In presidents' palace of Sri Lanka

අජිත් පැරකුම් ජයසිංහ

අද දින වඩාත්ම පුළුල් සන්ධානය නිර්මාණය වන්නේ ඩලස් සමගයි.

ඩලස් + සජිත් + පොහොට්ටුවෙන් කොටසක් + විමල් + උදය + වාසු + චම්පික + සුමන්තිරන්/ ශානක්‍යන් ප්‍රමුඛ TNA + ගජේන්ද්‍රන් ප්‍රමුඛ LTTE + හකීම් + බදුර්දීන් + මනෝ ගනේෂන් + කඳුරට දෙමළ ඇතැම් කොටස් + කාදිනල් + විවිධ ක්‍රිස්තියානි කණ්ඩායම් + සිරස + ගොවිගම නොවන කුල + අරගලය + චීනය

රනිල් එක්ක ප්‍රධාන වශයෙන්ම සන්ධානගත වෙන්නෙ රාජපක්ෂලා. ඔවුන්ගේ ආරක්ෂාව සහ නැවත දේශපාලනයට පිවිසීමේ අවස්ථාව ඔවුන් රනිල් දිනවීමෙන් අපේක්ෂා කරනවා.

පාර්ලිමේන්තුවෙන් නියෝජනය වෙන්නෙ රටේ පොදු මතයට වඩා වෙනස් රැඩිකල් අදහසක්ය කියලා මං විශ්වාස කරන්නෙ නැහැ. සමාජයේ රනිල් විරෝධය නිර්මාණය වෙන හැටි මං ඊයෙ 1 කමෙන්ටුවේ තියෙන ලිපියෙ ලිව්වා.

ඩලස් විරෝධයත් ඉතාම පටු කාරණා මත පදනම් වෙනවා. ඩලස්ගේ පෙනුම, පෞරුෂය, දෙමළ ජාතික සන්ධානයට දුන් පොරොන්දු ආදිය ගැන යන මඩ ප්‍රචාරයන් එවැනි ඒවායි.

මේ වන විට මන්ත්‍රීලා සියල්ල ඡන්දය දීමට තීරණය කරලා ඉවරයි. රහස් ඡන්දයක් නිසා හැමෝම කියල තියෙන විදියට වැඩ නොකරන්නටත් ඉඩ තියෙනවා.

ලාංකීය සමාජයේ සාමාන්‍ය ස්වභාවය අනුව වඩාත්ම ගැලපෙන ජනාධිපති නම් ඩලස්. මේ රටට ධනේශ්වර විදියට වෙනස් වෙන්න අවශ්‍ය නම් තෝරාගත යුත්තෙ රනිල්. වෙනස වේදනාකාරීයි. ඒක නොකර සිටීම ඊටත් වඩා වේදනාකාරී වෙන්න පුළුවන්.

රනිල් ආවොත්, දැනට කරගෙන යන කාර්යයන් අඛණ්ඩව කරගෙන යන්නට පුළුවන්. ඩලස් ආවත් ඒවා කරගෙන යන්නට පුළුවන්. ඉගෙනගන්නයි, අරගලයෙන්, විමල්ලගෙන් අරෙහෙ මෙහෙ අහන්නයි, අභ්‍යන්තර එකඟතා ඇති කරගන්නයි, ඔය අස්සෙ ආණ්ඩු පිහිටුවන්නටයි අරකට මේකට සෑහෙන කාලයක් ගතවෙයි.

ඉන්දියාව සහ චීනය අතර දැනට ආණ්ඩුව නිර්මාණය කරගෙන තියෙන සමබරතාවත් රනිල් ආවොත් එහෙමම යයි. ඩලස්ට ඒක අලුතෙන් නිර්මාණය කරගන්නට බැරිවෙන එකක් නැහැ. කල් යයි.

මං ඔය කාලය කියන එක ගැන කීප වතාවක් සඳහන් කළානෙ. කාලය ඇත්තටම වැදගත්. ඒ නිසා ඩලස් බලයට ආවොත් අඩු කාලයක් තුළ ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න වෙනවා. රනිල්ගේ ක්‍රමය වන හදිසි නීතිය වගේ දේවල් පාවිච්චි කරන්නට බැරිවෙන නිසාත්, ගොඩක් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නට සිදුවන නිසාත්, සාමාන්‍යයෙන් සිදුවෙනවා වගේ අධි මාත්‍රාවේ ප්‍රජාතන්ත්‍රවාදයට ගෙවන්නට සිදුවන මිල ගෙවන්නට වෙයි. රනිල් මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදයට ලොකු බරක් තියල නැහැ.

ඩලස් දිනුවොත්, ඊළඟ අවස්ථාව හැදෙන්නෙ සිංහල-බෞද්ධ-ගොවිගමවාදී දේශපාලනයකට වෙන්න පුළුවන්. ඩලස්ලා අසාර්ථක වුණොත්, ඒ රැල්ල සෙසු සියලු රැලි යටකරගෙන යන තරම් ප්‍රබල වෙන්න පුළුවන්.

රනිල් දිනුවොත්, රනිල්ගේ ලිබරල් යොමුවීම් නිසා සිංහල බෞද්ධ ජාතිවාදයේ ක්ලේම් එක ඩලස් – විමල් – ගම්මන්පිල වැනි බලවේග එක්ක දිගටම පවතින්න පුළුවන්.

කොහොම වුණත්, මොන තත්වය යටතේ වුණත් රාජපක්ෂලා ඇතුව හෝ නැතුව පොහොට්ටුව (ඩලස්ලා නෙමෙයි) නැවත නැගීසිටින එකත්, 2024දී වැඩි බලයක් ඔවුන්ට ගොඩනැගෙන්නට ඉඩතියෙන එකත් වළක්වන්න අමාරුයි.

මට බැනලා වැඩක් නැහැ. මේක වෙනස්කරන්නට තිබුණු අවස්ථාව අනුරට මිස්වුණා. අනුරට එහෙම වෙන්නෙ ඔහුගේ පක්ෂයේ බර නිසා. අනුර වගේම කැච් එක මිස්වෙන අනෙක් එක්කෙනා තමයි චම්පික. මේගොල්ලන් මං දකින්නෙ උපාය නොදන්නා නිසා අපායෙ වැටෙන කට්ටිය විදියට.

මේ ලිපියෙ අද මොකක් වෙයිද කියන ප්‍රශ්නයට පිළිතුරක් නැහැ. හෙට මොකක් වෙයිද කියන එක ගැන අනුමාන ටිකක් තියෙනවා. ඒවාත් එහෙම නොවෙන්න පුළුවන්. මොකද මං සාත්තරකාරයෙක් නෙමෙයිනෙ.

1 thought on “අද මොකක් වෙයිද? (2022 ජනාධිපතිවරණ දිනය)

  1. ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ නරකම කාල පරිච්ඡේදය පසුකරමින් සිටී. 1970 දී බණ්ඩාරනායක මැතිනිය බලයට පත්වූ විට ශ්‍රී ලංකාවේ නරක කාලය පටන් ගත් බව එකල සිටි ධනවාදීන්ගේ මතය විය. හාල් පොලු, මිරිස් පොලු සහ පාන් පෝලිම් ද බතල මඤ්ඤොක්කා ආහාර සම්ප්‍රදාය නිසා ද ඔවුන්ට ජීවිතය එපාවී තිබිණ. 1977 දී ජේ. ආර්. ජයවර්ධන බලයට පත්වූ පසු ලංකාවේ ආර්ථිකය බටහිරට ගැති සූරාකෑම මූලික කරගත් දේහයක් බවට පත්වන බවත් එබැවින් ශ්‍රී ලංකාවේ නරකම කාලය 1977 දී ලැබූ බවත් එකල සිටි ප්‍රගතිශීලීහු කල්පනා කළහ. ප්‍රේමදාස ආණ්ඩුවද ජේ. ආර්. ගේ ම යූඑන්පී දිගුවක් බැවින් ඒ ගැන කතා නොකරමු. 1994 දී චන්ද්‍රිකා බලයට පත්වූ විට ධනවාදී කඳවුරෙන් භාගයක්ද ප්‍රගතිශීලී කඳවුරෙන් භාගයක්ද ඇය රට කනු ඇතැයි කියා දුක්වූහ. චන්ද්‍රිකා ද ඒ අනාවැකියෙන් භාගයක් පමණ සත්‍ය කළාය. 2005 දී මහින්ද රාජපක්ෂ බලයට එන්නේ යුද්ධය පරදවනු පිණිසය. 2010 දී රාජපක්ෂලා නැවත බලයට එන්නේ රට කනු පිණිසය. 2015 දී රාජපක්ෂලා කා දමනු පිණිස මෛත්‍රී රනිල් ප්‍රමුඛ යහපාලන කට්ටිය බලයට ආහ. ඉන්පසු යහපාලන කට්ටිය එළවනු පිණිස ගෝඨාභය පැමිණියේය. මේ සෑම ආණ්ඩු වාරයකදීම මේ රට එය තිබුණු තැනින් තවත් පහළට තල්ලු වූ බව කිව යුතුව තිබේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති හැටියට වැඩ භාරගන්නා මේ මොහොතේදී මේ රට ලංකා ඉතිහාසයේ නරකම කාලය හරහා ගමන් කරමින් සිටී. අද මේ රටේ මිනිස්සුන්ට කන්න නැත. තෙල් නැත. විදුලිය නැත. බෙහෙත් නැත. සල්ලි නැත. ළඟ එන ඡන්දයකුත් නැත. අඩු ගණනේ නව ජනපති රනිල්ට දිව්රුම් දීමටවත් තැනක් තිබුණේ නැත. වෙනදා ජනාධිපති දිව්රුම් දෙන ජනාධිපති ලේකම් කාර්යාලය මේ මොහොතේදී අරගලකරුවන් අත තිබේ. ජනාධිපති මන්දිරය අරගලකරුවන් විසින් ඩැමේජ් කර තිබේ. අරලියගහ මන්දිරය හිල් පෙනේරයකි. එහි බිත්ති අස්සේ සඟවා තබන ලදැයි සැක කෙරෙන සල්ලි ගැනීම සඳහා අරගලකරුවෝ එම මන්දිරයේ බිත්ති හිල්කර ඇත්තාහ. රනිල්ගේ ගෙට ද ගිනි තබලාය. එම ගින්නෙන් ඉතිරි වූ සුන්බුන්වල අවසන් කොටස පෙරේදාත් පළමුදාත් ඉවත් කරන ලදි. හරිආකාරව දිව්රුම් දීමට තැනක් නැති නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපති වශයෙන් දිව්රුම් දෙන්නේ පාර්ලිමේන්තුවේදී ය. ඒ සඳහා කිසිම අලංකාර උත්සවයක් නැත. ඒ අතින් බලන විට ලංකා ඉතිහාසයේ නරකම කාලයේදී රාජ්‍ය නායකත්වයට පත් අවාසනාවන්තම දේශපාලනඥයා ඔහුය. හැබැයි මේ කුණුගොඩ පිරිසිදු කර රටේ බඩු මිල පහත දමා, තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් නැතිකර ගැනීමට තරම් රනිල් දක්ෂ වුණොත් 2025 ඡන්දයේදීත් ජනාධිපති වන්නේ ඔහු ය.

Leave a Reply to Lakshman Jayasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: