නෝත්‍රා දාම දේවස්ථානය හා කුදා

පැරිසියේ ඓතිහාසික Notre Dame දේවස්ථානය ගිනිගෙන තිබේ. එමගින් එහි පියස්සට දැඩි හානි සිදු වී තිබෙන බවත්, එහි තැන්පත් කර තිබෙන ජේසුතුමන්ගේ හිස පළන්දන ලද බව කියන කටු ඔටුන්නට හානියක් සිදු වී නැති බවත් වාර්තා වේ.

වික්ටර් හියුගෝ ගේ The Hunchback of Notre Dame නවකතාව පාදක කරගෙන නිර්මාණය කරන ලද ටෙලි නිර්මාණය ශ්‍රී ලංකාවේ හඬකවා විකාශනය කරනු ලැබුවේ
නොත්‍රදාමයේ කුදා නමිනි. එහෙයින් මෙම දේවස්ථානය ලාංකිකයන්ට ආගන්තුක නැත.

ප්‍රංශ බසින් Notre Dame උච්චාරණය කරන්නේ නොට්‍ර ඩම් ලෙසයි. එහි අරුත ඉංග්‍රීසියෙන් Our Lady යන්නයි. සිංහලෙන් නම් ‘අප ස්වාමි දූ’ වේ. එයින් හැඳින්වෙන්නේ මරියතුමියයි.

ගොතික් ගෘහ නිර්මාණ ශෛලියට අයත් වසර 800කට වඩා පැරණි මෙම සුන්දර දේවස්ථානය වසරක මිලියන ගණනක් සංචාරකයන් නරඹන්නට යන කලාත්මක නිර්මාණයකි. එහි ඇතුළත අංශක 180ක පුළුල් දර්ශනයක් මෙතැනින් නැරඹිය හැකි ය. ඔබේ මවුසය සීරුමාරු කිරීමෙන් දේවස්ථානය ඇතුළත සිට නරඹන්නා සේ බැලිය හැකි ය.

15වන සියවස පසුබිම් වන නෝත්‍රාදාමයේ කුදා කතාවේ ක්වාසිමොඩෝ යනු කුදු, විකෘති සිරුරක් ඇත්තෙකි. ඔහු මෙම දේවස්ථානයේ සීනු නාදකරන්නා ය. ඔහු උපන් පසු ඔහුගේ මව ඔහු මෙම දේවස්ථානයෙහි තනි කර දමා යන අතර, ඔහු හදාවඩාගන්නේ දේවස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු වන ආච්ඩීකන් ෆ්‍රොලෝ විසිනි. ශාරීරික විකෘතිය නිසා ඔහු ජීවත් වන්නේ ජනයාගේ ඇසින් සැඟවී ය.

එස්මරෙල්ඩා දේවස්ථානය අසල චතුරස්‍රයේ රැඟුම් දක්වන අහිගුණ්ඨික නාටිකාංගනාවකි. ෆ්‍රොලෝ ද ඇය කෙරෙහි ආසාවෙන් පසුවෙයි. ඔහු ක්වාසිමොඩෝ මගින් ඇය පැහැරගැනීමට උත්සාහ කරනමුත්, එය අසාර්ථක වෙයි. ක්වාසිමොඩෝ වරදකරු වී කස පහර කා සිටියදී ඔහු කෙරෙහි සානුකම්පිතව ඔහුට දිය පොදක් දෙන්නේ එස්මරෙල්ඩා ය. මේ අතර ඇය කපිතාන් ෆෝබියස්ට පෙම් කරන බව දැනගන්නා ෆ්‍රොලෝ ඔහු මරා දමයි. වරද පැටවෙන්නේ එස්මරෙල්ඩා මත ය. ඇය මරණීය දණ්ඩනයට ලක් වේ. එස්මරෙල්ඩාට බැතිමත් සිතින් ආදරය කරන ක්වාසිමොඩෝ ඇය නෝත්‍රා දාම දේවස්ථානයේ සඟවා රැකවරණය සපයන්නට උත්සාහ කරයි. ඔහුගේ එඩිතර උත්සාහය පරාජය වී අවසානයේදී ඇය එල්ලා මරා දමනු ලැබේ. ක්වාසිමොඩෝ දේවස්ථාන කුළුණෙන් පහළට තල්ලු කර ෆ්‍රොලෝ මරා දමයි.

වික්ටර් හියුගෝගේ නෝත්‍රාදාමයේ කුදා නවකතාවේ නෝත්‍රා දාම දේවස්ථානය පිළිබඳවත්, එම වකවානුවේ පැරිසියේ ජන ජීවිතය හා සමාජය පිළිබඳවත් පුළුල් විස්තරයක් ඉදිරිපත් කෙරේ.

නෝත්‍රා දාම දේවස්ථානය විනාශ වූ පළමු අවස්ථාව මෙය නොවේ. ප්‍රංශ විප්ලවයේදී පවා මෙම දේවස්ථානයට දැඩි හානි සිදු කරන ලදී. එය සංරක්ෂණය කිරීමේ පුරෝගාමියකු වන්නේ නැපෝලියන් බොනපාට් ය.

Media and Social Entrepreneur