Champika and Sajith

අනාගත නායකත්වය සඳහා අරගලය

අජිත් පැරකුම් ජයසිංහ, 2022-01-30 අනිද්දා පුවත්පත

ශ්‍රී ලංකාවේ රාජ්‍යය ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් ද දැඩි අභියෝගයකට ලක්වී තිබේ. වර්තමාන ජනාධිපතිවරයා තවමත් ආධුනික ලක්ෂණ පෙන්නුම් කරයි. අගමැතිවරයා එවැනි තනතුරක් දැරීමට තරම් ශාරීරික යෝග්‍යතාවකින් යුක්ත පුද්ගලයකුද යන්න සැක සහිතය. ඇමතිවරු ආණ්ඩුවේත් සිටිති. ආණ්ඩුවේ නොවන පරිදිත් කටයුතු කරති. උදාහරණයක් ලෙස කැබිනට් මණ්ඩලයේ සිට ආයෝජන ව්‍යාපෘති අනුමත කරති. ඉන්පසු එම තීරණවලට එරෙහිව නඩු පවරති. රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරි ආදියට නායකත්වය දෙන නිලධාරීන් පත්කරන සැණින් අස්කරනු දක්නට ලැබේ. ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා අස්කර යළිපත්කිරීම එවැනි එවැනි එක් විකට ජවනිකාවක් පමණි. විදුලි බල මණ්ඩලය, ආයෝජන මණ්ඩලය ආදී රාජ්‍ය ආයතන රැසක එවැනි ජවනිකා රඟදැක්වෙමින් තිබේ.

ආර්ථිකය පාලනය කිරීම මුදල් අච්චුගැසීමේ හා ණය ගෙවන්නට බැරිව රට බංකොලොත් වීම මාස කීපයකට කල්දමාගැනීමේ එදාවේල වෙනුවෙන් කරන වැඩක් බවට පත්වී තිබේ. රටේ සෑම අංශයක්ම බරපතල පරිහාණියකට ලක්වී හමාරය. ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමක් පිළිබඳ සාකච්ඡා කරන්නට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි අතරමැදි පාර්ශ්වයක සහාය ලබාගන්නට ආණ්ඩුව බරපතල නොකැමැත්තක් දක්වයි.

පසුගියදා පැවැත්වුණු ‘මැදහත් මාවත’ නම් සිවිල් සමාජ සම්මන්ත්‍රණයකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වාදුන්නේ, ඉක්මණින් පිළියම් නොයෙදුවහොත් ශ්‍රී ලංකාව ආපසු පැමිණිය නොහැකි සන්ධිස්ථානයක් හෙවත් නෝ රිටර්න් පොයින්ට් එකක් පසුකර යාමට ඉඩ තිබෙන බවයි. ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා සාකච්ඡා කල්තබා ආරම්භ කළ යුතුව තිබෙන බව ඇතැම් ආර්ථික විශේෂඥයෝ පෙන්වාදෙති. ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමේ සාකච්ඡා පහසු නැත. ශ්‍රී ලංකා රජය ණය ආපසු ගෙවීමට හැකි අන්දමින් ප්‍රතිව්‍යූහගත නොවී ණය ලබාදුන් අය තමන්ගේ ණය ප්‍රතිව්‍යූගත කරන්නට එකඟවන්නේ නැත. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකා රජයට තමන්ගේ හෙංචයියන්ට අති විශාල වැටුප් ගෙවමින් දිනකට රුපියල් මිලියන 100ක් පමණ පාඩු ලබමින් පවත්වාගෙන යන ශ්‍රීලන්කන් වැනි සුදු අලින් නඩත්තු කරමින් ණයදුන් අයට පාඩු විඳින්නැයි කිව නොහැකිය. ධනවතුන්ට පවා අඩු මිලට බලශක්තිය ලබාදෙමින් ලංකා විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි ආයතන ලබන පාඩු දරාගන්නැයි ණය ලබාදුන් අයට කිව නොහැකිය.

ලංකා රජය ජාත්‍යන්තර වශයෙන් ණය ප්‍රතිව්‍යූහගත කරගැනීමකට නොගොස් මහජනතාව පෙළමින් ණය ගෙවන්නට එක් හේතුවක් එයයි. ශ්‍රී ලංකාව විසින් නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර 12න් තවත් එකක් ජුලි මාසයේදී කල්පිරීමට නියමිතය. ඒ වෙනුවෙන් ඩොලර් බිලියනයක් වෙන්කළ යුතුය. එහෙත්, විදේශ සංචිත ක්ෂය වෙමින් තිබේ. ලාංකිකයන්ගේ පරිභෝජනය සඳහා ඉන්ධන, ආහාර, බෙහෙත් ආදිය ද ආනයනය කරන්නට විදේශ විනිමය අවශ්‍යය.

වත්මන් නායකත්වය මෙම අර්බුදය කළමනාකරණය කරන ආකාරය ජනතාවට අතිශය වේදනාකාරීය. එබැවින් පාලනය වෙනස් කළ යුතු යයි ජනතාව අතර හැඟීමක් තිබේ. එහෙත්, ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙන්නේ 2024දීය. මහමැතිවරණය ඊට පෙර පැවැත්වීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නම් බලය තිබේ. මැතිවරණ වෙනුවට පාර්ලිමේන්තුව අභ්‍යන්තරයෙන් ද පාලනය වෙනස් කිරීමේ හැකියාව තිබේ. දෝෂාභියෝගයක් මගින් ජනාධිපතිවරයා බලයෙන් පහකිරීමට පවා හැකිය.

පසුගිය සතියේ පැවැත්වුණු 43 සේනාංකයේ වර්ෂ පූර්ණ උත්සවයෙහිදී චම්පික රණවක යෝජනා කළේ පාර්ලිමේන්තුවෙන් ආරම්භ කරන අරගලයක් මහජන නැගිටීමක් දක්වා ඉදිරියට ගෙන යා යුතු බවයි.

වර්තමාන ජනාධිපතිවරයා අර්බුදය කළමනාකරණය කරගන්නා ආකාරය ඔහුට ලැබී තිබෙන තත්වයන්ට සාපේක්ෂය. අරලිය, නිපුණ, නිව් රත්න වැනි මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන් හා පොහොර ආනයනකරුවන් ධනවත් කළ, ගොවීන්ට අවසාන වශයෙන් පළක් නොවූ ඊනියා පොහොර සහනාධාරය කප්පාදු කරමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ දැවැන්ත විපර්යාසයක් සිදුකිරීමට ජනාධිපතිවරයා මුලපිරීය. එහෙත්, අනුරුද්ධ පාදෙනිය වැනි අයගේ මුග්ධ යෝජනාවක් වූ සමස්ත කෘෂිකර්මාන්තයම කාබනිකකරණය කිරීම වැනි දෘෂ්ටිවාදී විගඩමක් ද ඒ අස්සට ඔබාගැනීමෙන් ඔහු අනවශ්‍ය ලෙඩක් දමාගත්තේය. එසේ නොමැති නම් කළ යුතුව තිබුණේ සහනාධාරය සඳහා කාබනික පොහොර ලබාදෙන ගමන්, වෙළඳපොළෙන් රසායනික පොහොර මිලදීගත හැකි තත්වයක් පවත්වාගැනීමයි. එහෙත්, රසායනික පොහොර හා කෘමිනාශක, වල්නාශක ආදිය තහනම් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. කෘෂි රසායනික ආනයනය කරන්නට ශ්‍රී ලංකාවට ඩොලර් නැති නිසා වර්තමාන හිඟය හා කළුකඩ කොහොමත් ඇතිවන්නට නියමිතව තිබූ එකකි. තත්වය මෙතරම් නරක අතට හැරුණේ ජනාධිපතිවරයාගේ වැරදි තීරණ තීන්දු නිසාය.

ආණ්ඩුව හෙවත් රාජපක්ෂ පවුල් පාලනය පැත්තෙන් විකල්ප නායකයන් ලෙස ප්‍රවර්ධනය කරනු ලබන්නේ බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂයි. දැනට ඉදිරියෙන් සිටින විපක්ෂ අපේක්ෂකයා වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි. ඉතිහාසයේ සුවිශේෂ අවස්ථාවලදී සුවිශේෂ නායකත්වයන් අපේක්ෂා කරන බව ද එබැවින් නායකත්වය සඳහා යෝග්‍ය වන්නේ චම්පික රණවක බව ද 43 සේනාංකයේ මතයයි. මේ දක්වා විසඳුම් සම්බන්ධයෙන් වඩාත් තත්කාර්යවාදී (pragmatic), ප්‍රායෝගික විසඳුම් යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ 43 සේනාංකය විසිනි. එහෙත්, 43 සේනාංකය හා විපක්ෂ සමගි ජන බලවේගය අතර බල තුලනය කෙසේ සමබර කරගත හැකිද යන්න ගැටලු සහගතය.

දින 52 කුමන්ත්‍රණය අවස්ථාවේදී ජීවිත අනතුරු නොතකා කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව අභීතව සටන් කළ හිටපු කතානායක කරු ජයසූරිය විධායක ජනාධිපති ක්‍රමය ස්ථිර ලෙස අවසන් කිරීම වෙනුවෙන් අනාගත නායකත්වය අපේක්ෂා කරයි.

අනාගත නායකත්වය සම්බන්ධයෙන් ප්‍රබලම අපේක්ෂා සහිත වඩාත්ම උන්නතිකාමී ප්‍රවේශය දකින්නට ලැබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණෙනි. ජාතික ජන බලවේගය නම් මුහුණත් නාමය භාවිතා කරමින් ඔවුන් විසින් රට පුරා බලමුළුගැන්වීමක් කරගෙන යමින් තිබේ. ඔවුන් විසින් පසුගියදා ප්‍රසිද්ධ කරන ලද ‘අර්බුදය ජයගැනීමට කඩිනම් ප්‍රවේශයක්’ නම් ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙන්ම, සිංහල බෞද්ධ ජාතිකවාදය සම්බන්ධයෙන් ස්ථාවරයන් මගින් ද ජවිපෙ විසින් බලය වෙනුවෙන් දෘඪ සමාජවාදී ප්‍රතිපත්ති අත්හැරීමේ සූදානම නිරූපණය කරන ලදී.

කෙසේ හෝ බලය ලබාගෙන ඉන්පසු තමන්ගේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම අනාගත නායකත්වය අපේක්ෂා කරන වැඩිදෙනෙකුගේ අභිප්‍රාය බව පෙනේ. ජාතික ජන බලවේගය හා 43 සේනාංකය විසින් තම විසඳුම් වඩා සංයුක්තව ඉදිරිපත් කර තිබේ. රට හදන්න අපට දෙන්න කියනවා වෙනුවට 43 සේනාංකය අප එක්වී රට හදමු යන යෝජනාව අවධාරණය කරනු දක්නට ලැබිණි.

මීළඟ බලය සම්බන්ධයෙන් ඉහත දක්වන ලද ප්‍රභූවාදී ප්‍රවේශයන්ට අමතරව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් රාජ්‍ය බලයට විකල්ප බලයක් ලෙස මහජන සභා නිර්මාණය කිරීමේ වැඩසටහනක් දියත් කර තිබේ. එවැනි තවත් නිර්ප්‍රභූ ප්‍රයත්නයන් දක්නට ලැබෙන මුත්, ඒවා බොහෝවිට බලවත් පාර්ශ්වයන් තුළට අවශෝෂණය වන්නට ඉඩ තිබේ.

මීළඟ රාජ්‍ය නායකත්වය සම්බන්ධයෙන් දැනට නිර්මාණය වෙමින් පවතින පසුබිම තුළ ඉහත දක්වන ලද බලවේග හැර වෙනත් බලවේගයකට නුදුරු අනාගතයේදී ඉදිරියට පැමිණීමට අවස්ථාව ලැබෙයිද යන්න සැක සහිතය. රනිල් වික්‍රමසිංහ, ව්‍යාපාරික නායකයන්, පූජකවරුන් වැනි අය නායකත්වය අපේක්ෂා කරමින් ඉදිරියට පැමිණෙන්නට ඉඩ තිබුණත්, ඔවුන්ට සිටගැනීමට සිදුවන්නේ පෝලිමේ බොහෝ පිටුපසට වන්නටය.

මීළඟ බලය සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට ක්‍රම විරෝධී ව්‍යාපාර මතුවීමේ ඉඩ ද මුළුමනින්ම අත්හළ නොහැකිය. ඉදිරි කාලයේදී රටේ නිර්මාණය විය හැකි යයි අනුමාන කළ හැකි කැළඹිලිකාරී තත්වයන්ගෙන් වාසි ලබාගැනීමට විවිධ බලවේග උත්සාහ කරන්නට ඉඩ තිබේ.

අනාගත නායකත්වය සම්බන්ධයෙන් තරගකාරී තත්වයක් නිර්මාණය වීම නරක තත්වයක් නොවේ. අප මෙම ලිපියෙන් යෝජනා කරන්නේ පුරවැසියන් විසින් අවධානය යොමුකළ යුතුව තිබෙන්නේ මීළඟ නායකත්වයේ පුද්ගල හෝ සංවිධානමය ස්වරූපයන් වෙත නොව, ඔවුන් ඉදිරිපත් කරනු ලබන හා ඔවුන් තුළ සැඟව පැවතිය හැකි අරමුණු හා වැඩසටහන් කෙරෙහි බවයි.