President Gotabaya addressing nation

ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීම පරිණත කතාවකි

අජිත් පැරකුම් ජයසිංහ

2021 අගෝස්තු 20දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතිය අමතා කරන ලද ප්‍රකාශය වඩා පරිණත ලෙස තත්වය හා ප්‍රතිපත්ති පැහැදිලි කරන එකක් බව පැවසිය යුතුය.

කොවිඩ්-19 සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය එන්නත්කරණය බව ජනාධිපතිවරයා පැවසීය. රටේ සියලුම ජනතාව එන්නත්කරණය කිරීම සඳහා එන්නත් ලබාගැනීම සඳහා රජය විසින් දරණ ලද ප්‍රයත්නය ඔහු පැහැදිලි කළේය. එහිදී ඔහු විශේෂයෙන් සඳහන් නොකළ ද ජාත්‍යන්තර ප්‍රජාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන කොවැක්ස් පහසුකම මෙහිදී ඉතා වැදගත්ය. කෙසේ හෝ මෙරට ජනගහණයෙන් ලක්ෂ 50කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකක් ලබාදී තිබෙන බව ජනාධිපතිවරයා පැවසීය. සැප්තැම්බර් 10දා වන විට ජනගහනයෙන් 100%කට එන්නත ලබාදෙන බව ඔහු පැවසීය. ඔහු අදහස් කරන්නට ඇත්තේ වයස අවුරුදු 18ට වැඩි ජනගහනය විය යුතුය.

එසේම, කොවිඩ්-19 පාලනය කිරීම සඳහා ගන්නා ලද පළාත් අතර සංචරණ සීමා, ග්‍රාමසේවා වසම් හුදකලා කිරීම්, ඇඳිරි නීතිය, රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය සේවකයන් පමණක් වැඩට කැඳවීම, උත්සව නැවැත්වීම්, ඇතැම් ව්‍යාපාර නැවැත්වීම් ආදිය ද ඔහු පෙන්වා දුන්නේය.

පළමු කොවිඩ් රැල්ලේදී එක දිගට මාස කීපයක් රට පූර්ණ වශයෙන් වසා දැමුවේ ඒ වන විට වෙනත් විකල්පයක් නොතිබූ නිසා බව ඔහු පෙන්වා දුන්නේය. පළමු රැල්ල ජයගැනීමට සමත් වුවද, කොරෝනා පළමු රැල්ල කාලය නිදහසින් පසු මෙරට අඩුම ආර්ථික වර්ධන වේගයක් වාර්තා වූ කාලයක් බව ඔහු පැවසීය. වාර්ෂිකව ඩොලර් බිලියන පහක් පමණ අපනයන ආදායමක් නිපදවූ ඇඟලුම් කර්මාන්තයට වූ හානි වූ අයුර හා එයින් විශාල පිරිසකට රැකියා අහිමි වූ ආකාරය ද ඔහු පෙන්වා දුන්නේය.

වසරකට ඩොලර් බිලියන 4.5ක ආදායමක් රටට ගෙන ආ, මිලියනයක ජනතාවක් රැකියා කරන සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩාවැටීම පිළිබඳව ද ඔහු පෙන්වා දුන්නේය.

විටින් විට කරන රට වසාදැමීම් නිසා ඉදිකිරීම් කර්මාන්තයට පහර වැදුණු බව ද පෙන්වා දුන්නේය. එම ක්ෂේත්‍රයේ දේශීය හා විදේශීය ආයෝජන අහිමි වූ බව ද ජනාධිපතිවරයා පැවසීය.

එසේම, දළ දේශීය නිෂ්පාදිතයෙන් 50%කට වඩා දායක වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය මුහුණදෙන අභියෝග පිළිබඳව ද ජනාධිපතිවරයා කතා කළේය.

ලක්ෂ 45ක් පමණ වන ස්වයං රැකියා හා දෛනික ආදායම් ලබන්නන්ගේ ආදායම් සම්පූර්ණයෙන් බිඳවැටී අසරණ වීම පිළිබඳව ද ජනාධිපතිවරයා කතා කළේය.

රුපියල් 5,000 දීමනාව පිළිබඳ පුරසාරමක් ද කියැවිණි. තමන්ගේ නිවෙස්වල නිරෝධායනය වන සෑම පවුලකටම සති දෙකක් යැපීම සඳහා රු. 10,000ක සහන මල්ලක් සැපයීම ඇත්තටම හොඳින් ක්‍රියාත්මක වන වැඩසටහනකි.

රජයේ සේවකයන්ගේ වැටුප් කප්පාදු නොකිරීම පිළිබඳ හා වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 4ක පමණ වන ණය වාරික නියමිත ආපසු ගෙවීම පිළිබඳ ද ජනාධිපතිවරයා කතා කළේය. මෙම දුෂ්කර අවස්ථාවේ මහජන මුදලින් වැටුප් ලබන රජයේ සේවකයන්ගේ වගකීම් පිළිබඳ ජනාධිපතිවරයා කතා නොකිරීම දුර්වලකමකි. රාජ්‍ය අංශය මනාව සංවිධානය කිරීමට ආණ්ඩුව අසමත් වී තිබේ. හමුදාවට රජය වෙනුවට ආදේශ විය නොහැකි බව ඔහු අවබෝධ කරගත යුතුය.

රට නැවත වරක් සම්පූර්ණයෙන් වසාදැමීමෙන්, රට බරපතල ආර්ථික අර්බුදයකට ලක්වන බව ද, එය මේ රටට දරාගත නොහැකි බව ද ඔහු පැවසීය. ඇඟලුම් කර්මාන්තයට ලැබී තිබෙන ඇණවුම් කලට වේලාවට ලබාදීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය. දැනට දිනකට සංචාරකයන් 200ක් පමණ රටට පැමිණෙන බව ද ඔහු පැවසීය.

සම්පූර්ණයෙන් රට වසා දැමීමෙන් වන බලපෑම ජනතාව තේරුම්ගත යුතු බව ඔහු පැවසීය.

නැවත ආරම්භ වෙමින් තිබෙන සංචාරක ව්‍යාපාරයෙන් ප්‍රයෝජන ගැනීමට කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

රට නැවත වරක් දින දහයක කාලයක් සඳහා වසාදැමීමේ තීරණය රජය හා විවිධ මතධාරීන්, වෘත්තීය සමිති, වෛද්‍යවරුන්, අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් අතර එකිනෙකා පරයා යන ගැටුමක් නොවන බව ද, ලොව සෑම රටක්ම නව සාමාන්‍යකරණයට හැඩගැසෙමින් තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

එන්නත්, ඔක්සිජන් වැනි සියලු දේ රජය සපයන බව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා පැවසූ ඉතා වැදගත් කරුණක් වූයේ රෝගීන් මැනැවින් කළමනාකරණය කිරීම වෛද්‍යවරුන්ගේ වගකීම බවයි. එය වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට දුන් ඉතා වැදගත් පණිවුඩයකි. එහෙයින් එය තවදුරටත් අප අවධාරණය කළ යුතුය. රෝහල් තුළදී රෝගීන් මෙතරම් මියයාම රෝගීන් කළමනාකරණයේ ගැටලුවකි. නිව්මෝනියාවෙන් ලංකාවේ මෙතරම් රෝගීන් මියයන්නේ කොවිඩ්-19 රෝගය පිළිබඳ වෛද්‍ය දැනුම බෙහෙවින් දියුණු වී තිබෙන වකවානුවක බව ද අප සිහිපත් කළ යුතුය. රෝගීන් කළමනාකරණයේ පවතින ගැටලු පිළිබඳ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවකයන් දන්නවා විය යුතුය. ඒ ගැන ජනතාව මීට වඩා සංවේදී වන්නට පෙර ජනාධිපතිවරයාගේ පණිවුඩය කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවන්නේ නම් හොඳය.

සෞඛ්‍ය අංශවල ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සේවකයන්ට සිය ප්‍රණාමය පුදකරන ගමන්ම ජනාධිපතිවරයා සියලු සෞඛ්‍ය සේවකයන්ට ඉතා වැදගත් පණිවුඩයක් අවධාරණය කළේය. සෞඛ්‍ය අංශ මෙම ප්‍රශ්නය දෙස එක් කෝණයකින් පමණක් බැලුවත්, රජයක් ලෙස විදෙස් ණය ගෙවීම්, වැටුප් ගෙවීම්, සහනාධාර ගෙවීම් ආදිය හා රටේ කුඩා ආර්ථිකය කළමනාකරණය කරගැනීම ගැන සමස්තයක් ලෙස සලකා බැලිය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කොවිඩ්-19 නිසා වැඩිපුරම මියයන්නේ වයස අවුරුදු 60ට වැඩි අය හා නිදන්ගත රෝගවලින් පීඩා විඳි, එමෙන්ම එන්නත ලබා නොගත් අය වීම හේතුවෙන් නිදන්ගත රෝග තිබෙන වයස අවුරුදු 60ට වැඩි අයගේ ඇන්ටිජන් පරීක්ෂාවක් සතියකට වරක් කිරීමට හා ප්‍රතිකාර ගැනීම සඳහා ඔවුන් වහා යොමුකිරීමට රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.

රට වසන්නැයි සරලව උපදෙස් දෙන ඊනියා විශේෂඥයන් වෙනුවෙන් ජනාධිපතිවරයා පැවසුවේ ඉදිරියේදී දීර්ඝ කාලයක් රට වසා තබන්නට සිදුවුවහොත් සියලු දෙනාට කැපකිරීම් කරන්නට සිදුවන බවයි.