Champika Ranawaka

චම්පික රණවක තරුණයකු වාහනේ හැප්පුව කතාව

අජිත් පැරකුම් ජයසිංහ

මං චම්පිකගෙ රණවකගේ ෆෑන් කෙනෙකු නෙමෙයි.එහෙත්, එක්සත් ජාතික පක්ෂය හරහා මතු විය හැකි හොඳම අනාගත නායකයා චම්පික රණවක විය හැකි බව මා පිළිගන්නවා.

Translations by Creative Content Consultants

ලංකාවෙ නීතිය කෙසේ වෙතත් භාවිතය අනුව වාහනේක පස්සෙන් ගිහින් අනින එකා තමයි වැරදි. මාස කීපයකට කලින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාර මැද නවත්තපු දේශපාලක බිරිඳක පදවපු වාහනේක පස්සෙන් ඇනලා එයාට 20,000ක් දීලා මගේ කාරෙක 150,000ක් දීලා හැදුවා. මට රක්ෂණෙන් ගෙව්වෙ 120,000යි. අතින් පාඩුව 50,000යි. හැබැයි, නීතිය අනුව අධිවේගී මාර්ගයේ අයිනේවත් වාහන නැවැත්විය නොහැකියි. නඩු කියන්න රස්තියාදු වෙන්න ගතවෙන කාලයට වඩා මේක මට ලාභයි. කතාව ඒකයි. (දේශපාලකයා මහත්මයෙක්. අපි මේ ගැටලුව ඉතා සුහදව විසඳාගත්තා. ඒ නිසා මගෙන් නම අහන්න එපා. කීයටවත් කියන්නෙ නැහැ.)

මාර්ගයේ අනතුරු ඕනැ තරම් සිදුවෙනවා. ඒවායින් සමහරවිට මිනිසුන් මියයනවා. කවුරුවත් සිතාමතා අනතුරු සිදුකරන්නෙ නැහැ. ඕනෑම සුදනකු අතින් වැරදි සිදු විය හැකි තැනක් තමයි මාර්ගය කියන්නේ. වරදක් වුණොත්, අප එම වරද පිළිගෙන අදාළ නිවැරදි කිරීම කළ යුතුයි. නැවත එම වරද සිදු නොවන්නට පරිස්සම් විය යුතුයි.

තරුණයකු ආබාධිතබවට පත් කළ, චම්පික රණවක සම්බන්ධයෙන් ගැටලුව මතු වෙලා තිබෙන 2016දී සිදු වූ අනතුරේදි, වාහනයේ පිටුපසින් තමයි එම තරුණයා පදවපු යතුරුපැදිය ගැටෙන්නෙ. එය මාර්ග ධාවනය සඳහා සුදුසු නැති සීසී 1000 වර්ගයේ රේසිං යතුරුපැදියක්. මොන වාහනය පැදෙව්වත්, ඉදිරියෙන් යන වාහනය සහ තමන්ගෙ වාහනය අතර හදිසියකදී නවත්වාගත හැකි පරතරයක් පවත්වාගෙන යාම පදවන්නාගේ වගකීමක්. අනතුරක් වළක්වාගැනීම මාර්ගය භාවිතා කරන සියලුදෙනාගේ වගකීමක්. මෙම තරුණයාගේ පැත්තෙන් ද වරදක් සිදු වී තිබෙන බව ඉතා පැහැදිලියි.

ප්‍රශ්නය වී තිබෙන්නෙ වාහනය පැදෙව්වෙ චම්පික ද රියදුරා ද කියන එක. රියදුරා තමයි ඉදිරිපත් වී තිබෙන්නෙ. ඔහුට අදාළව නීතිය ක්‍රියාත්මක කරලා ඇති දැනටත්.

වාහනය පැදෙව්වේ චම්පික ය කියලා මේ තරුණයා එක්ක පැමිණි යහළුවන් කියනවා. ඔවුන් තමයි පොලිසියට පැමිණිලි කරලා තියෙන්නෙත්. එය ද ඒ දිනවල ම විමර්ශනය කරන ලද කාරණයක්. නැවතත් විමර්ශනය කිරීමේ පවා ගැටලුවක් නැහැ. සීසීටීවී කැමරා සාක්ෂි, ජංගම දුරකථන විස්තර ආදී සාක්ෂි නැවතත් විමර්ශනය කළ හැකියි. හැබැයි, මෙතන බොරු පැමිණිලි කිරීමක්, බොරු සාක්කි දීමක් වෙලා තිබෙනවා නම්, දෙපාර්ශ්වයෙන් කොයි පාර්ශ්වයට එරෙහිව වුණත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

මගේ රැකියාව අන්තර්ගත රචනය සහ පරිවර්තනය. මේ සිද්ධිය සම්බන්ධයෙන් මව්බිම පුවත්පතේ පළ වූ වාර්තා රැසක් මා කාලයක් තිස්සේ සිලෝන් ටුඩේ පත්තරයට පරිවර්තනය කර තිබෙන නිසා මට මේ සිද්ධිය පිළිබඳ යම් කියවීමක් තිබෙනවා. මේ වාර්තාකිරීම්වලදී චම්පික රණවකගෙන් හෝ ඔහුගේ රියදුරාගෙන් මාධ්‍ය කරුණු විමසන්නේ ඉතා කලාතුරකින්. අනතුරට මුහුණ දුන් තරුණයාගේ මිතුරන්ගෙන්වත් කරුණු විමසීම් කර තිබෙනු මා දුටුවේ නැහැ. හැමවිට ම කරුණු විමසුවේ තරුණයාගේ මව්පියන්ගෙන්. මව්බිම පුවත්පතේ පළ වන බොහෝ සම්මුඛ සාකච්ඡා මා දිගු කාලයක් සිලෝන් ටුඩේ පුවත්පත සඳහා ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබෙනවා. එහෙත්, මේ අනතුරෙන් පසු කිසිදු දිනෙක මා චම්පික රණවකගේ සම්මුඛ සාකච්ඡාවක්වත් මෙම පුවත්පත්වල පළවෙනවා හෝ දැක නැහැ. මා අඛණ්ඩව සියලු පුවත්පත් නිරීක්ෂණය කර නැති නිසා මා වැරදි වෙන්නටත් පුළුවන්. කෙසේ වෙතත්, මෙතන චම්පික විරෝධී මාධ්‍ය මෙහෙයුමක් ද තිබෙනවා.

මෙම තරුණයාගේ මව්පියන් ඉල්ලා සිටියේ තරුණයාව සුවපත් කරගන්නට උපකාර විතරයි. ඒ සඳහා කළ හැකි සියල්ල ලංකාවේ රෝහල්වලින් කර තිබෙනවා. මේ වන විට එම තරුණයා මුලින් සිටි වෙජිටබල් තත්වයට සාපේක්ෂව යම් ප්‍රගතියක් ලබා තිබෙන බවත් පෙනෙනවා. මෙම තත්වයට හදිසි ප්‍රතිකාර නැහැ. තරුණයාගේ ශරීරයෙන්, සෙමින් තමයි යථා තත්වයට පත්වීම සිදුවන්නෙ. මෙම තරුණයාගේ මව එක්තරා මාධ්‍යයකින් ඉල්ලන්නේ එළියන්ත වයිට් නම් හාස්කම් පෙන්වන වෛද්‍යවරයා ළඟට ඔහු යොමු කර දෙන ලෙසයි. මේ වනාහි අගමැති මහින්ද රාජපක්ෂට ප්‍රතිකාර කිරීම නිසා ප්‍රසිද්ධ වූ වෛද්‍යවරයෙක්. ක්‍රීඩා වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් හා එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුමගේ පුත් සහන් තෙවරප්පෙරුමටත් මෙම වෛද්‍යවරයා ප්‍රතිකාර කළ බව මා අසා තිබෙනවා.

චම්පික රණවක හරි ද වැරදි ද යන්න විමර්ශනයක් ඔස්සේ තීරණය කළ යුතුයි. ඔහු වැරදි නම්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය ගෙන ගිය උද්ඝෝෂණය පෞද්ගලිකව ඔහු ඉලක්ක කළ දුෂ්ට ප්‍රයත්නයක් නොවන බව ඔප්පු වෙනවා.

චම්පික රණවක කළ යුතුව තිබෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් ලබාගැනීමට කටයුතු කිරීමයි. සමහර විට දැනටමත් තීන්දුවක් ලබා දී ඇති. අවශ්‍ය නම්, නැවත තීන්දුවක් ලබාගත යුතුයි. ඒ සඳහා නැවතත් සාක්ෂි විමසන්නට පුළුවන්. සාක්ෂි දුන් තරුණයන් නැවත කැඳවා සාක්ෂි විමසන්නට පුළුවන්. ඔවුන්ට උපකාර කළ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ද අධිකරණයට කැඳවිය යුතුයි. මෙම අනතුර සිදුවන විට යතුරුපැදියේ පසුපස ගමන් ගත් අයෙකු ද සිටියා.

බටලන්ද චෝදනාවලදී රනිල් වික්‍රමසිංහ කළ දෙය මෙහිදී ආදර්ශයට ගතහැකියි. රනිල් අදාළ කොමිෂම ඉදිරියේ සාක්ෂි දීමට බය නැතුව ඉදිරිපත් වුණා.

චම්පික රණවකට එරෙහිව පාවිච්චි කළ හැකි මෙවැනි සුළු අවි පවා භාවිතා කිරීම ඉතා දේශපාලනිකයි. හේතුව, චම්පික තමයි එක්සත් ජාතික පක්ෂය හරහා රටේ නායකත්වය සඳහා මතුවන්නට වැඩිම හැකියාවක් තිබෙන පුද්ගලයා. ඔහු ඒ සඳහා මුලපුරා තිබෙන බවත්, ඒ සඳහා ඔහු යෝග්‍ය බවත් පැහැදිලියි. හැබැයි ඉතින් ඔහු ළඟත් අඩුපාඩු තිබෙන්නට පුළුවන්. රටේ නායකයකු වන්නට සිටින පුද්ගලයකු වුණත්, පුරවැසියන් ලෙස ඔහුට අපේ උදව් අවශ්‍යයි.

තමන් නිවැරදි නම්, චම්පික රණවකට මෙම අභියෝගය ආශිර්වාදයක්. ඔහු වැරැද්දක් කර තිබේ නම්, සමහර විට ඔහු දෑත් ශක්තිමත් කරන්නට එක්වන්නට වුණත් ඉඩ තිබෙනවා.

Translations