Julampitiye Amare

ජනාධිපතිවරණයෙදි වැදගත් දඬුවම් තුනක්; දුමින්ද සිල්වා, සම්පත් චන්ද්‍ර පුෂ්ප, ජූලම්පිටියෙ අමරෙ

දුමින්ද සිල්වා, සම්පත් චන්ද්‍ර පුෂ්ප, ජූලම්පිටියෙ අමරෙ (කවරයේ ඡායාරූපයේ සිටින්නේ ඔහු ය). මේ තුන්දෙනාට මිනීමැරුම් සඳහා ලැබුණු දඬුවම්වල දේශපාලන වැදගත්කමක් තිබෙනවා

දුමින්ද සිල්වාගෙ මරණ දඬුවම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කර හමාරයි. ඔහුට එල්ල වූ චෝදනාව වූයේ 2011 වසරේ ඔක්තෝබර් 08 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වුණ දිනයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වෘත්තීය සමිති උපදේශක වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමයි.

දුමින්ද සිල්වා

දුමින්ද සිල්වාගේ පවුලට අයත් ඒබීසී මාධ්‍ය ජාලය මේ වන විට මහජන දේපලක් වන විද්‍යුත් චුම්බක සංඛ්‍යාත පරාසය අවභාවිතා කරමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දක්වන අතර, එහි අරමුණ වන්නේ දුමින්ද සිල්වාගේ සමීප හිතවතකු වන ගෝඨාභය රාජපක්ෂ හරහා දුමින්ද සිල්වාට නිදහස තහවුරු කරගැනීම බවට චෝදනාවක් එල්ල වේ.

සම්පත් චන්ද්‍රපුෂ්ප

හිටපු තංගල්ල ප්‍රදේශිය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප රාජපක්ෂ පවුලේ තවත් සමීප හිතවතෙකි. 2011 දෙසැම්බර් 25 දා අලුයම බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වූ කුරාම් ෂෙයික් මරාදමා ඔහුගේ පෙම්වතිය සමූහ දූෂණය කිරීමේ චෝදනා සඳහා වැරදිකරු වූ සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණට අවුරුදු 20කින් ගෙවීයන පරිදි වසර 40ක සිරදඬුවමක් කොළඹ මහාධිකරණය විසින් පනවන ලදී.

අලුත්ම සිද්ධිය රාජපක්ෂ පවුලට සමීප තවත් මැරවරයකු වූ ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටිය අමරේ ගැන ය. පළාත් පාලන මැතිවරණ සමයේ 2012 ජුනි 15දා හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන පැවති ජවිපෙ ජනහමුවකට කඩාවැදුණු ජූලම්පිටිය අමරේ නායකත්වය දුන් කණ්ඩායමක් විසින් වෙඩිතබා, පොලුවලින් පහර දී, එයට සහභාගි වූ එදිරිමාන්න පතිරනගේ මාලනී (50) සහ ජයසේකර පතිරනගේ හේෂාන් (18) යන දෙදෙනා ඝාතනය කර නෙත්තසිංහ ලියනගේ සුජිත් නිමේෂ යන අයට බරපතල තුවාල සිදු කළ හ. මේ සම්බන්ධයෙන් ජූලම්පිටිය අමරේට තංගල්ල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී.

මේ වන විට සිරගතව සිටින රාජපක්ෂ පවුලට සමීප ම පුද්ගලයන් වන මොවුන් අතරින් විශේෂයෙන් දුමින්ද සිල්වා නිදහස් කරගැනීම සඳහා ප්‍රබල උත්සාහයක් තිබේ. ඒ ඔහුගේ පවුලේ අයට අයත් මාධ්‍ය භාවිතාව තුළිනි.

ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වුණොත් දුමින්ද සිල්වා වැනි අයට නිදහස ලබා දිය හැකි ද?

මෙය පහසු නැත. මන්ද, මරණීය දණ්ඩනය ලබා දුන් විත්තිකරුවකුට සමාව දෙන්නට නම්, දඬුවම ලබාදුන් විනිසුරුවරයාගේ ද නිර්දේශය අවශ්‍ය ය. එය ද මගහැර යාමට බැරි නැත. මහින්ද රාජපක්ෂ එසේ කර තිබේ.

මෙවර ජනාධිපතිවරණයට ද තරග කරන රූකඩ අපේක්ෂකයකු වන මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳ මිල්රෝයිගේ පෙම්වතියක හා ඇගේ සේවිකාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක්ව සිටියා ය. මහින්ද රාජපක්ෂ ඇය නිදහස් කිරීමට පළමු සිය ජනාධිපති බලතල භාවිතා කර මරණීය දණ්ඩනය සිර දඬුවමක් බවට පත් කළේ ය. ඉන් අනතුරුව කාන්තා දිනයක් මුවාවෙන් පොදු සමාවක් ලබාදුන් අතර ඒ හේතුවෙන් මිල්රෝයිගේ බිරිය සමග ශ්‍රී ලංකාවට කුඩු ගෙන ඒම නිසා සිරගත කර සිටි විදේශික කාන්තාවක ද නිදහස් කරන ලදී.

දුමින්ද සිල්වා, සම්පත් චන්ද්‍ර පුෂ්ප, ජූලම්පිටියෙ අමරෙ වැනි රාජපක්ෂ පවුලට හිතවත් අපරාධකරුවන් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ එසේ කටයුතු කරනවා ද නැද්ද යන්න දැනගත හැකි වනු ඇත්තේ අනාගතයේදී ය.