national flags of countries

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2021-05-02

විපුල ගුණැති මහතුන් හට පත් විපත
නිසල නැණින් යුතු උතුමෝ ම දුරලත
කලල ගිලුණු මත වරණිඳු ගොඩ ගනුත
තුමුල බලැති ගිජිඳෙකු මිස අන් කෙවත

ඉහත දැක්වෙන්නේ කෝට්ටේ යුගයේදී අලගියවන්න මුකවෙටි විසින් රචනා රන ලද උපදේශ කාව්‍යයක් වන සුභාෂිතයේ පද්‍යයකි. මඩේ එරුණු මත් ඇතකු ගොඩගැනීමට නම්, මහත් බල ඇති ඇතකු අවශ්‍යය. ඒ අන්දමින් මහත් ගුණැති මහතුන් හට විපතක් පැමිණි කල එය දුරැලිය හැක්කේ තැන්පත් නුවණ ඇති උතුමෙකුට පමණි.

ලංකාව මේ මොහොතේ සමාන වන්නේ මඩේ එරුණු මත් ඇතෙකුටය. මත් වී තිබෙන්නේ ජාතිවාදයෙන්ය. එරී තිබෙන මඩ වල නම් ආර්ථික අර්බුදයයි. එයින් මේ රට ගොඩගන්නට නම් තැන්පත් නුවණ අවශ්‍යය.

පසුගිය සතියේ චීන ආරක්ෂක ඇමතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය. ඇමරිකා එක්සත් ජනපදය විසින් පිරිනමන ලද මිලෙනියම් චැලේන්ජ් කම්පැක්ට් ප්‍රදානය අහිමි කරගැනීමෙන් හා ඉන්දියාවට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් හා ඉන්පසු චීනයට වාසිදායක අන්දමින් කොළඹ වරාය නගර පනත කෙටුම්පත් කිරීමෙන් පසු සිදු වූ මෙම සංචාරයෙහි සංකේතාත්මක වටිනාකමක් තිබේ.

චීනය දිගුකලක සිට ශ්‍රී ලංකාවේ මිත්‍ර රටකි. වර්තමානය වන විට චීනය ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය ප්‍රමුඛ කඳවුරේ ගෝලීය ආධිපත්‍යයට එරෙහිව නැගී සිටින ලෝක බලවතෙකි. එසේම, දෘෂ්ටිවාදීමය වශයෙන් ගත් කල ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරන, තනි පක්ෂ ආධිපත්‍යය ප්‍රවර්ධනය කරන රටකි. චීනය යනු වත්මන් ලෝක බල රටාව පිළිගන්නා රාජ්‍යයක් නොවේ.

කෙසේ වෙතත්, පසුගිය දිනවල දරුණු විදේශ සංචිත ක්ෂය වීමකට මුහුණ දුන් ශ්‍රී ලංකාවට යුවාන් බිලියන දහයක අතමාරුවක් ලබාදීමට අප්‍රේල් මාසයේදී චීනය කටයුතු කළාය. චීනය ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ණය දෙන, භාණ්ඩ අලෙවි කරන, ශ්‍රී ලංකාවේ විවිධ ඉදිකිරීම් කොන්ත්‍රාත් කරන රාජ්‍යයකි. එසේම, චීන කම්කරුවෝ, තාක්ෂණ ශිල්පීහු හා ඉංජිනේරුවෝ ආදී විශාල ශ්‍රමික පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවේ රැකියා ද කරති. කෙටියෙන් කිවහොත්, චීනයට ලංකාව වෙළඳපොළකි.

එහෙත්, ලංකාව කරන නිෂ්පාදන මිලදී ගන්නා ප්‍රධාන රටවල් අතර චීනය නැත. චීනය විසින් අපට ලබාදෙන ණය හා චීනයෙන් අප ලබාගන්නා භාණ්ඩ හා සේවා වෙනුවෙන් අපට මුදල් ගෙවන්නට සිදුවන්නේ වෙනත් රටවලට භාණ්ඩ අපනයනය කිරීමෙනි.

ශ්‍රී ලංකාව කිසියම් රටකට කරනු ලබන අපනයනයන්ගෙන් ලබන ආදායම හා එම රටවලින් කරනු ලබන ආනයන සඳහා යන වියදම අතර ශේෂයට ශ්‍රී ලංකාව එම රට සමග තිබෙන වෙළඳ ශේෂය යයි කියනු ලැබේ. වෙළඳ ශේෂය ශ්‍රී ලංකාවට වාසිදායක වන්නේ කිසියම් රටකට වැඩිපුර අපනයන කරමින්, එම රටින් අඩුවෙන් ආනයන සිදුකරන විටයි. කිසියම් රටකින් වැඩිපුර ආනයන සිදුකරමින් එම රටට අඩුවෙන් අපනයනය කරනවිට වෙළඳ ශේෂය ශ්‍රී ලංකාවට අවාසිදායකය.

ලෝක බැංකුවේ සංඛ්‍යා දත්ත අනුව, 2017 වසර වන විට ශ්‍රී ලංකාවට වඩාත්ම අවාසිදායක වෙළඳ ශේෂයන් ඇති රටවල් පහ අනුපිළිවෙලින් මෙසේය. (මූලාශ්‍රය මෙතැනින්)

  1. චීනය
  2. ඉන්දියාව
  3. එක්සත් අරාබි එමීර් රාජ්‍යය
  4. සිංගප්පූරුව
  5. ජපානය

පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට වැඩියෙන්ම වාසිදායක වෙළඳ ශේෂය ඇති රටවල් පහ අනුපිළිවෙලිනි.

  1. ඇමරිකා එක්සත් ජනපදය
  2. බ්‍රිතාන්‍යය
  3. බෙල්ජියම
  4. ඉතාලිය
  5. ඉරානය

පසුගිය දිනවල ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ණය ඉල්ලීම පිළිබඳ හාස්‍යයට ලක්වුණත්, දකුණු ආසියාවේ රටවලින් ශ්‍රී ලංකාවට වාසිදායක වෙළඳ ශේෂයන් තිබෙන්නේ බංග්ලාදේශය හා නේපාලය සමග පමණි. මාලදිවයින පවා ශ්‍රී ලංකාව සමග වෙළඳාමෙන් ලාභ ලබයි.

චීනය ලෝක ආධිපත්‍යය ගොඩනගාගනිමින් සිටින්නේ ආර්ථික ශක්තිය හරහාය. චීනයට එම ආර්ථික ශක්තිය ගොඩනගාදීමට එරට පවතින පාලන ක්‍රමය තුළ කම්කරුවන් ශික්ෂණය කර තිබෙන ආකාරය ඉවහල් වේ. ප්‍රජාතාන්ත්‍රික සමාජ ක්‍රම පවතින ධනේශ්වර ආර්ථිකයන් ඇති ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය, ජපානය, ඕස්ට්‍රේලියාව ප්‍රමුඛ කඳවුරට චීනය සමග තරග කිරීම අපහසුය.

චීනය විශාල ස්වාභාවික හා මානව සම්පත් ප්‍රමාණයක් හිමි රටකි. එහෙත්, චීන ධනයේ රහස ද වෙළඳාමයි. චීනය සමස්ත ලෝකයම සමග වෙළඳාම් කරයි. ලෝකයට කරනු ලබන අපනයන හා තම රටට කරනු ලබන ආනයන අතර චිනයට වාසිදායක වෙළඳ ශේෂය 2018 වසරේදී ඩොලර් බිලියන 420ක් පමණ විය. චීනයේ ප්‍රධානම වෙළඳ පාර්ශ්වකරුවා එක්සත් ජනපදයයි. 2018 වසරේදී මේ දෙරට අතර වෙළඳාමෙන් චීනයට වාසිදායක වන වෙළඳ ශේෂය ඩොලර් බිලියන 276කි. යුරෝපා සංගමයේ රටවල් සමග වෙළඳ ගනුදෙනුවලින් චීනයට වාසිදායක වන වෙළඳ ශේෂය ඩොලර් බිලියන 177කි. චීනය සමග වාසිදායක වෙළඳ ශේෂයක් පවත්වාගැනීමට සමත් වී තිබෙන්නේ තායිවානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ජපානය වැනි රටවල් කීපයක් පමණි. (මූලාශ්‍රය මෙතැනින්)

ලෝකයේ රාජ්‍යයන් අතර භූ දේශපාලනික හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අර්ථ නිරූපණය කිරීමේදී මෙම වෙළඳ සම්බන්ධතා ඉතා වැදගත්ය.

ශ්‍රී ලංකාව විශාල ස්වාභාවික සම්පත් හෝ මානව සම්පත් ප්‍රමාණයක් ඇති රටක් නොවේ. එහෙත්, එය ඉන්දියාවේ දකුණුදිග කෙළවරෙහි ඉන්දීය සාගරයේ ප්‍රධාන නැව් මාර්ගයකට සමීපයෙන් පිහිටා තිබෙන සශ්‍රීක රටක් වීම නිසා ඈත අතීතයේ සිටම මේ කුඩා රටට ලෝක අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකාවේ ඇතිවීම හෝ නැතිවීම යන දෙකම තීරණය වන්නේ මෙම සාධක මතය. එහිදී ලෝක බලවතුන්ගේ උවමනාවන් කුමක් වුවත්, දේශීය පාලකයන්ගේ රාජ්‍ය තාන්ත්‍රික ඥානය ඉතා වැදගත්ය. අතීතයේ සිටම වෙළඳ මධ්‍යස්ථානයක් වූ ශ්‍රී ලංකාවට ද තම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ව්‍යූහගත කරගැනීමේදී අන්තර්ජාතික වෙළඳාම ගැන සිතන්නට සිදුවීම අනිවාර්ය වේ. ලංකාව විදේශ බලපෑම්වලට නතු වූ හැම අවස්ථාවකම එයට හේතුව වී තිබෙන්නේ පාලනයේ දුර්වලකමකි. ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ඇත්තේ නතුවීම තුළ නොව ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ තම භූමිකාව කළමනාකරණය කරගැනීම තුළය. ජාත්‍යන්තර වෙළඳාම තමන්ට වාසිදායක අන්දමින් දියුණු කරගන්නේ නැතුව, දේශීය නිෂ්පාදනය ඉහළ නංවාගන්නේ නැතුව ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට බැරිය. 2019 වසරේ අප ආනයන වෙනුවෙන් පිටරටට ගෙවූ මුදල ආනයන මගින් ඉපැයූ මුදලට වඩා ඩොලර් බිලියන පහකටත් වඩා වැඩි විය.

ගිය සතියේ පැරාගේ විරාමය: අන්තිම නරක අවුරුද්දක්

Creative Content Consultants

2 thoughts on “ජාත්‍යන්තර වෙළඳාම හා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා

  1. Lankawatama aavenika woo , wenath ratawal kemeththenma illana agro nipeyum merata nipeyei .
    Namuth hitapugaman wagaawanta nethuwama beri Acaabanika yedum aththanomathikawa thahanam kiriemata tharamwoo mugdha paalaka pelenthiyak wesena ratak kawadaa vides naya barin mideida ?

  2. Methana tapalawaagena thiyenne ” RASAAYANIKA haa CARBONIKA dea gena arthakathanayai .
    Apa paribojane karana siyalu dea menma wesena parisaraya da sakasvie thibenne mooladrwya siya gananakin vividha maathraawalin bawa paalakayo naganie nethakoth nodanna se rangathi .
    Cabon mooladwya adangu oya den uda damana Compost da , Rasayanika bawa danno danithi .
    Namuth wagawanta nethiwamaberi Nitrogen ehi aththe 3 % ka sochchamaki . Enisaama thamai beherin oonapoorane karanne !

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: