Presidents House

කැලේ පැන්න හැමෝටම ආපහු ව්‍යවස්ථාව මතක් වෙයි

අජිත් පැරකුම් ජයසිංහ

අධිකරණයෙන් බඳින ලද ඉනිමං භාවිතා කරමින් කොළඹට එක්රැස් වූ ලක්ෂයක පමණ උපරිමයක් විය හැකි මොබ් එකක් විසින් පහරදී ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය, අගමැති නිල නිවස සහ රනිල් වික්‍රමසිංහගේ හා ඔහුගේ සොයුරු චන්න වික්‍රමසිංහගේ නිවාස අර්ධ වශයෙන් විනාශ කර, පොදු දේපළ අල්ලාගැනීමෙන් අනතුරුව එම ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වී තිබෙන විකාරරූපී තත්වය හා රට පුරා නිර්මාණය වී තිබෙන නීතියෙන් තොර අරාජික තත්වය මේ වනවිට එය නිර්මාණය කිරීමට මුල්වූ ඇතැම් පාර්ශ්වවල පවා දැඩි අවධානයට ලක්වී තිබේ.

අරගලයේ උරුමකරුවන් ලෙස පෙනීසිටින ඕමල්පේ සෝභිත හිමි, කාදිනල් හිමිගේ විවිධ නියෝජිතයන් ආදියෙන් සමන්විත පිරිස ජුලි 12දා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් අරගලකරුවන් ලෙස ඔවුන් හඳුන්වන පිරිස ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමත් සමග එම ස්ථානවලින් ඉවත්ව වී යා යුතු බව ද, ව්‍යවස්ථානුකූලව කටයුතු කළ යුතු බව ද, ව්‍යවස්ථාවට පිටින් කරනු ලබන පාලනයන් පිළිනොගන්නා බව ද පැවසූහ.

අරගලයට සම්බන්ධ විවිධ කොටස් ඇතුළු විවිධ පාර්ශ්ව විසින් ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය යටපත් කිරීමට අදහස් කරමින් නිකුත් කරනු ලබන නිවේදන සම්බන්ධයෙන් තම අවධානය යොමුවී තිබෙන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද ජුලි 12දා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. රටේ යහපත වෙනුවෙන් රටේ කටයුතු ව්‍යවස්ථානුකූලව පවත්වාගෙන යායුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

විධිමත් බල හුවමාරුවක් සහ නීතියේ පාලනයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අඛණ්ඩව ගරුකිරීමේ වැදගත්කම ද නීතීඥ සංගමය පෙන්වා දෙයි.

මේ වන විට නීති විරෝධී අත්පත් කරගැනීමකට ලක්වී තිබෙන පොදු දේපළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ ඒවා අත්පත් කරගෙන සිටින අය ඒවා නිසි බලධාරීන්ට නිවැරදි ආකාරයට භාරදීමට වගබලාගත යුතු බව සහ ලේඛන හා පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති දේ ඇතුළු වෙනත් දේවල ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්ය.

වර්තමාන ආර්ථික හා දේශපාලනික අස්ථාවරත්වයට විසඳුම් සෙවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව හා නීතිමය ක්‍රියාවලිය ඔස්සේ බව ද, වෙනස්කම් වෙනුවෙන් කරනු ලබන උද්දේශනයන් මගින් අධිකරණ පරිපාලනය යටපත් නොවිය යුතු බව ද ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

නිර්මාණය වෙමින් තිබෙන තත්වය මෙහෙම ගියොත් විනිශ්චයකාරවරුන්ගේ නිවාස ද ගිනිතියන තැනකට වැඩි කලක් යාමට පෙර රට තල්ලු වීමේ ඉඩක් තිබේ.

“නමවෙනිදයින් පස්සෙ තියෙන්නෙ අලුත් සම්මුතියක්. ඒ සම්මුතියට මේ පොලිස්පතියි, මේ පිරිසයි එකඟවෙන්න ඕනැ. නැතිනම් ඔය පොලිස්පතිලගෙ, දේශබන්ධුලගෙ ගෙවල් තියෙන තැනුත් මේ ජනතාව දන්නවා,” යි පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හා ‘අරගලය’ ලෙස හැඳින්වෙන ක්‍රියාකාරීත්වයට සම්බන්ධ නීතීඥ නුවන් බෝපගේ ඊයේ පැවසීය.

එහෙත්, ‘අරගලය’ ලෙස හැඳින්වෙන ක්‍රියාකාරීත්වය විවිධ පාර්ශ්වවල බල උවමනාවන් සඳහා කඩේ යවාගැනීමේ ප්‍රයත්නයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකත්වය ද එතරම් කැමැත්තක් නොදක්වන බව අද සවස අරගලකරුවන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර රැස්වීමේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මෙසේ පැවසීය:

“බලය හදාගන්න කුමන්ත්‍රණ කරන්න සතියක් අරගෙන දැන් අපට ඇවිල්ලා කියනවා රනිල් යයිද දන්නෙ නැහැ අපට මේක බේරල දෙන්න කියලා. මේ ප්‍රශ්නය උඩුදුවන්න දෙන්න එපා. උඹල මොනවහරි කරල ඒ ප්‍රශනය බේරගනිල්ලා. ජන අරගලයම පාවිච්චි කර කර මේක කරන්න හදන්න එපා. පාර්ලිමේන්තුව ඇතුළෙ මොනව හරි කරන්න පුළුවන්නෙ. ඒ නිසා පාර්ලිමේන්තුවෙ ඉන්න කණ්ඩායම් ඔක්කොටම අපි කියනවා තවත් මේ රටේ ජනතාවගෙ විලාපයත්, කඳුළත්, ප්‍රශ්නත් එක්ක සෙල්ලං කරන්න එපා කියලා. ඔයගොල්ලො ඒ ප්‍රශ්නෙ බේරගෙන ඉවරයක් කරන්න.”

මේ පිළිබඳ අපගේ ෆේස්බුක් සටහනට ප්‍රතිචාරයක් දක්වමින් අරගලයේ ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර මෙසේ පැවසීය: “පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව ඉන්නවා තමයි. ඒත්, ඔහු කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම්. ඔහු එතැනට පැමිණියේ කම්කරු අරගල මධ්‍යස්ථානයට ලැබුණු ආරාධනයක් මත. වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ ඉඳිමින් විරෝධතාවල ලොකු දායකත්වයක් කළා. ජුලි 9 ලොකු වැඩක් කළා. ඔහු ‘අපට කියන්න එපා’ කියන එකෙන් අදහස් කළේ පොදුවේ අරගල කරපු අයට කියන්න එපා කියලයි. ඒක කීවේ එතැනදීම අදහස් දක්වමින් ‘රනිල් අස් වෙන්නේ නැති වේවි, ඒ ගැන යමක් කරන්න’ කියා කියපු රවුෆ් හකීම්, ශානක්‍යන් ඇතුළු පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට.”

පෙරේදා කුමාර් ගුනරත්නම් පුවත්පත් සාකච්ඡාවකදී පළකළ පහත දැක්වෙන අදහස සමග සිදුවන්නට යන තත්වය කෙරෙහි සමාජයේ දැඩි අවධානය යොමුවී ඇති බව පෙනේ:

“ජනතාව අතර ගොඩනැගී තියෙන සම්මුතිය තමයි අලුත් නීතිය. නව ජනතාවාදී ව්‍යවස්ථාවකට අදාළ සම්මුතිය ජනතාව අතර තිබෙනවා. කවුරු ආණ්ඩු පත්කරගත්තත් අරගලයේ අපේක්ෂාවන් සමග සම්මුතියකට පැමිණිය යුතුයි. පාර්ලිමේන්තු ක්‍රමයට සමාන්තරව ජන අරගල සභා ක්‍රමයක් පාර්ලිමේන්තුවට පිටතින් ගොඩනැගිය යුතුයි.”

ඔහු වැඩිදුරටත් පහත දැක්වෙන කරුණු ද පැවසීය: “විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන, නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්විය හැකි, ජාතික ප්‍රශ්නය මුළුමනින්ම විසඳන, අධ්‍යාපන සෞඛ්‍ය අයිතිවාසිකම් මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස සලකන, තේරී පත්වූ නියෝජිතයන් යළි කැඳවීමේ බලය හිමි, ජනතාවට ජනමතවිචාරණ කැඳවිය හැකි නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ජනතාවට සහන සලසන්න. බදු ක්‍රමය සංශෝධනය කරන්න. ධනවතුන්ගෙන් වැඩියෙන් බදුගන්න. සොරකම් කළ ධනය ආපසු ලබාගන්න. ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න.”