ජාතික ප්‍රශ්නය විසඳන්නෙ කොහොමද

අජිත් පැරකුම් ජයසිංහ

පහත දැක්වෙන්නෙ ජාතික ප්‍රශ්නයට මං යෝජනා කරන විසඳුම.

♠️♣️♥️♦️ මොන ජාතියද? සිංහල කියල ජාතියක් තියෙනවා. සිංහලයන්ට ශ්‍රී ලංකාව කියල රාජ්‍යයකුත් තියෙනවා. දැන් සිංහල ජාතියෙ උඩරට, පහතරට, ගොවිගම, කරාව ආදී වෙනස්කම් නාමික අනන්‍යතා විතරයි. ඒ වගේම, සිංහල මූලිකත්වය පිළිගන්න අලි සබ්‍රි වගේ කෙනෙකුට වුණත් රාජ්‍ය නායකත්වයට පත්වෙන්න පුළුවන්. ජාතිය තමයි සිංහල.

♠️♣️♥️♦️ තව තියෙනවා දෙමළ. ඒගොල්ලන් වෙනම ජාතියක් වෙනුවෙන් සටන් කරන පිරිසක්. දැනට ලෝකෙ කොහෙවත් දෙමළ ජාතියට රාජ්‍යයක් නැහැ. පව්. ඒකීය දෙමළ ජාතියක් කියලත් නැහැ. ඔය දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය කියන එකට බැරි වුණා, අඩුගානෙ ලංකාවෙ මඩකලපුවෙ දෙමළ අයවත් එකතු කරගෙන පුළුල් වෙන්න. කඳුරට දෙමළ මිනිසුන්ව බැහැරම කළා. තමිල්නාඩුවෙ දෙමළ අයව පවා පිළිකුල් කරනවා. එහෙම කරන ගමන් තමයි දෙමළ රාජ්‍යයක් ගැන නැව් ටෝක් දෙන්නෙ.

♠️♣️♥️♦️ ඔය සිංහල, දෙමළ දෙක එකතු කරලා ශ්‍රී ලාංකික කියල එකක් හදන්න බැහැ. ඒක තනිකර බොරුවක්. සුළු ජාතීන්ව සිංහල මූලිකත්වය පිළිගන්න බලකරන්න ඕනැ. දැනට කරල තියෙන්නෙ ඒක. අවංක හා පුළුල් බලය බෙදීමකින් ඒක සම්පූර්ණ කරගන්න ඕනැ. අකැමැති එවුන්ව මර්දනය කරන්න වෙනවා. ඉතිහාසය පුරාම එහෙම තමයි වෙලා තියෙන්නෙ. 2009දි නැවත වටයකින් මේ මර්දනය තහවුරු කළා.

♠️♣️♥️♦️ කැරැලි ගහන්නෙ නැතුව, වෙනම රාජ්‍යයක් ගැන කියෝ කියෝ බිස්නස් කරන එවුන් අවුලක් නැහැ. උන් හැමදාම හිටියත් ගැටලුවක් නැහැ. උන් කරන්නෙ අරමුදල් සම්පාදනය, බල දේශපාලනයෙදි දෙමළ ජාතිවාදය පාවිච්චි කරන එක, දේශපාලන රැකවරණ ගන්න එක වගේ බිස්නස්. ඒවට කවුරුවත් බයවෙන්න ඕනැ නැහැ. කැරැලි ගහන්න ආවොත් කුඩුවෙන්න දෙන්න වෙනවා.

♠️♣️♥️♦️ දෙමළ රාජ්‍යයක් වගේම තමයි. ශ්‍රී ලාංකික ජාතිය කියල එකක් කවදාවත් හදන්න බැහැ. ලංකාවෙ තියෙන්නෙ සිංහල මූලික ශ්‍රී ලාංකික ජාතියක්. දකුණු ආසියාවම එකතු වෙලා ජාතිය ඉක්මවා ගිය පුළුල් දේශපාලන අනන්‍යතාවක් ගොඩනගාගන්න වැඩකරන්න ඕනැ. ඉන්දියාවයි ලංකාවයි අතර පොදු විනිමය ඒකකයක් ගැන දැන් කතාවක් යනවා නේද? ඒ තමයි, ඒ විප්ලවයේ ආරම්භය.

♠️♣️♥️♦️ ඉන්දියාවත් හින්දු මූලිකයි. ඉන්දියාව හින්දු මුස්ලිම් වශයෙන් රාජ්‍යයන් දෙකකට බෙදිලා තමයි ස්ථාවර වුණේ. දැන් තුනයි. අභ්‍යන්තරිකව සාධාරණ අන්දමින් බලය බෙදල තියෙනවා. ඒ නිසා ඉන්දීය කියන පුළුල් ජාතියක් තියෙනවාය කියන්නත් පුළුවන්.

♠️♣️♥️♦️ එහෙම බැලුවොත් ලංකාවටත් තියෙන්නෙ ඉන්දීය විසඳුමම තමයි. ඒ කියන්නෙ සිංහල දෙමළ රාජ්‍ය දෙකක් වෙන එක. හැබැයි, භූ දේශපාලනික යථාර්ථය තුළ ඒ විසඳුම ප්‍රායෝගික නැහැ. ශ්‍රී ලාංකික කියන්නෙ සිංහල. ඒක ඇතුළට දෙමළ ජාතිය දාන්න බැහැ. සරලව කිව්වොත් උන් එන්නෙ නැහැ. ඊලමක් දෙන්නත් බැහැ.

♠️♣️♥️♦️ ඒ නිසා ඒක අමතක කරලා ඉන්දියාවත් එක්ක එකතු වෙලා පුළුල් දේශපාලන අනන්‍යතාවක් ගොඩනගන හැටි හිතන්න. ඔය ප්‍රශ්නෙ ශ්‍රී ලාංකික සීමාව ඇතුළෙ විසඳන්න බැහැ.