කර දිය යුතුය. බලය මීකිරි වැනිය. කන්නට ඇත්තේ දැලි පිහියෙනි.

ඉහත සියල්ල සිදුවන්නේ අරගලයට වාසිදායක ලෙස සියල්ල සිදුවුණොත්ය. එනම්, මැයි 9දා තිබුණු තත්වය වැනි තත්වයක් තිබුණොත්ය. එහෙත්, එය එසේ විය නොහැකිය. හේතුව මැයි 9දාවක් තිබීමය.

කොහොම වුණත්, ජුලි 9 අරගලය පරාජය වන්නේ නැත. බලය ගන්නට බැරිවුණත්, දේශපාලන අස්ථාවරභාවය තීව්‍ර කරන්නට ඔවුන්ට හැකිය. දේශපාලන අස්ථාවරත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවලට හා ණය ප්‍රතිව්‍යූහගත කිරීමට ද බලපානු ඇත. එහෙයින් ගෝඨා ගෙදර නොගිය ද, ආණ්ඩුව නොපෙරළුණ ද පාලනය පහසු නොවනු ඇත.

අවසානයේදී ඉන්ධන ආනයනය තවත් දුෂ්කර වනු ඇත. ඉන්ධන අරගලයේ ජීවය වන මුත්, ඒ වන විට අප බයිසිකලයට හුරු වී තිබිය හැකිය. පණිවුඩකරුවාට වෙඩි නොතබන්න.