Ranil-PM-2022

අපි පරාදයි. ජයග්‍රාහකයන් ආණ්ඩුවක් පිහිටුවන්න

අජිත් පැරකුම් ජයසිංහ

රටේ සාමකාමී තත්වයක් තිබෙන බව පෙනේ. මා පෙනී සිටි පාර්ශ්වය පරාජය වී ඇති බව ද, මා ද පරාජය වී ඇති බව ද මම පිළිගනිමි. දේශපාලනයේදී ජය පරාජය දෙකම උරුමය. එහෙත්, අරගලය අත්නොහළ යුතුය.

මා කටයුතු කළේ ස්වාධීන ක්‍රියාකාරිකයකු ලෙස නිසා මෙතනින් එහාට රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව කුමක් කරනු ඇද්දැයි මා දන්නේ ද නැත. සොයා දැනගන්නට මට උවමනාවක් ද නැත. ඔවුන් තවදුරටත් බලය භාවිතා නොකළ යුතු යයි මා දැනට සිතන නිසා මම ඔවුන්ට තවදුරටත් පාලනය සඳහා සහාය දෙන්නේ ද නැත.

ජනාධිපති, අගමැති ඉල්ලා අස්වී මහින්ද යාපාට ව්‍යවස්ථානුකූලව ජනාධිපති ධුරය පැවරිය යුතුය. ව්‍යවස්ථානුකූලව අගමැතිවරයකු පත්කරගැනීම ඔහුගේ වැඩකි. ඔහු ජනාධිපති ධුරයට පත්විය යුතු බව අන්තරේ කැඳවුම්කරු හා අරගලයේ නායකයකු වන වසන්ත මුදලිගේ කල්තබා කී නිසා ඔහුට ඒ අනුව කටයුතු කිරීමට අරගලයේ සහාය ලබාදිය යුතුය.

අරගලය නියෝජනය කරන කැබිනට්ටුවක් ගැන අදහසක් මම මෙහි සටහන් කළෙමි. එහි සිටින්නේ අරගල භූමිය ලෙස සැලකිය හැකි ගෝල්ෆේස්හි සිටි අයට වඩා ඔවුන් මෙහෙයවූ අයයි. අරගලයේ ප්‍රභූ හිමිකරුවන් ඔවුන් බව මගේ අදහසයි. එහෙත්, අරගලය නියෝජනය කරන ඇතැම් පාර්ශ්ව එයට කැමති නැති බවක් පෙනේ. අරගලයේ පාර්ශ්ව ඍජුවම ආණ්ඩුවට පත්වීම අවශ්‍ය නම් දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා එය කරගත නොහැකිය. විප්ලවීය මාර්ගයක් අනුගමනය කළ යුතුය. ඒවා බලය අවශ්‍ය අය කරගත යුතුය. එසේම, තමන් නායකත්වය දුන් බලවේගයට ඔවුන් වගවිය යුතුය. මගේ යෝජනාව මෙසේය:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා යෝජනාවක්

========================

අරගලයේ පාර්ශ්වකරුවන් නැති සර්ව පාක්ෂික පාලනයකින් වැඩක් නැත. සර්ව පාක්ෂික යයි කීවාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමානුපාතිකව අදාළ නැත. ඒ නිසා පහත දැක්වෙන අය සිටින සර්ව පාක්ෂික ආණ්ඩුවක් යෝජනා කරමි.

* ජනාධිපති: මහින්ද යාපා (වෙන අයෙකු පත් කරගන්නට සහයෝගය නොලැබේ නම්) හෝ කරු ජයසූරිය (පිටින් අයෙකු ගෙන ඒමට එකඟ වේ නම් – මේ සඳහා ජාතික ලැයිස්තුවෙන් රනිල් වික්‍රමසිංහට ඉවත් වී අසුන පිරිනැමිය හැකිය)

* අගමැති: අනුර කුමාර දිසානායක

* මුදල් ඇමති: චම්පික රණවක

* ආරක්ෂක ඇමති: සරත් ෆොන්සේකා (අරගලකරුවන්ගේ සහාය ඇති බව අද දින පෙනිණි)

* අධ්‍යාපන ඇමති: පුබුදු ජයගොඩ (සුරේන් රාඝවන් ශ්‍රීලපොපෙ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වී ඉඩ ලබාදිය යුතුය)

* විදේශ ඇමති: හරිනි අමරසූරිය

* ජනමාධ්‍ය ඇමති: ශෙවාන් ඩැනියල් (හරින් ප්‍රනාන්දු සජබ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වී ඉඩ ලබාදිය යුතුය)

* විදුලිබල හා බලශක්ති ඇමති: ඩලස් අලහප්පෙරුම

සෞඛ්‍ය ඇමති: නලින්ද ජයතිස්ස (තිස්ස විතාරණ ශ්‍රීලපොපෙ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වී ඉඩදිය යුතුය)

* රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති: විජිත හේරත්

* අධිකරණ ඇමති: සාලිය පීරිස් (ජී.එල්. පීරිස් හෝ අලි සබ්‍රි ශ්‍රීලපොපෙ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වී ඉඩ ලබාදිය යුතුය)

* වැවිලි කර්මාන්ත ඇමති: ජීවන් තොන්ඩමන්

* ප්‍රවාහන ඇමති: එම්.ඒ. සුමන්තිරන්

* සංචාරක හා ගුවන් සේවා ඇමති: රාවුෆ් හකීම්

* කාන්තා හා ළමා කටයුතු ඇමති: හිරුනිකා ප්‍රේමචන්ද්‍ර (ඩයනා ගමගේ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වී ඉඩ ලබාදිය යුතුය)

* ආර්ථික සංවර්ධන ඇමති: හර්ෂ ද සිල්වා