Jaffna farmers

අජිත් පැරකුම් ජයසිංහ

පොහොර ප්‍රශ්නය දැන් කෘෂිකර්මාන්තයේ දැවැන්ත අර්බුදයක් නිර්මාණය කර තිබේ. එය ජාතික ආහාර අර්බුදයක් බවට පත්වන දිනය ද වැඩි ඈතක නොවේ. ඒ සමගම දැවැන්ත සාගින්නක්, මන්දපෝෂණයක්, ආහාර අරගල, ගොවි අරගල ද බලාපොරොත්තු විය හැකිය.

කොවිඩ්-19 සමග පැනනැගුණු ආර්ථික අර්බුදය යන්තමින් සමහන් වන්නටත් පෙර ලංකාව එක්තරා ක්‍රමයක අවසානය කරා ළඟා වෙමින් තිබේ. එම ක්‍රමය කුමක්ද? එය වනාහි අති විශාල රජයක් ආදායමට වඩා අතිශයින් විශාල වියදමක් කර දරාගෙන දෙස්, විදෙස් ණය මත යැපෙමින් ලැබූ විනෝදාත්මක ගමනක අවසානයයි. එම ගමන කොහොමත් යොමුවෙමින් පැවතියේ නියත විනාශයක් වෙතය. එම විනාශය වළක්වාගැනීමට අවශ්‍ය පියවර ගැනීමේ ධෛර්යය ලාංකික දේශපාලනය තුළ කිසිදාක නිර්මාණය වූයේ නැත. දැන් සිදුවී තිබෙන්නේ කොවිඩ්-19 නිසා එම නියත අවසානය ඉක්මනින් ළඟාවීමයි. කොවිඩ්-19 වසංගතය නොපැමිණියත්, පමාවී හෝ මේ අවසානය සිදුවනු ඇත. දැන් එය බලාපොරොත්තු නොවූ තරම් ඉක්මණින් සිදුවී තිබේ.

ලංකාවේ ආර්ථික අර්බුදය සරලව ගත් කල, එක පැත්තකින් රජය ලබාගත් ණය ගෙවාගැනීමට තවත් ණය ගැනීමට නොහැකි තත්වයක් නිර්මාණය වීමකි. කොවිඩ්-19 හේතුවෙන් ඇති වූ ආර්ථික කඩාවැටීම තුළ රජයේ ආදායම් බිඳවැටීම එයට හේතුවයි. ඒ හේතුවෙන් රජයේ මහේක්ෂ ආර්ථික කළමනාකරණය ඉතා සංකීර්ණ තත්වයකට පත්වී තිබේ. මේ අතර රටට අවශ්‍ය ආනයන සිදුකිරීමට තරම් ප්‍රමාණවත් අපනයන ආදායමක් නැත. එහෙයින් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ඉන්ධන ආනයනය කරගැනීම පවා දුෂ්කර වී තිබේ. ලංකාව ඉන්නේ, ආදායම් හා වියදම් මැනැවින් තුලනය කරගත යුතු තත්වයකය. ඒ වෙනුවෙන් බොහෝ තත්වයන්, ප්‍රතිපත්ති ආදිය වෙනස් කිරීම අත්‍යවශ්‍ය මට්ටමකය.

රජය පොහොර තහනම් කිරීමට මුලින් පියවර ගත්තේ පොහොර සහනාධාරය සඳහා වසරකට වැය වන රුපියල් බිලියන 60ක් පමණ වන වාර්ෂික වියදම අවම කරගැනීමටයි. ආනයනික පොහොර වෙනුවට දේශීය කාබනික පොහොර භාවිතය මගින් විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිය. එහි තිබුණේ සරල ආර්ථික විද්‍යාවකි.

එහෙත්, මෙම සරල ආර්ථික විද්‍යාව වටා ගොඩනැගුණු අලංකාරික හෙවත් වාගාඩම්බර රැසක් තිබිණි. ඒ අතරින් ජනප්‍රියම ඒවා මෙසේය:

  • හොහොර හා වෙනත් කෘෂි රසායනික යනු මිනිස් සිරුරට අහිතකර විෂ ද්‍රව්‍යයි. ඒවා ආහාරයට ගැනීමෙන් පිළිකා ඇතුළු සෞඛ්‍ය ගැටලු නිර්මාණය වේ.
  • ශ්‍රී ලංකාවේ මිනිසුන් සම්ප්‍රදායික ගොවීන් වන අතර, අතීතයේදී ඔවුන් රසායනික පොහොර, කෘෂි රසායනික භාවිතා නොකර ආහාර නිෂ්පාදනය කරගනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවිත ගත කළහ.
  • පොහොර හා කෘෂි රසායනික යොදන ගොවිතැන පරිසරයට අහිතකරය.

මේ අතර ගොවීන්ට පොහොර නැති විය. වගා පාළු වී ගියේය. රජය දෙන බව කී වන්දි දුන්නේ ද නැත. මේ අතර, රටේ අවශ්‍ය තරම් කාබනික පොහොර නිෂ්පාදනය නොවන නිසා කාබනික පොහොර ද හිඟ විය. කාබනික යයි කියන පොහොරවල ගුණාත්මකභාවය අන්තයටම පිරිහිණි. එකී කාබනික පොහොර යෙදූ වගා බාල විය. තේ වැනි බහු වාර්ෂික බෝගවලට එයින් සිදුවන හානිය අති විශාලය. අස්වනු අඩුවීමත් සමග ආදායම් අඩු විය. නිෂ්පාදනවල ගුණාත්මකභාවය අඩුවීම නිසා මිල ද අඩු විය. මෙම සන්තෑසිය දැන් තේ වගාවට සිදුවී හමාරය. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩුවෙද්දී, අපනයනකරුවන්ට ලැබෙන රුපියල් වටිනාකම වැඩි වුවත්, තේ ගොවියාට ලැබෙන මිල අඩුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. එළවළු, පලතුරු, විසිතුරු පැළ ආදී සියලු වගාකරුවෝ ද ගැටලු රැසකට මුහුණදෙති.

මෙම පසුබිම තුළ රජය කළ යුතුව තිබුණේ තමන්ගේ මූලික ගැටලුව වූ පොහොර සහනාධාරය ඉවත් කරගෙන ගොවීන්ට වෙළඳපොළෙන් පොහොර මිලදීගැනීමට අවස්ථාව ලබාදීමයි. පොහොර සහනාධාරය වෙනුවට කාබනික පොහොර ලබාදිය හැකිව තිබිණි. එය ප්‍රතික්ෂේප කරන ගොවීන්ට වෙළඳපොළෙන් පොහොර මිලදීගෙන ගොවිතැන් කිරීමට අවස්ථාව දිය හැකිව තිබිණි. එහෙත්, ආණ්ඩුව කටයුතු කළේ ප්‍රායෝගික චින්තනයකින් නොවේ. ඒ නිසා රසායනික පොහොරවලට තහනමක් පැනවිණි. එය පොහොරවලින් නතර නොවී කෘෂි රසායනික දක්වා ද විහිදිණි.

දැනට භාවිතයේ පවතින වැඩිදියුණු කරන ලද බෝග වර්ග දේශීය බීජ මෙන් වැවෙන්නේ නැත. ඒවා ඉහළ අස්වනු දෙන්නේ පොහොර හා කෘෂි රසායනික භාවිතා කරමිනි. එසේම, දැන් ඉන්නා ගොවි පරම්පරාව ද අතීත ගොවීන් මෙන් නොව, රසායනික ගොවිතැනට හුරුපුරුදු වූ අයයි. රජයේ දෘෂ්ටිවාදීමය රසායනික විරෝධය ඔවුන්ට තේරෙන්නේවත් නැත.

ලොව පුරාම කාබනික ගොවිතැන ගැන, කෘෂි රසායනික ගැන සංවාදයක් තිබේ. එම ගොවිතැන් ක්‍රම පිළිබඳ පර්යේෂණ පැවැත්වේ. සමාජය දැනුවත් කිරීම ද සිදුවේ. එහෙත්, වෘත්තීය මට්ටමෙන් ගොවිතැන කරන ගොවීන්ට වැඩි අස්වැන්නක් අවශ්‍යය. පාරිභෝගිකයාට අඩු මිලට ආහාර ද්‍රව්‍ය අවශ්‍යය. කාබනික ගොවිතැනෙන් ලැබෙන අස්වැන්න ඉතා අඩුය. එම නිෂ්පාදනවල මිල ඉහළය. එය දෘෂ්ටිවාදීමය අත්හදාබැලීමක් මිස ප්‍රායෝගික ක්‍රමයක් නොවේ.

ශාකයට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ස්වාභාවික ක්‍රමවලින් මෙන්ම, වැඩිදියුණු කරන ලද ස්වාභාවික ක්‍රමවලින් ද, කෘත්‍රිම ක්‍රමවලින් ද ලබාදිය හැකිය. ස්වාභාවික ක්‍රම යන යෙදුම සමග මෙවැනි ප්‍රශ්නයක් ද මතුවේ. ගොවිතැන ස්වාභාවිකද? ස්වාභාවිකව අහඹු ලෙස ශාක වැවීම හා ඒක බෝග වගාවන් අතර වෙනස විශාල සංවර්ධනයකි. අපට දැන් ඒ යුග ගණනක සංවර්ධනය ආපසු හැරවිය හැකිද? ආපසු කැලයෙන් ආහාර රැස්කරන මිනිසුන් බවට පත්විය හැකිද?

කෘෂි රසායනික භාවිතය විසින් අපට ලබාදෙන ලද සාධනීය ප්‍රතිඵල ගැන අප නොසිතන්නේ ඇයි? එමගින් ලෝකයේ ආහාර නිෂ්පාදනය ඉහළ ගියේය. මිල අඩු විය. සාගින්න, මන්දපෝෂණය අඩු විය. ඉතින් අප ඒ සමග මෙතරම් අමනාප ඇයි? මේ අතර, නියාමනයකින් තොරව කෘෂි රසායනික භාවිතය සිදුවන්නට පටන්ගත්තේය. මිනිසුන්ට ආහාර කියා වස විෂ කැවීම වැඩි විය. කෘෂි රසායනික වෙළඳපොළ නියාමනය කළ නොහැක්කක් නොවේ. ලංකාවේ නම්, ඒ වෙනුවෙන් ජාතික හා පළාත් සභා අමාත්‍යාංශ රැසක් තිබේ. කෘෂිකර්මය සම්බන්ධ රජයේ නිලධාරීන් දස දහස් ගණන් සිටිති. ඔවුන් වෙනුවෙන් අතිවිශාල මහජන මුදල් සම්භාරයක් වැය කෙරේ. ඉතින් ඔවුන් එම නියාමනය කරන්නේ නැත්තේ ඇයි?

ආණ්ඩුව පොහොර තහනම් කළේ පොහොර සහනාධාරය නම් ඵලදායී නොවන ක්‍රමවේදයක් වෙනස් කිරීම සඳහාය. එහෙත්, අවසානයේදී සිදුවී තිබෙන්නේ කෘෂි රසායනික සම්බන්ධ අලංකාරික අදහස් පද්ධතියක වහලකු බවට ආණ්ඩුව පත්වීමයි. ආණ්ඩුවේ නායකයන් කිහිපදෙනෙකුගේ පටු දෘෂ්ටිවාදයන් රටට ආදේශ කිරීමට ගොස් මුළු රටකම අනාගතය අවදානමට හෙළා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පොහොර අර්බුදයත් සමග වර්තමානයේ ලබමින් තිබෙන අත්දැකීම සියලු දේශපාලන ධාරාවන්ට වැදගත්ය. තීරණ ගැනීමේදී දෘෂ්ටිවාදයන් කෙතරම් වැදගත් ද යන්න නැවත සිතාබැලීමට මෙය ඉතා ප්‍රයෝජනවත්ය. ඕනෑම දැක්මක්, දෘෂ්ටියක් පරීක්ෂා වන්නේ ප්‍රායෝගිකත්වය නම් ගලෙහි උරච්චි වන විටයි.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ කෘෂි රසායනික සම්බන්ධ පිළිවෙත මගින් අවසානයේදී සිදුවී තිබෙන්නේ තියෙන ප්‍රශ්න මදිවාට තවත් ප්‍රශ්නයක් නිර්මාණය කරගැනීමකි. එකක් කඩතොලු මකන්නට ගොස් නැතක් කඩතොලු නිර්මාණය කරගැනීමකි. මෙවැනි දේශපාලනික වැරදි සමාජ ක්‍රමයක අවසාන වකවානුවේදී අවසානය ඉක්මන් කිරීම සඳහා ඉවහල් වේ.

2 thoughts on “පොහොර අර්බුදය හා ක්‍රමයක අවසානය

  1. Heloye diya rathwanavita kakuluwaata marana biya dene .
    Namuth seliye diya kakuluwaa merenna kalinma siendie awasanya !

  2. Api bona wathura da rayaayanikaya .
    Rasaayanika mowana pohorak ho padaarthayak melowa thibenam apawa denuwath karanu menawa .
    Aneka , inogacic haa organic ho carbonicayan gena amathi ho hencho hariyatama danne nethi bawa uhuge kriyaawenma pehadiliya .
    Lakmawa deviyo rakithwa .

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: