Sri Lanka School Children

ජනාධිපති ගෝඨාභය දිළිඳුකම නැති කරන්නට රජයේ රස්සා දීම

අජිත් පැරකුම් ජයසිංහ

රජයේ රැකියා ලබාදීම පිළිබඳ මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිහිපවරක් ම කතා කර තිබේ. නිපුණත්වයක් අවශ්‍ය නැති රැකියා පිළිබඳ කතා කරමින් ඔහු එම රැකියා ලබා දීමේදී කටයුතු කළ යුතු ආකාරය ගැන පැවසූ අදහස් මෙසේ ගොනු කළ හැකි ය.

Translations

නිපුණත්වයක් අවශ්‍ය නැති රැකියා ඇබෑර්තු සියලු දෙනාට ම ලබා දිය යුතුයි. ඒ ඇබෑර්තු බොහෝ වෙලාවට පිරෙව්වේ ඇමතිවරයාගේ ආසනයෙන්. එම රැකියා දිය යුත්තේ දුප්පත්කමේ පහළම සිටින අයටයි. එය දුප්පත්කම නැති කිරීමට ඉවහල් වෙනවා. ඉහළ සුදුසුකම් ඇති අයට මෙම රැකියාව දුන් විට එම රැකියාවන්ට අදාළ කාර්යයන් ඔවුන්ගෙන් ඉටුකරගන්නට බැහැ. එවැනි පුරප්පාඩු ඇමතිවරයා විසින් කෙළින් ම පුරවන්නේ නැතුව, රටේ සෑම ප්‍රදේශයක ම සිටින මන්ත්‍රීවරුන්ට එම පුරප්පාඩුවලට අවස්ථාව ලබාදිය යුතුයි. එවැනි පුරප්පාඩු තිබේ නම් ඒ පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දෙන්න.

නිපුණතා අවශ්‍ය නැති රැකියා යන්න වැරදි යෙදුමකි. සනීපාරක්ෂක කම්කරු වෘත්තිය නිවැරදිව කිරීමට පවා කම්කරුවකුට නිපුණතා අවශ්‍ය ය. එසේම, තම රැකියාව පිළිබඳ යහපත් ආකල්ප අවශ්‍ය ය. ඔවුන්ට අවම හෝ පුහුණුවක් ලබා දිය යුතු ය.

දිළිඳුකම නැති කිරීම සඳහා රජයේ රැකියා ලබාදීම වර්තමානයට කෙතරම් ගැලපෙන ක්‍රියාවක් ද යන්න පැහැදිලි නැත. එසේම, මෙය අලුත් අදහසක් හෝ වැඩපිළිවෙලක් ද නොවේ. ජනසවිලාභී පවුල්වල සාමාන්‍ය පෙළ සමතුන්ට හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස විසින් අභ්‍යාසලාභී ගුරු පත්වීම් පවා ලබා දෙන ලදී.

රජයේ රැකියාවලට දිළිඳු පවුල්වල දේශපාලන අන්තේවාසිකයන් පිරවීම පසුගිය කාලාන්තරය පුරා ම සිදු විය. කම්කරු රැකියාවලට බැඳුණු මෙම පුද්ගලයන් අතරින් වැඩිදෙනෙකු කරන්නට අකැමැති ම දෙය වැඩ කිරීම ය. මෙවැනි පුද්ගලයන්ගෙන් පාසල් හා රෝහල් වැනි ආයතන පිරී තිබේ. ඔවුන් වැඩිදෙනෙකුගේ විනය ද අන්තිම දුර්වල ය. මහජනතාව මෙම ආයතනවලින් සේවා ලබාගන්නට ගිය විට ඔවුන්ගේ ගෙම්බර් බලන්නට සිදුවීම ඉතා සාමාන්‍ය සිදුවීමකි.

මා දැක තිබෙන වැඩකට ම නැති කම්කරු පිරිස ඉන්නේ පාසල්වල ය. බොහෝ ජාතික පාසල්වල මෙවැනි ඊනියා කම්කරුවෝ දුසිම් ගණන් සිටිති. එහෙත්, පාසල්වල පිරිසිදු කිරීම් වැඩි ප්‍රමාණයක් කරන්නට සිදුවන්නේ පාසල් දරුවන්ට ය. ජනාධිපතිවරයා කී පරිද්දෙන් ම ඉහළ අධ්‍යාපන සුදුස්මක් ඇති අය රජයේ සේවයට පිවිසීම සඳහා ඇතැම් විට පාසල් කම්කරු රැකියා තෝරාගන්නා අවස්ථා තිබේ. කලක් මා සේවය කළ පාසලක බාහිර උපාධිධාරිනියක් පාසල් කම්කරු රැකියාවක යෙදුනා ය. එම පාසලේ බොහෝ ගුරුවරුන් උපාධිධාරීන් වූයේ නැත. මෙසේ රජයේ සේවයට පිවිසෙන්නට හේතුව වන්නේ අභ්‍යන්තර විභාග ඔස්සේ ලිපිකරු ශ්‍රේණිවලට උසස්වීම් ලබාගැනීමට හැකි වීමයි. කම්කරු රැකියාවලට පිවිසුණ ද මේ බොහෝ දෙනෙකු කම්කරු වැඩ කරන්නට අකැමැති ය. කම්කරු වැඩ අවසානයේදී කරන්නට සිදුවන්නේ පාසල් සිසුන්ට ය.

පසුගිය සමය පුරා ම උපාධිධාරීන්ට ද මේ අන්දමින් ම රජයේ රැකියා ලබාදෙන ලදී. මේ වන විට ලක්ෂ දෙකක් පමණ පිරිසක් හුදු උපාධිධාරීන් වීම නිසා දෙන ලද රැකියාවල යෙදී සිටිති. ඔවුන් බොහෝ විට කරන්නේ ලිපිකරුවන්ගේ කාර්යයන් ය. එම නිසා, කලින් උසස් පෙළ සමතුන් අතරින් කරන ලද කළමනාකරණ සහකාර සේවයට බඳවාගැනීම් දැන් සිදුවන්නේ නැති තරම් ය. උසස් පෙළ සමතුන් පවා රජයේ කම්කරු රැකියාවලට බැඳෙන්නේ එම නිසා ය.

බොහෝ හැකියාවන් සහිත පුද්ගලයන් රජයේ සේවයට බැඳී ඵලදායී නොවන රැකියා කරති. ඔවුන් රජයේ සේවයට ඇදී එන ප්‍රධාන හේතුව වන්නේ රැකියා සුරක්ෂිතභාවය හා විශ්‍රාම වැටුප ය. එහෙත්, අලුතෙන් රජයේ සේවයට බැඳෙන පුද්ගලයන්ට විශ්‍රාම වැටුප ද නැත.

තෝරාගත් පුද්ගලයන්ගේ දිළිඳුභාවය නැති කිරීමට නම් මෙවැනි රජයේ රැකියා ඉවහල් වේ. එහෙත්, මෙසේ රැකියා දීම නිසා රට දිළිඳු වී තිබේ. රජයේ සේවයේ කාර්යක්ෂමතාව වැඩි නොකර රටේ දිළිඳුකම නැතිකරන්නට බැරි ය.

දිළිඳුකම නැති කරන්නට ය කියා මේ රටේ විවිධ ආණ්ඩු විසින්, ජනසවි, සමෘද්ධි, ජනපද ඉඩම්, උදාගම් ගෙවල් ආදී බොහෝ සහනාධාර දී තිබේ. ඒවායින් දිළිඳුකම නැති නොවන බවත්, හිඟනකම ම ප්‍රවර්ධනය වන බවත් නැවත, නැවත ඔප්පු වී තිබේ. දිළිඳුකම නැති කරන්නට අලසයින්ට මහජන මුදල් බෙදා දෙනවා වෙනුවට මහන්සි වී ඇත්තට ම වැඩ කරන මිනිසුන්ට රජය උදව් කළ යුතු ය. විදේශ රැකියා කර ආපසු එන කාන්තාවන්ට, පිරිමින්ට ස්වයං රැකියා, සුළු කර්මාන්ත ආදිය ආරම්භ කිරීමට අත දිය යුතු ය. රජයේ රැකියා ඉල්ලමින් දේශපාලකයන් පසුපස යනවා වෙනුවට වැඩ කරන්නට මිනිසුන් දිරිගැන්විය යුතු ය.

මෙම රැකියා දෙන්නට යන්නේ ද දේශපාලකයන් හරහා ඉතා වැරදි ක්‍රමයකට ය. අඩු තරමේ මෙම පුරප්පාඩු පිරවීම සඳහා විවෘත අයදුම්පත් කැඳවීමක් හෝ නොකෙරේ නම් මෙහි කිසිදු අලුත්බවක් නැත.

රජයේ රැකියා ලබාගැනීම සඳහා දැන් සිට ම පොහොට්ටුවට ඡන්දය දුන් අය දේශපාලකයන්ගේ ගෙවල්වල පිරෙන්නට පටන්ගෙන ඇතුවාට සැකයක් නැත. හැත්තෑලක්ෂයට ම රජයේ රැකියා දෙන්නට තරම් රජය නිර්ලෝභී නොවේවා යයි ප්‍රාර්ථනා කරමු.

කවරයේ ඡායාරූපය ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානයේ වෙබ් අඩවියෙන් ලබාගන්නා ලදී. ස්තුතියි.