Talks between Modi and Mahinda - 2020

ඉන්දු ලංකා අගමැති ඒකාබද්ධ නිවේදනයේ භාෂා ක්‍රීඩාව හා දෙමළ ප්‍රශ්නය

අජිත් පැරකුම් ජයසිංහ

ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරුන් අතර පසුගිය දිනෙක අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු ද්විපාර්ශ්වික සාකච්ඡාවෙන් පසු නිකුත් කරන ලද නිවේදනය ඉතා කපටි ලෙස වචනගත කරන ලද්දක් බව අපගේ නිරීක්ෂණයයි.

Translations by Creative Content Consultants

එහි තිබෙන වඩාත්ම මතභේදාත්මක වගන්තිය පහත දැක්වේ: “ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම ඇතුළුව, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය පිණිස, දෙමළ ජනතාවගේ අභිලාෂයන් පිළිබඳව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ ජනතාවගේ වරම අනුව පෝෂණය වූ ප්‍රතිසන්ධානය සාක්ෂාත් කර ගැනීම හා ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම තුළින් දෙමළ ජාතිකයන් ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්වාසය පළ කළේය.”

මෙම ඒකාබද්ධ නිවේදනයේ වචනගත කිරීම් අනුව අගමැති මෝදි මෙසේ ඉල්ලා සිටියි:

  • ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න.
  • ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න.
  • එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය පිණිස, දෙමළ ජනතාවගේ අභිලාෂයන් පිළිබඳව කටයුතු කරන්න.

අගමැති මහින්ද රාජපක්ෂ කියන්නේ කුමක්ද?

  • ශ්‍රී ලංකාවේ ජනතාවගේ වරම (කියා වැදගත් දෙයක් තිබේ)
  • ප්‍රතිසන්ධානය සාක්ෂාත් කර ගැනීම හා ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම (සිදුවන්නේ ඒ අනුවය)
  • (ඒ) තුළින් දෙමළ ජාතිකයන් ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල (දෙමළ ජනතාව විශේෂ නැත) අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇත

එම නිවේදනයේ පහත දැක්වෙන වාක්‍යය හා එහි පරිවර්තනය සන්සන්දනය කර බැලීමෙන් මෙම දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික රයිගමයා හා ගම්පලයා කතාව තේරුම් ගත හැකිය. තද පැහැ අකුරෙන් දක්වා ඇති කොටස් ඉංග්‍රීසි වාක්‍යයේදී වාක්‍යයේ අගට යෙදීමත්, සිංහල වාක්‍යයේදී එය මුලට යෙදීමත් හුදු ව්‍යාකරණය ඉක්මවා ගිය දේශපාලන ක්‍රීඩාවකි.

Prime Minister Mahinda Rajapaksa expressed the confidence that Sri Lanka will work towards realizing the expectations of all ethnic groups including Tamils, by achieving reconciliation nurtured as per the mandate of the people of Sri Lanka and implementation of the Constitutional provisions.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ වරම අනුව පෝෂණය වූ ප්‍රතිසන්ධානය සාක්ෂාත් කර ගැනීම හා ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම තුළින් දෙමළ ජාතිකයන් ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්වාසය පළ කළේය.

මෙම වාක්‍යය පරිවර්තනය කරන විට මෙසේ කියන්නට ද හැකියාව තිබිණි. එහෙත්, මෙහි දේශපාලනය වන්නේ එසේ නොකීමයි:
දෙමළ ජාතිකයන් ඇතුළු සියලු ජනවාර්ගික කණ්ඩායම්වල අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනතාවගේ වරම අනුව පෝෂණය වූ ප්‍රතිසන්ධානය සාක්ෂාත් කර ගැනීම හා ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්වාසය පළ කළේය.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට ලැබී තිබෙන ශ්‍රී ලංකාවේ ජනතාවගේ වරම යනු බහුතර සිංහල ජනයා විසින් දෙන ලද වරමකැයි තර්ක කළ හැකිය. එයට දෙමළ හා මුස්ලිම් ජනතාවගේ සහභාගීත්වය අවමය. සිංහල ජනතාව අතර ජනප්‍රිය වීම සඳහා ආණ්ඩුවේ දෙවන පෙළ නායකයන් විසින් ප්‍රවර්ධනය කරන ලද මතවාදයන් අනුව, ඔවුන් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතුය.

මෙම නිවේදනය මෝදි හා මහින්ද රාජපක්ෂ විසින් ඉතා සූක්ෂම ලෙස දෙමළ ජනතාව රැවටීමට ගසන ලද ගැටයක් බව පැහැදිලිය. මෝදිට ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කරන විට දෙමළ ජනාතවගේ ප්‍රශ්නය පිළිබඳ කතා නොකර බැරිය. ඒ නිසා ඔහු ඒ සම්බන්ධයෙන් සුපුරුදු කතාව ඉදිරිපත් කරනු දක්නට ලැබේ. එය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් සමග සියලු ඉන්දීය අගමැතිවරුන් විසින් කරන ලද ප්‍රකාශයයි. උදාහරණයක් ලෙස, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර 2019 නොවැම්බර් මස පැවති නිල ද්වීපාර්ශ්වීය සාකච්ඡාවේදී ද ඒ පිළිබඳ සාකච්ඡා විය. ඒ පිළිබඳ ඉන්දීය අගමැතිවරයාගේ නිවේදනයේ මෙසේ සඳහන් විය: “ශ්‍රී ලංකාවේ සංහිඳියාව පිළිබඳ අදහස්ද අපි විවෘතව හුවමාරු කරගත්තා. සමානාත්මතාවය, යුක්තිය, සාමය සහ ගෞරවය සඳහා දෙමළ ජනයාගේ අභිලාෂයන් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යනු ඇතැයි මම විශ්වාස කරනවා. 13වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමද ඊට ඇතුළත්.”

වසර 2009දී යුද්ධය අවසන් වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දිගින් දිගටම ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටියේ කිසිදු විසඳුමක් ලබා නොදෙමින් කල්මැරීමේ ප්‍රතිපත්තියකි. වඩා දීර්ඝකාලීන අරමුණු සහිතව බලයට නැවත වරක් බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ද මේ මොහොතේත් අනුගමනය කරමින් සිටින්නේ එම ප්‍රතිපත්තිය මබව පෙනේ.

මේ වන විට ශ්‍රී ලංකා රාජ්‍යය තුළ සිංහල ජාතිය හා සමාන බලයක් සඳහා වන දෙමළ අරගලය ජාතික වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් ද බොහෝ දුරට දිය වී ගොස් තිබේ. ඉන්දියාවට පවා ලංකාවේ දෙමළ ප්‍රශ්නය වැදගත් වන්නේ තමිල්නාඩුව සමග කටයුතු කිරීමේදී නාමික කාරණයක් ලෙස පමණි. තමිල්නාඩුවට ද මේ වන විට ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නයෙහි වැදගත්කමක් තිබෙන්නේ මැතිවරණ කාලවලදී පමණය.

ශ්‍රී ලංකාවට 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවා නම් ඒකට වුණත් කාලය මේකය. එහෙත්, අපගේ නිරීක්ෂණය අනුව නම්, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ද තවදුරටත් කල්මැරීම ම කරනු ඇත.

Translations