Corona and media - cartoon by Ajith Perakum Jayasinghe

අජිත් පැරකුම් ජයසිංහ

මගේ බිරිඳ සෞඛ්‍ය සේවිකාවක්. ඇගේ ආසන්නතම ප්‍රධානියාගේ සැමියා හමුදාවේ සිට විශ්‍රාම ගිහින් දැන් වෘත්තීය ගොවියෙක්. ඔහුට උණ නිසා, ලෙප්ටස් පයිරෝසිස්වලින් බේරෙන්නට ගත යුතු ප්‍රතිකාර හරියට නොගත් නිසා මී උණ වන්නට ඇතැයි සිතා රෝහල් ආවා. රෝහල්ගත කරන්නට පෙර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් කළා. කොවිඩ්-19 පොසිටිව්. රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය පිළිබඳ ගැටලුවක් නොතිබුණු නිරෝගී පුද්ගලයකු නිසා ඔහු දැන් ගෙදර. ඒ සෞඛ්‍ය සේවිකාව එදා රාජකාරි කරන්නට සූදානම්ව සිටියත්, ඇයත් දැන් ගෙදර ගොස් නිරෝධායනය වෙනවා. ඒක කරන්නෙ ස්වයංවමයි. කවුරුවත් ආශ්‍රිතයන් සොයලා උපදෙස් දීලා නෙමෙයි. ඇය පළමු පෙළ ආශ්‍රිතයෙක්. එන්නත් මාත්‍රා දෙකම ගත් නිසා අවදානම අඩු ඇති. මගේ බිරිඳ පළමු පෙළ ආශ්‍රිතයාගේ ආශ්‍රිතයෙක්. ඉස්සර නම් ඒ අයවත් සොය සොයා කන්දකාඩු ගෙනිච්චා මතකද? දැන් ඒවා කරන්න ගියොත් රෝහල් සේවා පවත්වාගෙන යන්න බැහැ. ඒ තරමට කාර්ය මණ්ඩල හිඟයි.

ඒ විතරක්ද? ආරක්ෂිත ඇඳුම් ඇඳගත් පොම්පකාරයෝ මහජන මුදලින් මිලදීගත් ක්ලෝරීන් රසායනික මිනිසුන්ගේ ඇඟේයි, පාරවල් පුරා ඉහ ඉහ ගිය හැටි මතකද? කෝ දැන් ඒ මළ කෝලං.

තව වැඩි කාලයක් යන්න කලින් මේ වගේ සංවාද ඇහෙයි.

සේවිකාව: සර්, මට අද වැඩට එන්න බැහැ. අසනීපයි.

ප්‍රධානියා: මොකක්ද අසනීපෙ?

සේවිකාව: කොවිඩ්.

ප්‍රධානියා: පිස්සුද? ඔය පොඩි ලෙඩකට නිවාඩු දෙන්න බැහැ. වහාම වැඩට එන්න. මෙතන වැඩ ගොඩගැහිලා තියෙන්නෙ.

මේ තවත් එවැනි විය හැකි අවස්ථාවක්:

ඒටීඑම් යන්ත්‍රය: කරුණාකර ඔබේ මුඛ ආවරණය ඉවත් කරන්න. මුඛ ආවරණ පැළඳ ඒටීඑම් යන්ත්‍ර භාවිතා කිරීම තහනම්.

කොවිඩ්-19 වේගයෙන් පැතිරෙන වසංගතයක් බවත්, එයින් වැඩිහිටියන් හා නිදන්ගත රෝගවලට ගොදුරු වූ පුද්ගලයන් අවදානමට ලක්වන බවත් ඇත්තක්. එහෙත්, රෝගය ගැන විද්‍යාව වේගයෙන් දැනුවත් වෙනවා. ඒ නිසා එන්නත් වගේම තව ටිකක් කල් යනවිට ප්‍රතිකාරත් පැමිණේවි.

මොනවා ආවත්, හෙම්බිරිස්සාව වගේ කොවිඩ්-19ත් අප අතර දිගටම තිබෙන්නටත් පුළුවන්. කොහොම වුණත්, රෝගය සාමාන්‍යකරණය වූ වේගය අනුව තව අවුරුදු කීපයක් ගතවන විට මිනිසුන් එය එතරම් ලොකුවට ගණන් ගන්නේ නැහැ. විවිධ සෙම්ප්‍රතිශ්‍යා වයිරස ද කලින් කලට වසංගත තත්වයට පත්වෙනමුත්, ඒවා ද කවුරුවත් ගණන් ගන්නේ නැති බව අප දන්නවා.

කොවිඩ්-19 සම්බන්ධයෙන් ලෝකය කඩිනමින් සොයාගත් එන්නත්කරන විසඳුම් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ විකෘති ආකාරයටයි. කොවිඩ් රෝගීන් සංඛ්‍යාව කෙතරම් ඉහළ ගියත්, වඩාත් වැදගත් වෙන්නේ මරණ සංඛ්‍යාවයි. බහුතරයකට රෝග ලක්ෂණ හෝ නැතිකම මේ රෝගයේ ස්වභාවයක්. ශ්‍රී ලංකාවට මරණ සංඛ්‍යාව අවම කරගන්නට අවශ්‍ය නම්, වැඩිහිටියන්ට හා නිදන්ගත රෝග ඇති අයට ප්‍රමුඛතාව ලබාදිය යුතුව තිබුණා. එහෙම නොකිරීමෙන් පෙනෙන්නේ රජය මෙවැනි අය මියයාම ගැන ලොකු ප්‍රශ්නයක් ලෙස සලකන්නේ නැති බවයි.

වයස අවුරුදු 80 ඉක්මවූ අය කොවිඩ් නිසා මියයාමෙහි කිසිදු විශේෂත්වයක් නැහැ. ඔවුන් සාමාන්‍ය හෙම්බිරිස්සාවෙනුත් නිව්මෝනියා තත්වයට පත්වී මියයන්නට පුළුවන්. මට අවුරුදු 75 පැන්නාට පස්සෙ මම නම් හිතන්නෙ ඉතින් මැරුණාම මොකද කියායි. ඒක මට අනෙක් අයට කියන්න බැහැ. හැබැයි අකැමැති වුණත් ඔය හැමෝම මැරෙනවා.

මගේ මවත්, පියාත් දෙදෙනාම වයස අවුරුදු 90ට වැඩියි. සෞඛ්‍ය සේවකයන්ගේ පවුල්වල අයට එන්නත ලබාදෙන බවට පොරොන්දුවක් ලැබී තිබෙනවා. මගේ නිවසට යාබද නිවසේ ඉතා සමීපව ජීවත් වන ඔවුන්ට එන්නත ලබාදීමට නම් දිය හැකිව තිබුණත්, ඔවුන් එන්නත ලබාගැනීමට කැමැත්තක් නොදැක්වූ නිසා අපි නම් ලබාදුන්නේ නැහැ (නම් ලබාදුන්නත්, එවැනි වයස්ගත අයට එන්නත ලබාදෙනවාද කියා මා දන්නේ නැහැ). ඔවුන් ගෙවත්තෙන් පිටතට යන්නේ නැහැ. මැරුණත් ප්‍රශ්නයක් නැති බවයි ඔවුන් කියන්නේ. මේ කාරණා ගැන අප විමසිය යුත්තේ බුද්ධියෙන් මිස හදවතින් නෙමෙයි. හදවතට තට්ටු කරලා බලන්න. වයස්ගත හා දැඩි ලෙස රෝගාතුර වූ පුද්ගලයන් මියයාම අපේ සමාජය දුකක් විදියට භාරගන්නෙ නැහැ. ඉතින් හත්ඉලව්වේ, කොවිඩ් ය කියලා මේ මොකද අපට වෙලා තියෙන්නෙ?

එන්නත් මගින් මෙන්ම රෝගය වැළඳී සුවවීමෙන් ද සමූහ ප්‍රතිශක්තියට විශාල දායකත්වයක් ලැබෙනවා. රෝගය වැළඳීමෙන් සමූහ ප්‍රතිශක්තිය ගොඩනැගීම ගැන කතා කරන්නට අකැමැති තරම් අප ශිෂ්ට බව ප්‍රකාශ කරනවා. එහෙත්, ඒ ශිෂ්ට ලෝකයේම ඊශ්‍රායලය හා පලස්තීනය අතර දින කීපයක යුද ගැටුමෙන් 275ක් සං සං ගාලා මැරෙනවා. මියන්මාර හමුදා කුමන්ත්‍රණයට විරුද්ධ බලවේගවලට හා මහජනයාට එරෙහි මර්දනයෙන් මේ වන විට 800කට වැඩි පිරිසක් මියගිහින්. ඒ අතරින් 40කට වැඩි පිරිස ළමයින්.

