Election violence cartoon

කොරෝනා හමුවේ 2020 මහ මැතිවරණයේදී තිබුණු ඉවසීම දැන් නැත්තේ ඇයි?

අජිත් පැරකුම් ජයසිංහ

මෙම සටහන තබන මොහොත වන විටත් පළාත් පාලන මැතිවරණය උභතෝකොටිකයකි. එම ගැටලුව අධිකරණයට හෝ විසඳිය හැකිද යන්න ගැටලුවකි. අලුත් මැතිවරණ කොමිෂන් සභාවක් පත්කිරීමට ද නියමිතය. ආණ්ඩුව මැතිවරණය කඩාකප්පල් කරන බවට චෝදනා එල්ල වුවද, මැතිවරණය කැඳෙව්වේ ද, දින නියම කළේ ද, එය පවත්වන බව කීවේ ද, දැන් පවත්වන්නට බැරි බව කියන්නේ ද නිමල් පුංචිහේවා සභාපති තනතුර හොබවන මැතිවරණ කොමිෂන් සභාව විසිනි. මැතිවරණයක පිරිවැය පාර්ශ්වය පිළිබඳ රජය සමග සාකච්ඡා කිරීමේ වගකීමක් ඔවුන්ට නැද්ද? ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවක් යනු රජයක් නොමැතිව පවා කටයුතු කළ හැකි තරම් බලවත් ආයතනයක්ද? මැතිවරණය යනු දැවැන්ත පිරිවැයකි. එසේ නම්, ආර්ථික අර්බුදයක් පවතිද්දී පළාත් පාලන මැතිවරණයක් කැඳවන්නට පෙර ඔවුන් රජය සමග සාකච්ඡා නොකළේ ඇයි? ස්වාධීන කොමිෂන් සභා වූ පළියට එසේ රජයෙන් පරිබාහිරව කටයුතු කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පත්කරන ලද එතරම් ස්වාධීන නැති කොමිෂන් සභාවකට බලය තිබේද?

පළාත් පාලන මැතිවරණය ජනතාවගේ පරමාධිපත්‍යයට අදාළ කාරණයක් නොවේ. පරමාධිපත්‍යයෙහි අංශ දෙකක් තිබේ. එනම්, බාහිර කටයුතුවලදී රාජ්‍යයේ ස්වාධීනත්වය සහ අභ්‍යන්තර ව්‍යුහය තුළ රාජ්‍ය බලයේ ආධිපත්‍යයයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පළමු පරිච්ඡේදයෙහි අංක 3 යටතේ ජනතාව, රජය සහ පරමාධිපත්‍යය යන ශීර්ෂය යටතේ “ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය” යනුවෙන් සඳහන් වේ. එය තවදුරටත් විස්තර කරමින් “පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේය” යි එහි සඳහන් වේ.

අංක 4 යටතේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සඳහන් වන අතර එහි (ඉ) යටතේ “අටළොස් විය සම්පූර්ණ කර ඇත්තා වූ ද, මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති පරිදි ඡන්දහිමියකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුළත් කරනු ලැබ සිටින්නා වූ ද, සෑම පුරවැසියකු විසින් ම ජනරජයේ ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමේ දී ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයේ දී ද, සෑම ජනමත විචාරණයක දී ද ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි විය යුතු වන්නේ ය” යි පරමාධිපත්‍යය සම්බන්ධ පුරවැසි වගකීම පැහැදිලි කරනු ලැබේ.

පළාත් පාලන මැතිවරණවල මූලික අරමුණ ගම් මට්ටමේ නායකයන්ට පළාත් පාලනය හරහා දේශපාලනයට සම්බන්ධ වීම සඳහා දොරටු විවෘත කර දීමයි. එය බලය විමධ්‍යගත කිරීමේ ප්‍රධාන මෙවලමකි. දැනට ක්‍රියාත්මක ක්‍රමය තුළ කොට්ඨාස කුඩා නිසා එම කොට්ඨාසවල සැබෑ නායකයන්ට මැතිවරණ හරහා සභාවට තේරී පත්වීම පහසුය. පළාත් පාලන මැතිවරණ ජාතික මට්ටමේ දේශපාලනයට නතු කිරීම මගින් රටට සිදුවන සේවයක් නැත. එපමණක් නොව, එය ප්‍රතිගාමී කාර්යයකි.

මෙම ප්‍රතිගාමී කාර්යයට මුලපුරමින් 2018දී මහින්ද රාජපක්ෂ ඡන්දය ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කරන ලද ප්‍රචාරණයන් හේතුවෙන්ම මහරගම, තිරප්පනේ වැනි පළාත් පාලන ආයතනවල ප්‍රතික්ෂේපිත පොහොට්ටු නාම යෝජනා වෙනුවට ස්වාධීන කණ්ඩායම්වල කිසිවකු නොදන්නා අප්‍රකට පුද්ගලයන්ට පවා ඡන්දය ලැබිණි. ඒ අනුව, ස්වාධීන කණ්ඩායම – අංක 2 යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශය පදිංචිකරුවන් පිරිසක් මහරගම නගර සභාවට ඡන්දයෙන් තේරී පත්වූහ. මේ වතාවේ මේ විකෘතිය කරන්නට හදන්නේ මාලිමාව හෙවත් ජාතික ජන බලවේගය හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ බහුජන අංශයයි.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට පවතින ප්‍රධාන අභියෝගය වන්නේ ඒ වෙනුවෙන් වියදම් එකවර සම්පාදනය කිරීමට රජයට මුදල් නොමැති වීම නම්, එකී වියදම් කඩින් කඩ සැපයිය හැකිය. පළාත් පාලන මැතිවරණ කඩින් කඩ පැවැත්විය හැකිය. ඒවා පවත්වන්නේ එක් එක් සභා වෙනුවෙන් නිසා රට පුරා පළාත් පාලන මැතිවරණ එකම දිනයක පැවැත්වීම කිසි සේත්ම අවශ්‍ය නැත.

පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ බලතල පාර්ලිමේන්තුවට තිබේ. හදිසි නීතිය දක්වා බලතල විශාල ප්‍රමාණයක් ඒ සඳහා භාවිතා කළ හැකිය. 1970-77 සමයේදී පළාත් පාලන මැතිවරණ පැවැත්වුණේ නැත. රටේ පැවැති කලබලකාරී තත්වය හේතුවෙන් 1987දී පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් භාරගත් නාමයෝජනා ද අවලංගු කරන ලදි.

එහෙත්, ඒ කිසිවක් දැනට සිදුකර නොමැත. එසේ තිබියදී නඩු යන්නට දෙයකුත් නැත. ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ කැඳවා හෝ කල්දමා නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙබරවාරි 23දා පාර්ලිමේන්තුවේදී පැවසීය. ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේ වගකීම භාර නොගන්නා සංදර්භයක් තුළ එහි වගකීම භාරගන්නේ කවුරුද?

2020 මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව, මාර්තු 19දා, මහ මැතිවරණය නියමිත පරිදි අප්‍රේල් 25 වැනිදා පැවත්වීමට  නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කීවේය. හේතුව ලෙස දක්වනු ලැබුවේ කොරෝනා ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. අප්‍රේල් 25 දින නොපැවැත්වෙන අතර ඊට දින 14කට පසු කොරෝනා තත්ත්වය පාලනය වන ආකාරය අනුව මැතිවරණය පැවැත්වෙන දිනය දැනුම්දෙන බව ඒ මහතා කීය. එසේ කල්දමනු ලැබුවේ ජනතා පරමාධිපත්‍යය සමග ඍජුවම සම්බන්ධ මැතිවරණයකි. එම මැතිවරණය පැවැත්වුණේ 2020 අගෝස්තු මාසයේදීය. එසේ නම්, ආර්ථික අර්බුදය හේතුවෙන් පළාත් පාලන මැතිවරණයක් කල්දැමීමට මැතිවරණ කොමිෂන් සභාවට බැරි ඇයි? හරි නම්, මේ වන විට ඉල්ලා අස්වී, 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ නව කොමිෂන් සභාවකට ඉඩදිය යුතුව තිබෙන යල්පැනගිය කොමිෂන් සභාවක් මේ අන්දමින් කටයුතු කළේ ඇයි?

එමගින් සමාජයේ විශාල කැළඹීමක් ඇති වී තිබේ. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජන බලවේගය සෙසු පක්ෂවලට වඩා අතිවිශාල ධනයක් හා වෙහෙසක් වැය කරමින් මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණේය. එමගින් ඔවුන්ට වෙනදාට වඩා වාසිදායක තත්වයක් ද නිර්මාණය වී තිබේ. ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා ගන්නා ලද අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග වන බදු ඉහළ නැංවීම හා බලශක්ති සම්බන්ධයෙන් පිරිවැය අනුව මිළ නියම කිරීම වැනි ක්‍රියාමාර්ග හමුවේ පැරණි ජීවන තත්වය අහිමි වූ පිරිස්වල පටු වෛරී මානසිකත්වය ද මැතිවරණ වාසි සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ආයෝජනය කරගෙන තිබේ. ආර්ථිකය බේරාගැනීමට ගනු ලබන, වෙනත් විකල්ප ද නොමැති ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේ එසේ වෛරය ප්‍රවර්ධනය කරමින් මැතිවරණ පැවැත්වීම ඇත්තෙන්ම ප්‍රජාතාන්ත්‍රිකද?

මෙවැනි මොහොතක ආර්ථිකය බේරාගැනීමට අවශ්‍ය මූලික පියවර වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට එකඟ වී ණය ප්‍රතිව්‍යූහගත කරගන්නා තෙක් ඉවසන්නට දේශපාලනඥයන්ට බැරි ඇයි? කොරෝනා වයිරසය හමුවේ 2020 මහ මැතිවරණයේදී දේශපාලන පක්ෂවලට තිබුණු ඉවසීම හා මැතිවරණ කොමිෂන් සභාවට තිබුණු බුද්ධිය 2023දී අහිමි වූයේ ඇයි?