ඉක්මණින්ම සල්ලි හොයන ක්‍රම හා මිනිසුන් වෙනස් කිරීමේ දේශපාලනය

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 13
මේ දිනවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් දහස් ගණනින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු වේ. අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන්ගෙන් බන්ධනාගාර පිරී ඉතිරී යාම නිසා සුළු වැරදි සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට ද ආණ්ඩුවට සිදු විය. මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පාතාල කල්ලි නායකයන් කිහිපදෙනෙකු පොලිසිය විසින් ඝාතනය කිරීම ද සිදු විය. එම සැකකරුවන් පොලිසියට පහර දී පළායාමට උත්සාහ කළ බව කියැවිණි.
කෙසේ වෙතත්, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ මහා පරිමාණ ජාවාරම්කරුවන් අත්අඩංගුවට පත්වීම සිදුවන්නේ ඉතා අඩුවෙන් බව නිරීක්ෂණය කළ හැකිය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය වෙළඳ මධ්‍යස්ථානයක් බවට අදහස් පළ වී තිබෙනමුත්, එවැනි ජාත්‍යන්තර ජාවාරම් හසුරුවන කිසිවෙකු අත්අඩංගුවට පත් වූ බවක් නොපෙනේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පවා අත්අඩංගුවට පත්වී තිබෙනමුත් පරීක්ෂණ මහා පරිමාණ ජාවාරම්කරුවන් දෙසට යොමු වී තිබේද යන්න තවමත් පැහැදිලි නැත.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකයට භාජනය වූ ඇතැම් දේශපාලකයන් හා ජනමාධ්‍ය සමග ආණ්ඩුව කෙළින්ම සම්බන්ධ ය. ඔවුන් අතර ද මේ දිනවල දැඩි නිහැඬියාවක් දක්නට ලැබේ.
මත්ද්‍රව්‍ය වැටලීම් හේතුවෙන් වෙළඳපොළේ හෙරොයින් මිළ තුන්ගුණයකින් වැඩි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පසුගියදා පැවසීය. එසේම, හෙරොයින් හිඟය හේතුවෙන් මත්ද්‍රව්‍ය ලෝලීන් කංසා පානයට ඇබ්බැහි වී තිබෙන බව ද ඔහු පැවසීය. මේ වනවිට මහා පරිමාණයෙන් කංසා ද අත්අඩංගුවට ගනිමින් තිබේ.
මිනිසුන් අන්තරායකර ඖෂධ මත්ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමට පෙළඹීමට එක් හේතුවක් වන්නේ ඒවා වෙළඳපොළේ පහසුවෙන් ලබාගත හැකි වීමයි. ඒවා මත්ද්‍රව්‍ය ලෙස අලෙවිකරන්නන් විසින් තම වෙළඳපොළ පුළුල් කරගැනීම සඳහා ඒවා ප්‍රවර්ධනය ද කරනු ලැබේ. ඇබ්බැහි වූවන් අලෙවිකරුවන් ලෙස යොදාගැනීම ද ප්‍රවර්ධනයට දායක වේ.
මත්ද්‍රව්‍ය අධික ලාභ සහිත ව්‍යාපාරයකි. එහි ඇති අවදානම ලාභය අධික වීමට එක් හේතුවකි. මත්ද්‍රව්‍ය ජාවාරම් දේශපාලනය හා රාජ්‍ය නිලධාරීන් සමග සම්බන්ධ වන්නේ ද මෙකී අවදානම හේතුවෙනි. මත්ද්‍රව්‍ය ජාවාරම්වලට මිනිසුන් පෙළඹෙන්නට එක් ප්‍රධාන හේතුවක් වන්නේ එය මේ අන්දමින් අධික ලාභ ලැබෙන ව්‍යාපාරයක් වීමයි.
මිනිසුන් ඉක්මණින් ධනවත් වන බව පෙනෙන ව්‍යාපාර කීපයක් ලංකාවේ තිබේ. ඉන් පළමුවැන්න දේශපාලනයයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වාම දේශපාලකයන් වේගයෙන් ධනවත් වන ආකාරය දැකිය හැකිය. දේශපාලනයට මිනිසුන් මෙතරම් උනන්දු වන්නට ද එය ප්‍රබල හේතුවකි. උදාහරණයක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වාහන බලපත්‍රය විකුණාගැනීමෙන් එකවර කෝටි ගණනක් සාක්කුවේ දමාගැනීමට මන්ත්‍රීවරුන් 225දෙනාටම අවස්ථාව ලැබේ. මේ අවස්ථාව එතරම් ම විශාල මට්ටමෙන් නොවුණත්, රාජ්‍ය විධායක නිලධාරීන් විශාල සංඛ්‍යාවකට ද හිමි වේ.
අවදානම් සහගත ලෙස වුව, ඉක්මණින් ධනවත් විය හැකි අනෙක් ආකාරය මත්ද්‍රව්‍ය ජාවාරමයි. මුදල් පොළියට දීම, රජයේ කොන්ත්‍රාත්, කැළෑ කැපීම පමණක් නොව මංකොල්ලකෑම පවා තිබෙන්නේ ඒවාට පිටුපසිනි.
කළු සල්ලි සුදු කරන ජාවාරම් අතර ප්‍රධාන ස්ථානයක් ආගමික ස්ථානවලට හිමි වේ. විශේෂයෙන්ම මැතදී බහුතර ආගමිකයන් අතරින් පැනනැගුණු ඉවැන්ජලික ස්වරූපයේ ආගමික ආයතන අසීමිත ධනයක් සංකේන්ද්‍රණය කරගන්නා ආකාරය දක්නට ලැබේ. මෙම ආගමික ස්ථානවලට ලැබෙන පුණ්‍යාධාර විගණනයන්ට ලක්වන්නේ නැත. එසේම, මෙවැනි ස්ථාන මගින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ ද ධනකාමී ජීවන විලාසයකි.
සමස්තයක් ලෙස මුළු සමාජයම ඉක්මණින් ධනවත් වීමේ ආසාවෙන් පෙළෙයි. ඒ වෙනුවෙන් තිබෙන පහසුම ක්‍රම දෙක දේශපාලනය හා මත්ද්‍රව්‍ය ජාවාරමයි.
මත්ද්‍රව්‍ය තිරසර අන්දමින් දුරලීමට පාලකයන්ට ඇත්තටම අවශ්‍ය නම්, කළ යුතුව තිබෙන එක් ප්‍රධාන කාර්යයක් වන්නේ ඉක්මණින් ධනවත් වීමේ මෙම සමාජ අපේක්ෂාව වෙනස් කිරීමයි. එය මිනිසුන්ගේ ජීවිත සම්පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමකි. එබැවින් එය පහසු කාර්යයක් නොවේ.
වර්තමානයේ පවතින ආගමික සංස්ථා පවා මිනිස් ජීවිතවල එවැනි පරිවර්තනයක් සිදුකිරීමේ උවමනාවකින් යුක්ත ඒවා බව පෙනෙන්නේ නැත. එබැවින් එය නිතැතින්ම දේශපාලනික කාර්යයක් බවට පත්වේ. මිනිසුන් වෙනස් කිරීමේ දේශපාලනය බල දේශපාලනයට වඩා සංකීර්ණය.
Nouthana lankawe paramparagath dhanawathun paradaa , aluth sallikarayan bovie atha . Owhu handapaanatath kuda ihalana jaathiyeya . Nawa danawathhu wedi denek upayanne avidhimath haa niethika nowana upparawetti harahaya . Mathdrwya nenma kappan , komis athlas weni upakrama thulini . Deasapalana rangamadale ranganno menma henchaiyanda ikman salli hoyanno wethi .
Mea hema vijjumbarayakma saamanyayo danithi . Owungen bahutharayada ae anuwa kshnika salli seviemata lokkangen paadam gena doshithayan bawada pathwethi .