2020 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ 345,000ක් ජනයා කොවිඩ් හේතුවෙන් මියයද්දී එමෙන් දෙගුණයක් හෘද රෝග නිසා මියයනවා. එය තමයි එරට මරණවලට ප්‍රධාන හේතුව. ලක්ෂ හයක් පමණ ජනයා මියයන්නේ පිළිකා නිසා. කොවිඩ් මරණවලට හිමිවන්නේ තුන්වන තැනයි (මූලාශ්‍රය මෙතැනින්).

කොවිඩ් සංචරණ සීමා නිසා මාර්ග අනතුරු ආදිය අඩුවී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව, 2016 වසරේ ශ්‍රී ලංකාවේ මරණ 143,000ක් සිදුවී තිබෙනවා එම මරණ අතරින් 83%කට කුමක් හෝ බෝ නොවන රෝගයක් සම්බන්ධයි. 34%ක් හෘද රෝග, 14%ක් පිළිකා, 8%ක් නිදන්ගත ශ්වසන රෝග, 9%ක් දියවැඩියාව. 10%ක් මියයන්නේ තුවාලවලින්. බෝවන රෝගවලින් සිදුවන මරණ 8%ටත් අඩුයි.

2016දී ජනගහණයෙන් ලක්ෂයකට 17ක් අඩු වයසින් මියයනවා. ලක්ෂයකට 15ක් සියදිවි නසාගන්නවා. (වාර්තාව මෙතැනින්)

2020 වසරේදී අත්අඩංගුවේ සිටි සිරකරුවන් 26ක් ඝාතනයට ලක්වූ බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පසුගියදා නිවේදනය කළා. විරුද්ධවාදීන් ඝාතනය කිරීමේ මානසිකත්වයෙන් යුතු අන්තවාදීන් රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සම්බන්ධ මුල් පුටුවල සිටින රටක් මේක.

එහෙව් රටක අපි කොවිඩ්-19 බයේ ඇඳිරි නීති දමාගෙන සිටිමු. ලෝකයේම වුණත් තත්වය ඕකය. එහෙත්, තවම අප වැඩිදෙනෙකු මා කියන දෙයට එකඟ වන්නේ නැත. ඔහොම ගිහින් බලමු. හැමෝම කියන නිසා ඔබත් පරිස්සම් වෙන්න. මාත් පරිස්සම් වෙන්නම්. මට ඕනැ නම් මැරෙන්නට අයිතියක් තිබුණත්, වෙනත් අයට රෝග වාහකයකු වෙන්නට අයිතියක් නැහැ. කොවිඩ්-19 වැනි බෝවෙන රෝග සම්බන්ධයෙන් මට වැදගත් දේශපාලනික කාරණය එයයි.

පහත දැක්වෙන්නේ මා 2020 ජනවාරි මාසයේදී ලියූ ලිපියකි. එහි මූලික අදහස මම අදටත් විශ්වාස කරමි.

කොරෝනා වයිරසය වැඩියෙන් බෝ කරන්නේ ජනමාධ්‍ය විසිනි

“මෑත ඉතිහාසයේ මතු වූ එවැනි දරුණු ම වසංගතය වන්නේ 1918-19 ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාවයි (Spanish flu). සුළඟෙන් පැතිරෙන H1N1 වයිරසයෙන් ආසාදනය වූ එම රෝගය ලොව පුරා ම පැතිර ගිය අතර මිලියන 500ක් හෙවත් ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු බව වාර්තා වේ. ලොව පුරා මිලියන 20-50 අතර ජනතාවක් එයින් මිය ගිය හ. එක්සත් ජනපදයේ පමණක් 675,000ක් මිය ගිය හ.”

1 thought on “දිනෙන් දින සාමාන්‍යකරණය වන කොවිඩ්-19

  1. Kaage kaageth maranaya yatharthayak nam , kawru kawruth ai ochchara thanhaawa ?

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: