Gotabaya Rajapaksa with medals

ඔක්කොටම කෙළින 20: අගමැති, ඇමතිවරු, පාර්ලිමේන්තුව, කොමිෂන් සභා හබක්

අජිත් පැරකුම් ජයසිංහ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනාධිපතිවරයාට අසීමිත බලයක් පවරා ගන්නා, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති සංශෝධනයක් බව අපේ අදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයන් අදහස් දක්වන තෙක් පුරවැසියකු ලෙස මවිසින් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කරන ලද නිරීක්ෂණ කිහිපයක් මෙහි පළ කරමි.

තාක්ෂණික හරඹ

‍මෙම කෙටුම්පතෙහි දෙවන ශීර්ෂය යටතේ 31 (3අ)(අ)(i) අනු ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනය තාක්ෂණික කාරණයකි. ඒ අනුව, ජනාධිපතිවරයාට පළමු ධුර කාලය අරඹා සිව් වසරකට පසු, නිවේදනයක් මගින් දෙවන ධුර කාලයක් සඳහා තමාව ම තෝරා පත් කරගැනීමේ හැකියාව තිබේ. එසේ වුව ද එම වරම ලබාගත හැක්කේ ජනාධිපතිවරණයක් ඔස්සේ ය.

විසිවන සංශෝධනයේ තුන්වන ශීර්ෂය යටතේ සිදුකරනු ලබන සංශෝධනය ද තාක්ෂණික ය.

පාර්ලිමේන්තුවට වගනොකීම

එහෙත්, හතරවන ශීර්ෂය යටතේ, දැන් පවත්නා ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව ඉවත් කරනු ලැබේ. ඉවත් කරන්නේ කුමක් ද? “33අ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ද මහජන ආරක්‍ෂාව සම්බන්ධයෙන් තත් කාලයේ බලපවත්නා නීතිය ඇතුළු යම් ලිඛිත නීතියක් යටතේ ද ස්වකීය බලතල, කාර්ය සහ කර්තව්‍ය යථා පරිදි ක‍්‍රියාත්මක කිරීම සහ යථා පරිදි ඉටුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේ ය.”

එහි අරුත නම් මින් ඉදිරියට ජනාධිපතිවරයා එකී කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගනොකියන බව ය.

අංග සම්පූර්ණ මුක්තිය

පස්වන ශීර්ෂය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35වන වගන්තිය ඉවත් කරනු ලැබේ. එමගින් සිදු කරනු ලබන්නේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට තිබෙන මුක්තිය සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්වයක් ඇති වී නම්, එය ඉවත් කර ජනාධිපතිවරයාගේ මුක්තිය තහවුරු කර දීමයි. එය ද බොහෝ දුරට තාක්ෂණික සංශෝධනයකි. මන්ද, 19වන සංශෝධනයෙන් ද ජනාධිපතිවරයාගේ මුක්තියෙහි සැලකිය යුතු වෙනසක් සිදු නොවේ. ඇත්තේ වචන හරඹයක් පමණි.

නිර්දේශ වානා – නිරීක්ෂණ තමයි ඕනා

හයවන ශීර්ෂය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VIIඅ පරිච්ඡේදයට ගෙඩිය පිටින්ම බැටේ දී තිබේ. ඒ අනුව තවදුරටත් පුළුල් බලතල සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් නැත. පාර්ලිමේන්තු මන්ත්‍රීන් නොවන කීර්තිමත් පුද්ගලයන් හට එහි තිබුණු නියෝජනය ද අහෝසි වේ. කලින් තිබුණේ මෙම ව්‍යවස්ථාදායක සභාව විසින් කරනු ලබන නිර්දේශය මත පමණක් ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවල සාමාජිකයන් හා සභාපතිවරුන් පත් කළ යුතු බව ය.

41ආ. (1) මේ ව්‍යවස්ථාවේ උපලේඛනයේ නිශ්චිතව සඳහන් යම් කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස හෝ සාමාජිකයකු ලෙස හෝ ජනාධිපතිවරයා විසින් තැනැත්තකු පත් කිරීම සභාවේ නිර්දේශය මත හැර, නොකරනු ලැබිය යුත්තේ ය.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් පත් කරනු ඇත. එහි සිටින්නේ අගමැති, කතානායක, විපක්ෂ නායක, අගමැතිගේ නියෝජිත මන්ත්‍රීවරයෙකු සහ විපක්ෂ නායකගේ නියෝජිත මන්ත්‍රීවරයෙකි.

එහිදී ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභා, ආදී සියලු පත්කිරීම් කරනු ලබන අතර, මෙකී ඊනියා පාර්ලිමේන්තු සභාවෙන් නිරීක්ෂණ ඉල්ලා සිටිය හැකි ය. නිර්දේශ නොවේ නිරීක්ෂණ ය.

පත්කිරීම් ඔක්කොම මට

පහත දැක්වෙන පත්වීම් සියල්ල සිදුකරන්නේ ජනාධිපතිවරයා ය.

  1. මැතිවරණ කොමිෂන් සභාව
  2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව
  3. ජාතික පොලිස් කොමිෂන් සභාව
  4. ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
  5. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව
  6. මුදල් කොමිෂන් සභාව
  7. සීමා නිර්ණය කොමිෂන් සභාව
  8. අග‍්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්
  9. අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ විනිශ්චයකාරවරුන්
  10. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන්
  11. නීතිපතිවරයා.
  12. විගණකාධිපතිවරයා.
  13. පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඞ්ස්මන්)
  14. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා

මේ අනුව, තවදුරටත් ස්වාධීන කොමිෂන් කියා ජාතියක් ලංකාවේ නැත. ඒ සියල්ල ජනාධිපතිගේ කොමිෂන් ය. විශේෂයෙන් ම මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳ 20වන සංශෝධනයේ වෙනමත් දැක්වේ. එය ජනාධිපති විසින් පත් කරනු ලබන ත්‍රිපුද්ගල කොමිෂන් සභාවකි. ඉස්සර මෙන් නොව, ජනාධිපතිට කැමති අයෙකු පත් කළ හැකි ය. එසේම, එසේ කරනු ලබන පත්කිරීම් කිහිපයක් සම්බන්ධයෙන් හැර අනෙක් ඕනෑම කෙනෙකු ජනාධිපතිවරයාට ඉවත් කරන්නට ද පුළුවන.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පවා ඇතැම් බලතල ආපසු ඇමති මණ්ඩලය වෙත පවරාගෙන තිබේ.

කොමිෂන් සභා දෙකක් අතුරුදහන්

එපමණක් නොව, ස්වාධීන කොමිෂන් සභා දෙකක් සම්පූර්ණයෙන් ම අතුරුදහන් වී තිබේ. ඒ විගණන සේවා කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවයි.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අනුව, පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇතැයි තමන් සිතන අයෙකු අගමැති ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට බලය තිබේ.

කවුද අගමැති ගණන් ගන්නෙ?

එසේම අගමැතිවරයාගේ හුළං බැස යන්නේ ය. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වෙන අන්දමට ඇමති තනතුරු සංඛ්‍යාව, විෂය, කාර්ය ආදිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගමැතිවරයාගේ අදහස් විමසීමට හෝ බැඳී නැත. අග‍්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි පමණක් අදහස් විමසනු ලැබේ.

ඇමති තනතුරු සංඛ්‍යාවේ සීමා අවසන් ය. ජනාධිපතිවරයාට ඕනෑ තරම් ඇමති තනතුරු දැරීමේ හැකියාව ද තිබේ.

අගමැතිවරයාගේ පමණක් නොව ඇමති මණ්ඩලයේ ද හුළං බසී. ජනාධිපතිවරයාට හිතෙන ඕනෑම වේලාවක ඇමති මණ්ඩලයේ සංයුතිය, විෂය, කාර්ය ආදිය වෙනස් කළ හැකි ය. එපමණක් නොව, “අමාත්‍ය මණ්ඩලයේ කවර වූ හෝ අමාත්‍යවරයකු වෙත පැවරී ඇති යම් විෂයයකට හෝ කාර්යයකට අදාළ යම්කිසි බලයක් හෝ කාර්යයක් හෝ යම්කිසි ලිඛිත නීතියකින් පැවරී ඇත්තා වූ හෝ නියම වී ඇත්තා වූ යම්කිසි බලයක් හෝ කාර්යයක් හෝ ගැසට් පත‍්‍රයේ පළ කරනු ලබන නිවේදනයක් මගින් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකු නොවන අමාත්‍යවරයකුට පවරා දිය හැක්කේ ය.”

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පනවා තිබූ සීමා ද අහෝසි කර තිබේ. ඒ අනුව, පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් තොරව, මැතිවරණයෙන් වසරකට පසු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ය.

තරුණයන්ට තැන

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තරුණයන් සම්බන්ධයෙන් ලබා දී තිබෙන අවස්ථාව සතුටු විය හැකි තත්වයකි. ඒ අනුව, ජනාධිපති ධුරයට තරග කිරීම සඳහා දැන් අවුරුදු අවම වයස් සීමාව අවුරුදු 35 සිට 30 දක්වා අඩු කර තිබේ.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පුනරුච්චාරණය වීම් මෙන් ම විහිළුවලින් ද සම්පූර්ණ ය. පහත වගන්තිය කියවා බලන්න.

විහිළු

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104ආ ව්‍යවස්ථාව පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ:-
(1) ඒ ව්‍යවස්ථාවේ 4(අ) අනුව්‍යවස්ථාවේ (i) වන ඡේදයේ “තරගකරන යම් අපේක්ෂකයකු හෝ යම් දේශපාලන පක්ෂයක් හෝ” යන වචන වෙනුවට “තරග කරන යම් අපේක්ෂකයකු හෝ යම් දේශපාලන පක්ෂයක් හෝ” යන වචන ආදේශ කිරීමෙන්