Agreement between Wimal Weerawansa and Udaya Gammanpila

අද දවස හුඹස් බිය හා එඩිතරකම අතර සටනකි

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධය ගොඩනැගෙමින් තිබේ. ඒ මදිවාට ආණ්ඩුව බලයට ගෙන ආ සිංහල ජාතික ව්‍යාපාරය ද භික්ෂු බලවේගය ද ආණ්ඩුවෙන් ඛණ්ඩනය වෙමින් තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ අවුරුද්දක් ගතවෙමින් තිබේ. ඔහු හා ඔහු විසින් ඉහළ තනතුරුවලට පත් කරගත් විශ්‍රාමික හා සක්‍රිය හමුදා බලවේගය රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමට පමණක් නොව බුද්ධිමත් මුලපිරුම්වලට ද අසමත් වී තිබේ.

මේ මොහොත වන විට රට පුරා කොරෝනා වයිරසය පැතිරෙමින් වසංගතයට රට ගොදුරු වෙමින් තිබේ.

විවිධ ලොක්ඩවුන් හා ඇඳිරි නීති ආදී ක්‍රියාමාර්ග හේතුවෙන් ආර්ථිකයේ පෙණහැල්ල නිව්මෝනියාවට ගොදුරු වී හමාර ය.

20වන ආණ්ඩුක්‍රමව ව්‍යවස්ථා සංශෝධයෙන් අගමැතිවරයා හා පාර්ලිමේන්තුව දුබල කරමින් ජනාධිපතිවරයා ඒකාධිපති බලතල පවරා ගත්ත ද ඔහුට මෙකී ඒකාධිපති බලතලවලින් කළ හැකි කිසිවක් නැත. ඕනෑ නම් පිස්සු කෙළීමට පුළුවන. එහෙත්, ඔය වයස පිස්සු කෙළින්නටවත් වයසක් නොවේ.

එහෙත්, පිස්සු කෙළින්නට සූදානම් උන්මත්තකයන් පිරිසක් ඔහුගේ ඇසුරේ ඇති බව පෙනේ. අප එසේ අනුමාන කරන්නේ මාකඳුරේ මදුෂ් ඝාතනය සම්බන්ධයෙන් මෙන්න මේ ප්‍රශ්නවලට තවමත් පිළිතුරු නැති නිසා ය. කියවන්න: මාකඳුරේ මධුෂ් සිද්ධියෙන් හෙළිවන පොලිසියේ බොළඳකම

අඩු තරමේ මාකඳුරේ මදුෂ්ට වෙඩි තැබූ බව කියන පුද්ගලයන් හෙළිදරව් කරගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමටවත් වැඩපිළිවෙලක් නැතිකමින් මෙය පොලිස් ඝාතනයක් යයි සිතීමට පසුබිමක් නිර්මාණය කර තිබේ. එසේම, ආණ්ඩුවේ හෙංචයියෝ ඒ බව විවෘතව ම කියති.

එය ඇත්තෙන් ම භයානක තර්ජනයකි. අප දැන් බිය විය යුතු ද? එය තීරණය කරන්නේ නායකයන් විසිනි.

කිසිවක් කරකියාගත නොහැකි දේශපාලනික වශයෙන් ලොං හැලුණු පාලකයන්ගේ බොරු ගර්ජනාවලට ඔවුන් බිය වෙනු ඇද්ද?

මාකඳුරේ මදුෂ්ගේ මිනිය කර තබාගෙන ඔහුගේ ඥාතීන් මහරගම නගරය මැදින් පෙළපාලි යද්දී පොලිසිය සැඟවුණේ ඇයි? පාතාල ලෝකයට බයේ ද?

කෙසේ වෙතත්, මාකඳුරේ මදුෂ්ගේ ඥාතීන් විසින් පවත්වන ලද එම විරෝධතා පෙළපාලිය අප විසින් සලකනු ලබන්නේ සාධාරණ නඩු විභාගයක් වෙනුවෙන් කළ මානව හිමිකම් උද්ඝෝෂණයක් ලෙසයි.

ආණ්ඩුව ඇතුළේ සිටින, අනාගත ජාතිකවාදී නායකයකු වීමේ විභවයක් ඇති විමල් වීරවංශ බැසිල් රාජපක්ෂට හා ජයන්ත කැටගොඩට බියේ අකුළා ගන්නවා ද, නැද්ද? මේ අද දවසේ රසවත් ප්‍රශ්නයකි. විමල්ගේ දේශපාලන අනාගතය තීරණය කිරීමේදී අද ඔහු ගන්නා තීරණය වැදගත් වනු ඇත.

සෙසු කාරණාවල වැදගත්කමක් නැත. 20 සම්මත වුණත්, නැතත්, ගෝඨාභය පරාද ය. 20 නිසා පිස්සු මිස වෙන යමක් කළ නොහැකි ය. මෙය පාලකයන්ට ඉතා අවාසනාවන්ත සමයකි. ජාමෙ බේරාගන්නට මිස ඕනෑවට වඩා නටන්නට යන අය ඉක්මණින් හතිවැටෙනු ඇත.