Creative Content Consultants

එසයිලම් ගන්න හැටි

අජිත් පැරකුම් ජයසිංහ

ඊයෙ පාර්ලිමේන්තුවේ එසයිලම් ගැන කියවුණා. එසයිලම් කියන්නෙ දේශපාලන රැකවරණ ලබාගැනීම. ඒ කියන්නෙ, ලංකාවෙ අයට අදාළව නම්, තමන්ට ලංකාවෙ රජයෙන් තර්ජන තියෙනවාය කියලා වෙනත් රටක දේශපාලන රැකවරණ ලබාගැනීම. එහෙම රැකවරණ ලබාගෙන ටික කාලයකින් පුරවැසිකම ලබාගන්නත් පුළුවන්. රැඩිකල් මතධාරීන්ට බටහිර රටකට සංක්‍රමණය වෙන්න මේක හොඳ ක්‍රමයක්. හැබැයි, ඔබට සංක්‍රමණය වීමට වෙනත් ක්‍රමයක් ඇත්තේම නැතිනම් විතරක් මේ ක්‍රමය පාවිච්චි කරන්න. මේක රටටත්, සමාජයටත් කරන අවමානයක්. මේ ක්‍රමයට සංක්‍රමණය වූ අය අතරින් 90%කට වඩා රටේ සැබෑ තර්ජන තිබුණු නිසා සංක්‍රමණය වූ අය නෙමෙයි.

හැබැයි, බටහිර රටවල සමාජ අනුකම්පාව ලංකාව වගේ රටවල අය උපරිමයෙන් අපහරණය කර තිබෙන නිසා දැන් දේශපාලන රැකවරණ ලබාගැනීම ලේසි නැහැ. කොච්චර අමාරුද කියනවා නම්, එහෙම දේශපාලන රැකවරණ ගන්න උවමනාව තිබෙන බව පෙනෙන අයට ඒ රටවලින් වීසා දෙන්නෙවත් නැහැ. එසයිලම් ගන්න එකේ අමාරුම කොටස තමයි තමන් කැමති රටකට යන්න වීසා ගන්න එක.

මේවාට අනියමින් උදව් කරන ලංකාවේ අය සම්බන්ධ සංවිධාන තියෙනවා. සමහර සංවිධාන ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ එහෙම සංවිධානය කරනවා. ඔවුන්ට ඉතා සමීපව කටයුතු කළොත් එවැනි වැඩසටහනකට ආරාධනාවක් ලබාගත හැකියි. එහෙම වුණොත්, වීසා ලබාගන්න ලේසියි. ඒ සංවිධාන බොහෝ විට ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණය අයිතිවාසිකමට පක්ෂපාතී අය. ඒ මොකක්ද කියා හොඳින් හදාරන්න. ඒ අනුව අදහස් පළකිරීමෙන්, කටයුතු කිරීමෙන් ඔවුන් සමග සම්බන්ධකම් ඇතිකරගන්නට පහසුයි. මෙතනදි ඔබට ගොඩක් රැඩිකල් වෙන්නට සිදුවෙනවා.

එහෙම නැතිනම් ඉතින් විදේශ රටක සිටින පුරවැසියකු, ස්ථිර පදිංචිකරුවකු මාර්ගයෙන් එවැන්නකුගේ පවුලේ උත්සවයක් වැනි දෙයකට ආරාධනාවක් ගෙන්වාගත යුතුයි. ඒ අයත් එහිදී අවදානමකට මුහුණදෙන නිසා එහෙම අනුග්‍රාහකත්වයක් දෙන්නට කෙනෙකු සොයාගැනීම නම් ලේසි නැහැ. ෆේස්බුක් අවකාශයේ ලංකාවට ආදරේ ගොඩක් අය ඉන්නවා. ඒ අය නිර්දේශ කරන්නෙත් රටින් පළායාම නිසා, ඒ අයගෙන් උදව් ඉල්ලන්නට පැකිළෙන්න එපා. ඔවුන් ඒ රටවලට සංක්‍රමණය වුණ විදිය අහගන්න. හැමෝම ඇත්ත කියන්නෙ නැති බවත් තේරුම්ගන්න.

වීසා, ගුවන් ටිකට් හා සංක්‍රමණය වූ පසු එම රටවල ටික කලක් අල්ලාගෙන සිටීමට මුදල් අවශ්‍යයි. මුදල් රැගෙන යන්න. ඒ වගේම, ඒ රටවල ඉන්න අයගෙන් උදව් ගන්න. ඔවුන් ඔබට රටින් පළායන්නට නිර්දේශ කරනවා නම් ඔවුන් එයට උදව් කිරීමේ වරදක් නැහැ.

ගියාට පස්සෙ, එසයිලම් ගැනීමේදී ඔබට ලංකාවේ රජයෙන් තර්ජන ඇති බව පෙන්වාදිය යුතුයි. පසුගිය කාලයේ ඔබ අරගලයට සහභාගී වෙමින් ගත් ඡායාරූප මෙහිදී ඉතා වැදගත්. එහෙම ඡායාරූප මෙතෙක් අරගෙන නැතිනම්, මේ දවස්වල තිියෙන උද්ඝෝෂණයකට යන්න. ඒවායේ සෙනග නැති නිසා ඔබට පහසුවෙන් පිළිගැනීමක් ලැබෙනවා. ඒ වගේම, ඒ හරහා වැදගත් සම්බන්ධකම් ගොඩනගාගන්නටත් පුළුවන්. ස්මාට් වෙන්න. ප්‍රසිද්ධ රැඩිකල් පොරවල් සමග එකට උද්ඝෝෂණවල ඉන්න ඡායාරූප අරගන්න. ඉංග්‍රීසියෙන් ලියපු පිකට් බෝඩ් වගේ ඒවා අතේ තියාගෙන ඡායාරූප ගන්න. රැඩිකල් පත්තරවලට, වෙබ් අඩවිවලට රැඩිකල් ලිපි ලියා ඔබේ නමින් පළකරවාගන්න. පුවත්පත් සාකච්ඡාවලට සහභාගී වීමට හැකිනම් ඉතා හොඳයි. ඒවායේ වීඩියෝ හා මාධ්‍යවල ඒ ගැන වාර්තා වුණ ප්‍රවෘත්තිවල අන්තර්ජාල ලින්ක්ස් ආදිය එකතු කරගන්න. පොලිසියෙන් හිංසනයට ලක්වුණ වාර්තා, ඡායාරූප හා වීඩියෝ, වෛද්‍ය වාර්තා එහෙමත් ඉතා වටිනවා. පොලිසියත් එක්ක ගැටෙනකොට තමන්ගෙ සීමාව දැනගන්න. ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වෙන්න එපා. අත්අඩංගුවට පත්වෙලා, නඩු පැවරිලා, පාස්පෝට් අධිකරණයෙන් පවරාගන්නා මට්ටමට ගියොත් හෝ බරපතල තුවාල සිදුවුණොත් ඒක සංක්‍රමණය වීමේ අරමුණට බාධාකාරීයි.

එසයිලම් ගැනීමේදී මෙන්න මේ කාරණේත් ඉතා වැදගත්. අලුත්ම ට්‍රෙන්ඩ් එක අනුව, බටහිර රටවලින් ලංකාවේ ලිංගික සමාජභාවී සුළුතරයන්ට සිදුවන හිංසා පීඩා ගැන ගොඩක් සංවේදී වෙනවා. ඔබ LGBTIQ ලිංගික සමාජභාවයකට අයත් කෙනෙකු නම් ඔබට මෙහිදී යම් පහසුවක් තිබෙනවා. එහෙම නැතත්, ඔබ සමලිංගික අයෙකු බව ඔබට පහසුවෙන් කියන්නට පුළුවන්. ඇත්තම නොාවුණත්, කතාවක් ගොතාගන්න පුළුවන්. ඒ නිසා ඔබ ලංකාවේ පීඩාවට පත්වී සිටින බව එම කතාවෙන් කියැවිය යුතුයි.

තමන්ට යන්නට අවශ්‍ය රටටම යන්නට පුළුවන් නම් හොඳයි. බොහෝ රටවල දේශපාලන රැකවරණ අපේක්ෂා කරන්නන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ අනුව කටයුතු කළ යුතුයි. ඒ සඳහා උපදෙස් දෙන පුද්ගලයන් හා සංවිධාන ද තියෙනවා. ඒ රටේ ඉන්න ලංකාවේ බොහෝ අය ඔවුන් පිළිබඳ දන්නවා. හැබැයි ඉතින් ඔබේ හේතුව අව්‍යාජ බව ඔප්පු කරන්නට ඔබට හැකි විය යුතුයි. ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප වුණත්, ඔබට අභියාචනා කළ හැකියි.

තමන්ට යන්නට අවශ්‍ය රටට යාගන්නට බැරිවුණත්, වෙනත් රටකට ගොස් ඒ රටේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) හරහා ඔබට සරණාගතභාවය සඳහා අයදුම් කළ හැකියි. තුන්වන රටක දීර්ඝ කාලයක් සිටින විට ජීවිතය ඉතා දුෂ්කර විය හැකියි. ඒ නිසා මුදල් ගෙන්වාගැනීමට ක්‍රම සම්පාදනය කරගැනීම වැදගත්. ඒ සඳහා අවශ්‍ය ගිනුම් ආදිය ඔබ යන්නට කලින්ම බැංකු සමග සාකච්ඡා කර සකස්කරගත යුතුයි.

එසයිලම් ගැනීමට යාමේදී පවුල් පිටින් තුන්වන රටකට යාම නම් අවදානම්. දේශපාලන රැකවරණ අපේක්ෂා කරන රටට පවුල පිටින් යන්න වීසා ගන්න එක අතිශය දුෂ්කරයි. ඒ නිසා මුලින් තමන් ගිහින්, දේශපාලන රැකවරණ ලබාගෙන, පසුව පවුල් එකතු කිරීමේ හෙවත් family reunification මාර්ගයෙන් පවුලේ අය ගෙන්වා ගැනීමයි පහසු. කොහොම වුණත්, දේශපාලන රැකවරණ ගැනීමේ කාලපරිච්ඡේදය අවුරුදු ගණනාවක්. ඒ කාලය අවිනිශ්චිතභාවයෙන් පිරුණු කාලකන්නි කාල පරිච්ඡේදයක් වෙන්න පුළුවන්.

ඒ නිසා ඒ රටවල සිට ලංකාව හදන්නට උපදෙස් දෙන රැඩිකල් ලාංකිකයන්ගෙන් උදව් උපකාර ලබාගන්නට පැකිළෙන්න එපා. මේ සඳහා තිබෙන ක්‍රම ඔවුන්ගෙන් අහන්න.

හැබැයි, අපි ඔබට මේ ක්‍රමය කිසි සේත්ම නිර්දේශ කරන්නෙ නැහැ. ඔබ පුහුණු ශ්‍රමිකයකු නම්, ඔබට නීත්‍යානුකූලව සංක්‍රමණය කළ හැකි ක්‍රම තිබෙනවා. එහෙම නැතිනම්, යම් මුදලක් වියදම් කර, උසස් අධ්‍යාපනය සඳහා සංක්‍රමණය වන්නට පුළුවන්. එසේ සංක්‍රමණය වී ඉන්පසු එහි දිගුකාලීන වීසා ලබාගෙන, නිත්‍ය පදිංචිය සකසාගෙන, පියවරෙන් පියවර පුරවැසියකු දක්වා යන්නට පුළුවන්. මොන දේට වුණත් දිගුකලක් ගතවෙනවා. සංකීර්ණ ගැටලු සමුදායකට මුහුණදෙන්නට සිදුවෙනවා.

අපි නම්, සිය රට දේ සිරි සැප දේ කියලා මෙහෙම ඉන්න තීරණය කරලා ඉවරයි. ඒත්, මේ කාරණා සම්බන්ධයෙන් අපට හැකි මට්ටමෙන් අපි උපදෙස් හා උපකාර කරනවා.

පහත දැක්වෙන සබැඳියෙන් ඔබට අවශ්‍ය සහතික හා වෙනත් ලේඛන පරිවර්තනය කරගැනීම, නීත්‍යානුකූල පරිවර්තන බවට සහතික කරගැනීම හා වෙනත් නීත්‍යානුකූල ලේඛන සකසාගැනීමත් කරන්නට පුළුවන්.

https://www.facebook.com/C3CreativeContentConsultants

https://www.contentlanka.com