Joseph Stalin

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2021-07-16

ගුරුවරුන්ට නායකත්වය දෙන අය කාලකණ්ණින්ය කියලා කෙහෙලිය රඹුක්වැල්ල කිව්වනේ. ඔහු එහෙම කියනකොට අදහස් කළේ ජෝසප් ස්ටාලින්ව බව පැහැදිලියි. ජෝසප් ස්ටාලින් කාලකණ්ණියෙක්ද?

කාලකණ්ණි කියන වචනෙ නිරුක්තිය සොයා බැලුවාම දකින්නට ලැබෙන්නේ එහි අරුත කණ් පෙති කළු පැහැයෙන් යුක්ත තැනැත්තා යන්න බවයි. එවැනි කණ් ඇත්තන් අවාසනාවන්තයන් යයි විශ්වාසයක් අතීතයේ තිබිණි. ඇතැමෙකු සිතන පරිදි කාලකණ්ණි නම් වචනයෙහි නිරුක්තිය කාලය කන්නා යන්න නොවේ.

ජෝසප් ස්ටාලින් කාලකණ්ණියෙක්ද? ජෝසප් ස්ටාලින් කොළඹ, මෝදර, වරාය කම්කරු නායකයකු හා ලංකා කොමියුනිස්ට් පක්ය හෙවත් චීන පිලේ නායකයකු වූ බෙනඩික්ට් සහෝදරයාගේ පුතෙක්. මෝදර ඩිලාසාල් විදුහලේ අධ්‍යාපනය ලබා හාපිටිගම විද්‍යාපීඨයෙන් ප්‍රාථමික ගුරු පුහුණුව ලබා පළමු පත්වීම ලෙස ඔහු දීර්ඝ කාලයක් සේවය කළේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ වන්නිහැලඹෑව පාසලේයි. ඒ යුද්ධයක් තිබුණු, තන්තිරිමලේට ප්‍රවාහනය පවා දුෂ්කර වුණ යුගයකයි. ඔහු එහි අවුරුදු ගණනාවක් ඉඳලා ස්ථාන මාරු වුණේ කොළඹට නෙමෙයි, මහනුවර දිස්ත්‍රික්කෙ තෙල්දෙණිය පැත්තෙ දුෂ්කර ඉස්කෝලෙකට. එතනින් කොළඹට ඇවිත් බ්ලූමැන්ඩල් පැත්තෙ වීදි දරුවන් විශාල පිරිසක් ඉගෙනගත්ත ඉස්කෝලෙක උගන්නද්දි මම පත්තරේකට ලිපියක් ලියන්න ඒ ඉස්කෝලෙට ගියා. ජෝ වන්නිහැලඹෑවෙ ඉන්න කාලෙ මං ඊට ටිකක් මෙහා ඇලයාපත්තුවෙ පුසියන්කුලම මහා විද්‍යාලයේ වැඩ කළා. අපි එක වහල යට නතර වෙලා හිටියා. ජෝ ඉස්කෝලවලදි හොඳින් උගන්වන, කැපවෙලා වැඩ කරන, බාහිර වැඩ ගොඩක් කරන ගුරුවරයෙක්. පස්සෙ කාලෙක ලංකා ගුරු සංගමයේ අවශ්‍යතාව මත දිගටම පූර්ණකාලීනව නිදහස් වෙලා තමයි හිටියෙ.

ජෝසප් වෘත්තීය සමිති නායකයකු විදියට අතීතයේ ගුරු සංගම් නායකයන් අනුගමනය කළ ප්‍රතිපත්තියක් දැඩි විදියට අනුගමනය කරන කෙනෙක්. ඒ තමයි, ගුරු සංගම් නායකයන් විදුහල්පති වැනි වෙනත් ශ්‍රේණිවලට උසස්වීම් ලබා නොගැනීම. 1980 වැඩ වර්ජනය හේතුවෙන් අසාධාරණයට ලක්වුණ ගුරු සංගම් නායකයන් 2005 ආසන්න වකවානුවේදී ගුරු සංගම් විදියට ඉදිරිපත් වී දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සහන ලබාගනිමින් අධ්‍යාපන අධ්‍යක්ෂ පදවි ලබාගැනීම ගැන ජෝසප් දැඩි ලෙස විරෝධය පළකළා. එපමණක් නොවෙයි, ලංකා ගුරු සංගමයේ මධ්‍යම කාරක සභාවේ නාමයෝජනාවට පිටින් ගුරු සංගමයේ නායකත්වය වෙනුවෙන් ඡන්දයටත් ඉදිරිපත් වුණා. ඒ ඡන්දයෙන් ඔහු පැරදුණා. බර්ටි රණවීරගේ සහෝදරයා ජයග්‍රහණය කර සභාපති පදවියට පත්වුණා. ඔහු පසු කලෙක අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස විශ්‍රාම ලැබුවා.

කෙසේ වෙතත්, පසු කලෙක, ජෝසප් මෙම දැඩි ප්‍රතිපත්තිය වෙනස් කළා. ඔහු සමග සිටි අය උසස්වීම් ලබාගත්තා. ඒත්, ජෝ හැමදාමත් ගුරුවරයකු ලෙස කටයුතු කළා මිසක් කිසිදු උසස්වීමක් සඳහා උත්සාහ කළේ නැහැ.

ඔහු දැන් කලක සිට සතියේ දවස් හතම ගුරු සංගම් කාර්යාලයේ හරි ගුරු සංගම් හා වෙනත් පොදු වැඩ වෙනුවෙන් ක්ෂේත්‍රයේ හරි වැඩකරන කෙනෙක්. ඒ නිදහස්වීම පාවිච්චි කරලා පෞද්ගලික වැඩ කිසිවක් කරගත්ත නැති කෙනෙක්. ජෝට කොහොමත් ගුරු සංගමය ඇරුණාම වෙනත් පෞද්ගලික ජීවිතයක් නැති තරම්. ඔහු අවිවාහකයි. නාගරිකයන් වන ඔහුගේ පවුලේ අය සාමාන්‍ය මිනිසුන්. ඔවුන් සාමාන්‍ය රැකියා කරලා ස්වාධීනව ජීවත් වන මිනිසුන්. පෞද්ගලිකව ඉඩම්, ගෙවල්, යාන වාහන මිලදීගෙන දියුණුව යයි සාමාන්‍ය සමාජය පිළිගන්නා තත්වය අත්පත් කරගන්නට ජෝ කවදාවත් උත්සාහ කර නැහැ. මා දන්නා තරමින් ඔහුට අනුරාධපුරයේ සිටියදී තිබුණු කවුරුන් හෝ දීපු කබල් බයිසිකලය හැර වෙනත් වාහනයක් තිබිලා නැහැ. ඔහු වැටුපෙන් පමණක් ජීවත් වන පූර්ණ නිර්ධන පන්තික අල්පේච්ඡ ජීවිතයක් ගතකරන කෙනෙක්. එය ඔහුගේ තෝරාගැනීම.

කෙහෙළිය රඹුක්වැල්ල පමණක් නොවෙයි, මේ සමාජයේ බොහෝ අය ජෝසප් ස්ටාලින් වැනි තපස් ජීවිත දිහා බලන්නෙ අසාර්ථකත්වයක් විදියටයි. ඒත්, ජෝ කියන්නෙ කාගෙන්වත් යැපෙන්නේ නැති, විධිමත් රැකියාවක් කර ජීවත් වන වෘත්තිකයෙක්. බොහෝ අය නොදන්නා කාරණයකුත් මම කියන්නම්. ජෝසප් දක්ෂ ව්‍යාපාර කළමනාකාරවරයෙක්. 2005 වගේ කාලෙක කෙටි කලක් ගුරු සංගම් කටයුතුවලින් ඉවත් වී සිටි ජෝ ඔහුගේ විදෙස්ගත මිතුරකුගේ වත්තක් කළමනාකරණය කළෙත් ස්වේච්ඡාවෙන්.

ඔහු වෘත්තීය සමිති නායකයකු ලෙස පරිපූර්ණ අයෙකු යයි මා කියන්නේ නැහැ. ලංකා ගුරු සංගමය නවීන වෘත්තීය සමිතියකට වඩා ඉපැරණි වාමාංශික උරුමය සම්බන්ධයෙන් සංරක්ෂණවාදී අදහස් පවතින සංගමයක් ලෙසයි මා දකින්නේ. ඒත්, දිස්ත්‍රික් සම්මේලන පවත්වමින්, වාර්ෂිකව ජාතික සම්මේලනය පවත්වමින් නියම මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රායෝගික භාවිතාවක් ප්‍රෝඩාකාරී නොවන අයුරින් තවමත් පවත්වාගෙන යන ලංකාවේ වෘත්තීය සංවිධාන අතර ලංකා ගුරු සංගමය ඉදිරියෙන්ම සිටිනවා.

ජෝසප් ස්ටාලින් පැවත එන්නේ 1960 දශකයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් ආරම්භ වුණ නව වාමාංශික ධාරාවට නොවෙයි. ජාතික ප්‍රශ්නයේදී දෙමළ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අනම්‍ය අන්දමින් පෙනී සිටි ජෝසප් ස්ටාලින් කවදාවත් සිංහල හෝ දෙමල ජාතිකවාදයන්ට යටවුණ කෙනෙකු නෙමෙයි.

ජනතා විමුක්ති පෙරමුණෙන් ආරම්භ වූ නව වාමාංශික ධාරාව තුළ වෘත්තීය විප්ලවවාදී තපස් ජීවිතයට ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙනවා. නව වාම ධාරාවේ පක්ෂවල වෘත්තීය විප්ලවවාදීන්ට හෙවත් පූර්ණකාලිකයන්ට වැටුප් ගෙවන සම්ප්‍රදායක් නැති බවයි මගේ විශ්වාසය. 1983 වසරේ ජවිපෙ තහනම් කිරීමෙන් පසුව රහසිගත දේශපාලනය තුළ මා අවුරුදු පහක පමණ කාලයක් ජවිපෙ පූර්ණකාලිකයකු ලෙස වැඩ කළා. ඒ නීති විරෝධී තපස් ජීවිතය අතිශය දුෂ්කර එකක්. 1990 දශකයේ සිට මා තෝරාගත් මාර්ගය වුණේ රැකියාවක් කරමින් දේශපාලන කටයුතුවල යෙදීමයි. පවුල් ජීවිතයත් සමග මා තෝරාගත්තේ ආටෝපවලින් තොර සුවපහසු ජීවිතයක්. ඒ වෙනුවෙන් මා ගුරු වෘත්තියේ සිට වෙනත් වෘත්තීන්වලට මාරු වුණා. ව්‍යවසායකත්වයටත් අතතැබුවා. ඒ මගේ තෝරාගැනීමයි. වෘත්තීය විප්ලවවාදී ජීවිතය තෝරාගත් පූර්ණකාලීනව දේශපාලනයේ යෙදෙන නායකයන් විශාල පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂවල සිටිනවා. එය ඔවුන්ගේ තෝරාගැනීමයි. එයින් ඔවුන් තෘප්තිමත් වෙනවා නම්, තමන්ගේ ජීවිත සමග ඔවුන්ගේ ජීවිත සන්සන්දනය කර තමන් ගැන ඔද වඩන්නට කාටවත් අයිතියක් නැහැ.

අපි දැන් කෙහෙළිය රඹුක්වැල්ලගේ තෝරාගැනීම බලමු. ඔහු සුදුසුකම් ලත් හෝටල් වෘත්තිකයෙක්. ගාමිනී ෆොන්සේකා රඟපෑ, හොඳින් ආදායම් ඉපැයූ සක්විති සුවය චිත්‍රපටය නිෂ්පාදනය කිරීම ඔහුගේ ව්‍යාපාරික දිවියේ මංසලකුණක් ලෙස සැලකෙනවා. ලලිත් ඇතුලත්මුදලි නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් දේශපාලනය ආරම්භ කළ ඔහු පසුව එක්සත් ජාතික පක්ෂයට බැඳී 2000 වසරේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වෙනවා. 2001, 2004 මහ මැතිවරණවලදී ද එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වන ඔහු ඉන්පසු මහින්ද රාජපක්ෂ සමග එකතු වෙනවා. 2015 පරාජයෙන් පසු නැවත එජාප සමග එක්වන්නට ඔහු උත්සාහ කළ බව ද වාර්තා වුණා. ඔහුගේ මෑතකාලීන බලය හා ධනය දේශපාලනය හා ඒ ආශ්‍රිත ව්‍යාපාර සමග සම්බන්ධයි.

2012 වසරේදී, ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන්හි පෞද්ගලික චාරිකාවක් අතරතුර කිසියම් හේතුවක් මත කෙහෙළිය රඹුක්වැල්ල ඔහු නැවතී සිටි හෝටලයේ තුන්වන මහලින් බිමට වැටී කකුල් තුවාල වෙනවා. ධන කුවේරයකු වුණත්, ඔහු මේ සඳහා ප්‍රතිකාර ලබාගන්නේ මහජන මුදලින්. ඔහුට හෝටලයෙන් වන්දිත්, ඔහුගේ පෞද්ගලික රක්ෂණයෙන් ප්‍රතිලාභත් ලැබෙනවා. එහෙම තිබියදීත් ඔහු ප්‍රතිකාර සඳහා යයි කියමින් 2013දී ජනාධිපති අරමුදලෙන් රු. කෝටි දෙකක් ද ලබාගන්නවා. ඔහුගේ කැඩුණු අණ්ඩ ඔහු ආයතන කීපයකට විකුණනවා. ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක්ද? ජීවිතය කියන්නේ මේ අන්දමින් පවා මුදල් උපයා සැප විඳීමද? (එක කකුල තුන් තැනකට විකිණූ කෙහෙළිය රඹුක්වැල්ල)

ජෝසප් ස්ටාලින් නම් ගුරු සංගම් නායකයාට කාලකණ්ණියෙකු යයි, අසාර්ථක පුද්ගලයකු යයි අවමන් කරන සාර්ථක පුද්ගලයා වන කෙහෙළිය රඹුක්වැල්ලගේ පැටිගිරිය එහෙමයි. සැබෑ කාලකණ්ණින් වන්නේ සමාජයට අවාසනාව උරුම කරදී, පව්කාර ලෙස, සැප සම්පතින් පිරි, තෘෂ්ණාභරිත, අතෘප්තිමත් ජීවිත ගතකරන මෙවැනි මිනිසුන් තමයි. මෙවැනි දේශපාලුවන් ගැන නොදන්නා කෙනෙකු නැහැ. ඒත්, ප්‍රශ්නය එය නොවෙයි. සමාජයක් ලෙස අප අනුගමනය කරන්නේ කාවද? එක් කෙළවරක කෙහෙළිය රඹුක්වැල්ල වැනි වංචනික, එහෙත්, සමෘද්ධිමත් පුද්ගලයන් සිටිනවා. අනෙක් කෙළවරේ තපස් ජීවිතයක් ගතකිරීම හේතුවෙන් රඹුක්වැල්ල වැනි අයගෙන් කාලකණ්ණින් යයි පද අසාගන්නා ජෝසප් ස්ටාලින් සහෝදරයා වැනි අය ඉන්නවා. එය දුෂ්කරයි. තෝරාගැනීම පෞද්ගලිකයි. එහි හොඳ වගේම නරකත් තිබෙනවා. ඒත්, කෙහෙළිය රඹුක්වැල්ල වැනි වංචනිකයකු නොවී සාධාරණව මුදල් උපයාගෙන සුවපහසු ජීවිතයක් ගතකරන්නටත් ඔබට උත්සාහ කරන්නට පුළුවන්. වඩා වැදගත් වන්නේ පරිභෝජනය හා පාරිභෝජනවාදය අතර වෙනස තෝරාගෙන පාරිභෝජනවාදයට යට නොවී සිටීමයි.

Creative Content Consultants

2 thoughts on “කාලකණ්ණි ගැන වැඩිදුර සාකච්ඡා

  1. Sebea kaalakanniya motupaninna gihin andu kadaagena srilankawe minisunge mulal labaa gath ekaaya .
    Balangiyaama mun hemanennetn ape salli walinne !

  2. ලෝකය වෙනස් කළ ඇත්තෝ, ලෙහෙසි මඟ
    ගියවුන් නොවේ- දුක අනුභව කළෝ හුඟ
    තිබුණට වෘෂභ රජුන්ගෙ වාගේම ඇඟ
    ගරු ඇත්තන්ගෙ දැනීම නං වෙලා හිඟ

Leave a Reply to නිමල් දිසානායක Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: