Cartoon by Ajith Perakum Jayasinghe

ගෝඨාභයගේ ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගැනීමත් අවදානමේ

ඉතා සරල ලෙස, විධිමත් අන්දමින් කරගැනීමට ඕනෑ තරම් අවස්ථාව තිබුණු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගැනීම, බලයෙන් මත් වී, උද්ධච්ඡ ලෙස කටයුතු කිරීම නිසා අවුල් කරගත් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිනී වියන්ගොඩ විසින් පවරන ලද නඩුව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගැනීමට නියමිත ය. මේ අතර ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ඇති කුකුස හේතුවෙන් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගැනීම සම්බන්ධයෙන් ද ගැටලුවක් ඇති වෙයි.

(ලිපිය දැන්වීමෙන් පසු)
Translations by Creative Content Consultants

ලොව කිසිදු රටක් පුද්ගලයකුගේ පුරවැසිභාවය ඉවත් කරගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එසේ පුරවැසිභාවය ඉවත් කරගන්නා පුද්ගලයා රටක් නැති පුද්ගලයකු බවට පත්වීමට ඉඩ දෙන්නේ නැත. වෙනත් රටක පුරවැසිභාවය නොමැති පුද්ගලයකුගේ පුරවැසිභාවය ඉවත් කරගැනීම පිළිගැනීම සම්බන්ධයෙන් ද ඒ අනුව ගැටලුවක් මතු වේ.

මේ අතර, ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ තවත් කරුණු දැක්වීමක් කරමින් දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මෙසේ සටහන් කර තිබිණි.

ද්විත්ව පුරවැසි අයදුම්පත් සමග ඉදිරිපත් කළ යුතු වැදගත්ම සහතිකය වන්නේ තමන්ට පුරවැසිභාවය තිබෙන රටේ පදිංචි ස්ථානයට අදාළ පොලිස් මූලස්ථානයෙන් ලබා ගන්නා පොලිස් නිශ්කාෂණ සහතිකය (Police Clearance Certificate). ගෝටාභය රාජපක්ෂ මහතා පදිංචිව සිටියේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බැවින් එහි පදිංචි පළාතට අදාළ පොලිස් මූලස්ථානයෙන් එය ලබාගත යුතුය. ඔහු අදාළ පොලිස් මූලස්ථානයට ගොස් ඒ සදහා වූ අයදුම්පත්‍රයක් , නිශ්චිත ගාස්තු ගෙවා ඉදිරිපත් කළ යුතුය. එහිදී ඔහුගේ ඇගිලි සළකුණු ලබා ගැනීම සිදුකෙරේ. මෙකී සහතිකය එහි හඳුන්වනු ලබන්නේ (Certificate of Conduct and Non Criminal Fingerprint) වශයෙනි.

ඉහත අයදූම්පත ඉදිරිපත් කොට ඇගිලි සළකුණු ලබා ගැනීමෙන් පසූ අදාළ සහතිකය නිකුත් කරනු ලබන්නේ උපරිම දින දාහතරකට පසුවය. ඊට හේතුව නම්, අයදුම්පත ඉදිරිපත් කළ තැත්තා අපරාධමය වරදකට හසුවී තිබේද යන්න පරීක්ෂා කිරීමට අවැසි කාලය ලබා ගැනීමටයි.. මෙකී සහතිකයේ වලංගු කාලය නිකුත් කළ දිනයේ සිට දින හැටක් බව සහතිකයේම සදහන් කර තිබේ. (ඔහු ලංකාවට පැමිණීමට ප්‍රථම එය රැගෙන ආවා යැයි තර්ක කිරීමට නොහැක. වලංගු කාලය මාස දෙකකි.)

ලොස් ඇන්ජලීස් හී ශාන්ත කේ. ඩබ්. පතිරණ මහතා ප්‍රශ්න කර සිටින්නේ ගෝටාභය රාජපක්ෂ මහතා සංචාරක වීසා බලපත්‍රයක් මගින් ලංකාවට පැමිණ මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයෙන් දින තුනකට පසු ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගත්තේ නම්, එකී ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු පුරවැසිභාවය හිමි රටේ පොලිස් නිශ්කාෂණ සහතිකය ඉදිරිපත් කළේ කෙසේද යන්නයි. (ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීමට පෙර ඔහු පුරවැසියෙකු වශයෙන් සිටි රටේ අපරාධමය වැරැදි සිදුකර ඇත්ද, නැද්ද යන්න තහවුරු කර ගැනීම මෙහි අදහසයි.) එකී පොලිස් නිෂ්කාශන සහතිකය ලබා ගැනීමට අනිවාර්යයෙන්ම අදාළ පුද්ගලයා අදාළ පොලිස් මූලස්ථානයට යා යුතුමය. මන්ද යත් එම සහතිකය ලබාදීමට ඉල්ලුම්කරුගේ ඇඟිලි සළකුණු අත්‍යවශ්‍ය වන බැවිනි.

ගෝටාභය රාජපක්ෂ මහතා උපරිම දින තුනක් තුළ සෙනසුරාදා, ඉරිදා ද ඇතුළත්ව ද්විත්ව පුරවැසිභාවය ලබා ගත්තා යැයි ප්‍රකාශ කරන්නේ නම්, ඒ සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය පොලිස් නිෂ්කාශන සහතිකය ඉදීරිපත් කිරීමට කවර තත්වයක් යටතේවත් ඔහුට හැකියාවක් නොවූ බව පතිරණ මහතාගේ අදහසයි.

(ඔහු 2005 වසරෙහිදී ලංකාවට පැමිණෙන විට එම සහතිකය රැගෙන පැමිණයේ නම් 2005 ‌නොවැ 21 වන විට එහි කල් ඉකුත් වී තිබිය යුතු ය. අනෙක් අතට ඔහු එලෙස සූොනම්ව පැමිණියේ නම් කල් ඇතිවම එම ඉල්ලීම කරන්නට ඉඩ තිබුණි.)

ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට ඉහත සියලු කොන්දේසි සම්පූර්ණ කළ පසු අදාළ අයදුම්පත ලියාපදිංචිය සිදුකරනු ලබන අතර, ඉන්පසු එය ආගමන විගමන පාලකවරයා ද ඇතුළත් කමිටුවකට යොමු කරනු ලබන බවත්, එම කමිටුව රුස්වී ලැබී ඇති අයදුම්පත්වල සුදුසුකම් පරීක්ෂා කොට අනුමත කිරීම සිදුකරනු ලබන බවත්, ඉන්පසු අයදුම්පතට කමිටු අනුමැතියට ලැබී ඇත්නම්, අදාළ ගාස්තු ගෙවන ලෙස අයදුම් කරුට දැනුම් දෙන බවත්, එකී ගාස්තු ගෙවූ පසු ඇමැතිවරයාගේ අවසාන අනුමැතිය ලැබෙන බවත් පතිරණ මහතා සදහන් කරයි.

රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ ලිපි ගොනුව අතුරුදන්ව ඇතැයි ප්‍රකාශ කරන්නේ නම්, ඒකි ලිපි ගොනුව තුළ අනිවාර්යයෙන්ම තිබිය යුතු ඉහත ඇමෙරිකාවෙන් ලබාගත යුතු පොලිස් නිෂ්කාශන සහතිකය ඔහු විසින් අදාළ දිනයන්හිදී ලබා ගෙන තිබේ දැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා කැලිෆෝනියාවේ ඔහු පදිංචිව සිටි ප්‍රදේශයට අදාළ පොලිස් මූලස්ථානයෙන් විමසීමක් කර තහවුරු කරගත හැකිය. පුරවැසිභාවය ලබා ගත්තේ යැයි කියන දින වකවානු දෙස බැලීමේදී එවැන්නක් සිදුවීමට කිසිසේත්ම ඉඩ නැති බවත් අධිකරණයේ අවධානයට එය යොමු විය යුතු බවත් ශාන්ත කේ. ඩබ්. පතිරණ මහතා අවධාරණය කරයි.

කෙසේ වෙතත්, මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණය විසින් යම් තීන්දුවක් දෙනු ඇත. අපි එය පිළිගන්නෙමු. එහෙත්, කිව යුතු දෙයක් තිබේ. රටක විනයක් ඇති කරන්නට යයි කියමින් ඡන්දය ඉල්ලන්නේ තමන්ගේ අතිශය වැදගත් පෞද්ගලික කාර්යයකදී පවා මේ අන්දමින් හැසිරෙන අයයි. විස්මය නම්, ඒවා මේ අන්දමින් අවුල් කරගන්නේ නැතුව විධිමත් අන්දමින් කරගැනීමට ඕනෑම කෙනෙකුට හැකියාව තිබීමයි. එසේ නොකර මෙවැනි අවුල් නිර්මාණය කරගන්නේ කිසිදු විනයක් නැති පුද්ගලයන් ය.