Change and Chance

අජිත් පැරකුම් ජයසිංහ

2022දී ශ්‍රී ලංකාවේ පැනනැගුණු පෙර නොවූ විරූ මහජන නැගිටීම තුළ ‘ක්‍රමයේ වෙනසක්’ පිළිබඳ අපැහැදිලි අදහසක් ගැබ්විය. සෑම අයෙකුටම පාහේ දැනට පවත්නා ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව තිබෙන බව පැහැදිලිය. එහෙත්, පවත්නා ක්‍රමය කුමක්ද යන් පිළිබඳ පැහැදිලි විග්‍රහයක් අපට තිබේද? ලංකාවේ පවත්නා සමාජ ක්‍රමය ධනවාදය, නව ලිබරල්වාදය, විවෘත ආර්ථිකය වැනි සරලමතික සංකල්ප ඔස්සේ විග්‍රහ කරනු දක්නට ලැබේ. එවැනි තත්වයක් තුළ ගොඩනැගීමට අපේක්ෂා කරන ක්‍රමය කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි අදහසක් නැති වීම පුදුම විය යුතු තත්වයක් නොවේ.

ලංකාවේ පවත්නා සමාජ ක්‍රමය කුමක්ද යන්න සහ එය ගොඩනැගුණේ කෙසේදැයි තේරුම් ගැනීමට අප උත්සාහ කළ යුතු වන්නේ මෙම සංදර්භය තුළයි.

ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලබන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය බොහෝ දුරට නිදහස් වෙළඳපොළ හා සමුපකාර ක්‍රමය මත පදනම් වූ එකක් විය. එහෙත්, ඇතැම් වැදගත් අංශවල රාජ්‍ය මැදිහත්වීම ඉහළ මට්ටමක පැවතිණි.

මහාචාර්ය තිස්ස විතාරණ විසින් 2020දී ලංකාදීප පුවත්පතට ලියන ලද ලිපියකින් 1970 – 1975 දක්වා කාලය තුළ ආචාර්ය එන්.එම්. පෙරේරා මුදල් ඇමතිව සිටියදී කළ කාර්යභාරය මෙසේ විස්තර කළේය: “ඔහු ආර්ථික ස්ථාවරය යථා තත්වයට පත් කළේය. පළමු වතාවට ඔහු සමබර අයවැයක් උත්පාදනය කළා පමණක් නොව, වසරක් තුළ අයවැය අතිරික්තයක් ද ඇති කළේය.

“1969දී රු. මිලියන 744ක් වූ විදේශ වෙළඳ හිඟය 1971දී රු. මිලියන 100ක් දක්වා අඩු කළේ ය. 1965දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ණය ගැනීම ආරම්භ කර රු. මිලියන 100.9ක් (එකල ඩොලරයක් රු. 5කි) ණයට ගත් අතර, වාර්ෂිකව ණය ගැනීම තුළින් 1970දී ණය මුදල රු. මිලිය 723.4ක් දක්වා ඉහළ ගොස් තිබිණි. එහෙත්, එන්.එම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත යැපීම අවසන් කළේ ය. මේ පිළිබඳව එන්.එම්. උපුටා දක්වතොත් “මෙම දැවැන්ත ණයගැනීම අපගේ මූල්‍ය ස්වාධීනත්වය කැපකිරීමෙන් සිදු වූවකි.” ඔහු මෙය අවසන් කළා පමණක් නොවේ. රටේ ජනතාව මත අමතර බරක් පැටවූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පැනවීම ද අවසන් කරන ලදී. රටේ දුක්විඳින දුප්පත් ජනතාවට තව දුරටත් සහන සැලසීම සඳහා වැඩි බදු බර දරාගත හැකි ධනපති පන්තියේ අය වෙත වැඩි බදු පනවන ලදී. ඉහළ වටිනාකමකින් යුත් මුදල් නෝට්ටු (එකල ඉහළ ම මුදල් නොට්ටු වූයේ රු. 50 සහ රු. 100යි) අවලංගු කිරීමෙන් ඔහු සැඟවුණු (පාතාල) කළු සල්ලි විවෘත ආර්ථිකයට ගෙන ආවේ ය. සමුපකාර ව්‍යාපාරය බෙහෙවින් ශක්තිමත් කරවමින් අත්‍යවශ්‍ය සියලු දේ සලාකයට ඉතා අඩු මිළකට සැපයූ අතර, සතියක කාලයක් සඳහා එක් අයෙකුට සහල් සේරුවක් (කිලෝවක් පමණ) බැගින් නොමිළේ ලබා දෙන ලදී. මෙය ඔපෙක් කාටලය පිහිටුවීමෙන් ඛනිජ තෙල් මිල හත්ගුණයකින් ඉහළ නැංවීම නිසා ලෝකයේ සෑම රටක ම මෙවැනි ආර්ථික අර්බුද ඇති වූ සමයකි.

“ජාතික ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා කෘෂිකාර්මික හා කාර්මික අංශවල වැඩසටහන් හා ව්‍යාපෘති ප්‍රවර්ධනය කළේ ය. රු. මිලියන 1,061ක මුළු ප්‍රාග්ධන වියදම්වලින් 63%කට ආසන්න ප්‍රමාණයක් මෙම ආයෝජන සඳහා යොමු විය. ඔහු අඩු පොළී ග්‍රාමීය ණය ලබා දුන්නේ ය.”

1977න් පසු විවෘත වෙළඳපොළ ආර්ථිකයක් දෙසට ශ්‍රී ලංකාව යොමුවූ මුත්, එහිදී වචනාර්ථයට පරිපූර්ණව ගැලපෙන විවෘත ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනුණේ නැත.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1978දී රටේ නම ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස ව්‍යවස්ථාගත කළ විට එහි තිබූ ‘සමාජවාදී’ නාමය බොහෝ දෙනෙකුගේ විවේචනයට, විහිළුවට ලක්විය. එහෙත්, 1979 මාර්තු 23දා හොරණ ශ්‍රීපාලි සෞන්දර්ය විශ්වවිද්‍යාල පීඨය විවෘත කිරීමේ උත්සවයේදී ජේ.ආර්. මෙම කාරණය මෙසේ පැහැදිලි කළේය. 1977න් පසු 2005 පමණ වනතෙක් පැවති සමාජ ආර්ථික ක්‍රමය තේරුම්ගැනීම සඳහා එම කතාව අතිශය වැදගත් වේ.

“මා තෝරා දෙන්න යන වචනය සමාජවාදයයි. හුඟක් දෙනෙක් අහනවා තමුන්නාන්සේලා සමාජවාදය කියන්නේ එක්සත් ජාතික පක්ෂය සමාජවාදී පක්ෂයක් ද කියලා. ඔව්, අපි සමාජවාදී පක්ෂයක්.

“මේ රටේ සීයට හැටක් බඩු නිපදවන මාර්ග, බඩු බෙදන මාර්ග, මුදල් හුවමාරු කරන ක්‍රම රජයට හෝ මහජනයාට අයිතියි. සමාජවාදය කියන්නේ ඒකයි.

“ඩී.ඇස්. සේනානායක මහත්මයාගෙ කාලෙ තමයි (රජයේ) ඉඩම් පුද්ගලයන්ට, ධනපතීන්ට විකිණීම තහනම් කෙරුවෙ. ඒ නිසා ඒ සමාජවාදී ක්‍රමය අපි ආරක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා වගේ ම. නමුත් අඩුපාඩු රාශියක් තියෙනවා.

“මේවා හොඳට පාලනය කරන්නෙ නැහැ. ඇතැම් ආයතන හොඳට පාලනය කරන්නෙ නැහැ. දූෂණ වැඩ කෙරෙනවා. රජයට ගත්තු වතුවල අඩුපාඩු තියෙනවා. හොරකම් කෙරෙනවා. පුද්ගලයන් අත තිබුණ කාලෙ වගේ මනා පාලනයක් නැහැ. නියම විදියට පාලනයක් නැත්නම් සමාජවාදය ඉතාමත් ම භයානක වාදයක් වෙනවා. භයානක ක්‍රමයක් වෙනවා.”

“අපි කෝකත් කරන්නෙ තමුන්නාන්සේලාගේ ප්‍රයෝජනයට. තමුන්නාන්සේලා ධනපතියන් වෙනවා නම් සන්තෝෂ වෙනවා. ධනපති ක්‍රමයට අපි විරුද්ධයි. නමුත් ධනපතීන්ට විරුද්ධ නැහැ. ධනපති ක්‍රමය කියන්නේ සටනකින්, ලේ වැගිරීමකින්, එක් එක්කෙනා පාගලා සූරා කාලා, කඩා වඩාගෙන තමන්ගෙ දියුණු වීම පමණක්, තමන්ගෙ මුදල් ගැන පමණක්, තමන්ගෙ කර්මාන්තශාලාව ගැන පමණක්, තමන්ගෙ මුදල් ගැන පමණක්, තම තමන් පෞද්ගලිකව දියුණු වීම ගැන පමණක් තණ්හාධික ලෙස ක්‍රියා කිරීම. ඒ ක්‍රමයට (අපි) අකැමැතියි. ඊට ඉඩ දෙන්නෙ නැහැ. නීති මාර්ගයෙන් සේවකයන්ගෙ ජීවිත ආරක්ෂා කිරීමට, පඩිය ආරක්ෂා කිරීමට, රැකියා ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

“දුප්පතුන් ධනපතීන් වීමේ වැරැද්දක් නැහැ. සමාජවාදී ආණ්ඩුක්‍රමයක් යටතෙ ධනපතීන් නැහැ…..”

ජේ.ආර්. විදේශ ආයෝජනවලට ලංකාව නැවත විවෘත කළ අතර කලින් පැවති ආණ්ඩු විසින් වන්දි ගෙවා රජයට පවරාගෙන තිබුණු වතු සමාගම් වැනි ඇතැම් ව්‍යවසාය නැවත පෞද්ගලික බදුදීමට කටයුතු කළේය.

ලෝකයේ බොහෝ සමාජවාදී යයි කියන රටවල වුණා සේම ලංකාවේත් සමුපකාර රජය විසින් ම අල්ලාගෙන තවත් එක් රාජ්‍ය ව්‍යවසායක් බවට පත් කරනු ලැබ තිබිණි. ඒවා සමුපකාර වූයේ නමට විතරය. සමගි පෙරමුණු සමාජවාදී රජය සමුපකාර සංකල්පය ම කාබාසිනියා කර දැමූ අතර ඉන් පසු පැමිණි ජේ.ආර්.ගේ ආණ්ඩුව ද එය ඒ අන්දමින්ම පවත්වාගෙන ගියේය. මෙම විවිධ සේවා සමුපකාර සමිති දැන් මරණ මංචකයේ සිටියත්, තවමත් ඒවා නිදහස් වෙළඳපොළ තරගකාරීත්වයට බාධාකාරී වන, මහජන මුදලින් අයුතු වරප්‍රසාද ලබන ඵලදායී නොවන රාජ්‍ය ව්‍යවසාය වේ.  

ලංකාවේ ආර්ථිකය මේ රටේ ම 1956ට කලින් පැවති ආර්ථිකයට සාපේක්ෂව තවමත් එතරම් විවෘත නැත. පෞද්ගලික දේපල රජයට පවරා ගනිමින් හා අලුතින් පිහිටුවන ලද සංස්ථා, මණ්ඩල, අධිකාරි ආදිය වෙළඳපොළ ප්‍ර‍මුඛත්වය ලබාදීමට අමතරව ඇතැම් ඒවා ඒ ක්ෂේත්‍ර‍වල ඒකාධිකාරයන් බවට ද පත්කරන ලදී. මෙම තත්වය තවමත් අඩු වැඩි වශයෙන් පවතී.

රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකය විවෘත කිරීමේ සංකේතාත්මක අවුරුද්ද ලෙස සමගි පෙරමුණු රජය පරාජය කරමින් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණි 1977 අවුරුද්ද සැලකිය හැකි වුව ද, එම විවෘත කිරීම පවා ඉතා සාපේක්ෂ එකකි. තවමත් රාජ්‍ය අංශය ඉතා ශක්තිමත් වන අතර රාජ්‍ය ව්‍යවසාය සිල්ලර වෙළඳාම දක්වා බොහෝ ව්‍යාපාරයන්හි යෙදී සිටියි. බලශක්ති, ජල සම්පාදනය වැනි අංශයන්හි රාජ්‍ය ඒකාධිකාරයන් තවමත් පවත්වාගෙන යන අතර රාජ්‍ය මුල්‍ය ප්‍ර‍තිපත්ති සම්පාදනයේදී රාජ්‍ය බැංකු වැනි ව්‍යවසායන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවධානය යොමුකරනු ලැබේ. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය විධිමත් කිරීමේලා ප්‍රබල බාධකයක් ලෙස සැලකෙන්නේ ඒකාබද්ධ කාලසටහන් සම්බන්ධයෙන් ලංගම දක්වන විරෝධයයි. එමගින් ලංගම බිඳවැටී එහි සේවය කරන විශාල පිරිසකට රැකියා අහිමි වේය යන පදනමින් රජය එම ක්ෂේත්‍රයට තීරණාත්මක මැදිහත් වීමක් කරන්නේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස පොදු ප්‍රවාහනයේ දැඩි අවිධිමත් බවක්, අනවශ්‍ය තරගකාරීත්වයක්, දැඩි සම්පත් නාස්තියක් හා අකාර්යක්ෂමතාවක් නිර්මාණය වී තිබේ.

අප ආපසු වර්තමාන අර්බුදය වෙත යොමු වුවහොත්, ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් හෙවත් ක්‍රම වෙනස තිබෙන්නේ කොතැනදැයි අවබෝධ කරගත හැකිය. ශ්‍රී ලංකාවේ අර්බුදයේ කොටස් දෙකකි. එකක් අපනයන ඇතුළු ආදායමට වඩා ආනයන වියදම වැඩිවීමයි. අනෙක රාජ්‍ය ආදායම මෙන් දෙගුණයකටත් වඩා රජය වියදම් කිරීමයි. එම වියදම පියවාගැනීම සඳහා මාස් පතා ණයගැනීමෙන් දේශීය හා විදේශීය වශයෙන් රටම ණයවී අන්තිමට ණය ගෙවාගැනීමට ද බැරි විය.

බදු ආදායම සහ රජයේ වියදම අතර තිබිය යුත්තේ අතිරික්තයකි. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 01 ක් වත් විය යුතුය. රජයේ ආදායම වියදමට වඩා වැඩි විය යුතුය. එහෙත් දැන් තිබෙන්නේ හිඟයකි. දැන් රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.5කි. රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.5කි. රජයේ වියදම්වලින් 30%ක් වැය වන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටය. තවත් 30%ක් ණය පොලිය ගෙවීමට වැය වෙයි. ඉතිරි 30% විවිධ සහනාධාර සඳහා වැය වෙයි.

රාජ්‍ය වියදම් අවම කිරීමේදී පාඩුු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කළ යුත්තේ කුමන දෙයක් ද යන්න වැදගත්ය. මේ සම්බන්ධයෙන් වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමයේ උපදේශක සභාපති හා අධ්‍යක්ෂ රවී අබේසූරිය, ලංකාදීප පුවත්පතේ ලිපියක මෙසේ පවසයි: “නිල දත්ත පෙන්නුම් කරන්නේ රාජ්‍ය ආයතන අතරින් (SOEs) ආයතන පහක් 2022 මුල් මාස 4 තුළ රුපියල් බිලියන 931ක්, පාඩු ලබා ඇති බවය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නිසා ජනතාව මත පැටවී ඇති බර ඉවත් කළ යුතුය. එක් විකල්පයක් වනුයේ වඩා හොඳ පාලනයක් සහ රාජ්‍ය ව්‍යවසායවල වගවීම සඳහා කොළඹ කොටස් වෙළඳපොළේ සියලුම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ලැයිස්තුගත කිරීමයි. අනෙක් විකල්පය වන්නේ සිංගප්පූරුවේ Temasek පදනම හෝ මැලේසියාවේ Khazanah Nasional Berhadවැනි සමූහ ව්‍යාපාර ආයතනයක් පිහිටුවීමයි. අමාත්‍යංශ ප්‍රතිපත්ති සහ නිසි නියාමනය පිළිබඳව අවධානය යොමු කළ යුතුය.”

සිස්ටම් චේන්ජ් පටන්ගන්නට සිදුවන්නේ මෙතැනිනි. තව බොහෝ දේ කළ යුතුය.

2022 අගෝස්තු 21 අනිද්දා පුවත්පතේ සමබිම අතිරේකය

3 thoughts on “සිස්ටම් චේන්ජ් පටන්ගත යුත්තේ කොතැනින්ද

  1. Deasapalana systemhi naamakarana kese wethath , mehi pelapadiyamvie athi ihala sita pahalata kerena sudu karapati dhaarie chawra system eka dedi niethi genath , system eka mulinma change koloth saamanya bahutharaya lebunu chance eken kulmathwanu etha .

  2. “සමුපකාර ව්‍යාපාරය බෙහෙවින් ශක්තිමත් කරවමින් අත්‍යවශ්‍ය සියලු දේ සලාකයට ඉතා අඩු මිළකට සැපයූ අතර, සතියක කාලයක් සඳහා එක් අයෙකුට සහල් සේරුවක් (කිලෝවක් පමණ) බැගින් නොමිළේ ලබා දෙන ලදී. ” –
    තිස්ස විතාරණ උන්නැහේ ලියල තියෙන මේ ටික දැකල මටනං හරිම සතුටක් දැනුන…ඒ සහන මිළට සළාකෙට දුන්නු දේවල් වැඩිවෙලා තවමත් අපේ ගෙදර ඉතිරිවෙලා තියෙනව!

  3. රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගුණතිලක රාජපක්ෂ ඉකුත් 6 වැනිදා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට කොළඹ පැමිණියේ දුම්රියෙන් බව ඔහුම පවසයි. ඔහු කීවේ තමා ව්‍යාපාරිකයකු, ධනවතකු නොවන නිසා පවතින ඉන්ධන මිල දරා ගැනීමට බැරිකමට කෝච්චියෙන් කොළඹ පැමිණි බවය. මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල කීවේ තමා එදා ගියේත් තමන්ගේ ගේ ගිනි තැබුවත් හෙට යන්නේත් බෙන්ස් රියෙන් බවය. ගාල්ල ආසනයේ මන්ත්‍රි විජයානන්ද දහනායක එදා පාර්ලිමේන්තු රැස්වීම්වලට කොළඹ ආවේ ගියේ දුම්රියේ තුන්වැනි පන්තියේය. ඔහු අගමැති වී අරලියගහ මැඳුරට ඇවිත් කීවේ තමාට ඇති නිදන කාමරය ලොකු වැඩි බවය. අන්තිමට ඒ කාමරය ලෑලි ගසා කුඩා කරගෙන තිබිණි. මේ සිදුවීම්වලින් කියාපාන්නේ කුමක්ද? ආණ්ඩු වෙනස් වුණත් පුටු එහාට මෙහාට ඇද්දත්, ඔළුගෙඩි මාරු කළත් රට හැදෙන්නේ ආකල්ප විප්ලවයකින් පසුව බවය.

    මේ රටේ සකල පුරවැසියන්ගේ ආකල්ප පරිවර්තනයක් වහා අවශ්‍ය වී තිබේ. දුම්රිය රියැදුරාට සහෝදර රියැදුරා සමඟ එක කාමරයේ රැය පහන් කරන්නට බැරිවුණු රටකි මේ. වරක් දෙවරක් රටට හඳුන්වා දුන් ඔෟෂධ දෙක තුන යළිත් වියපැහැදම් කොට උත්සව පවත්වා හඳුන්වා දී පිස්සු වැඩ කරන මුඩුබිමකි මේ. මේ මුඩුබිම සරුබිමක් වන්නේ කවදාද? දෑත බැඳ දෑස් පියාගෙන සිටියාට මේ රට කිසිකලෙකත් ඉදිරියට යන්නේ නැත. රට වහා උඩුයටිකුරු කොට පෙරළා නව මඟකට ඇද දමන්නට පියවරගත යුතු කාලය එළැඹ තිබේ.

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: