Daya T. Pasqual

21 වසරක් මතුගම මන්ත්‍රී දයා ටී. පස්කුවල්

චන්දන ගුණසිංහ

“මහත්තයා එනකම් පහුගිය දවස්වල අපේ සර් බලාගෙන හිටියනෙ.” මතුගම නෑබඩ පාරේ ඇති සුවිසල් ගෙදරට ගොඩවදිද්දී ඒ නිවසේ හිමිකරු හැර ජීවත්වන එකම මිනිස් ප්‍රාණියා නැත්නම් හිමිකරුගේ ආවතේවකරු පවසයි.

එය ඇත්තකි. බොහෝ දිනවල මා එනතුරු ඔහු මග බලාන සිටියා මෙන්ම සමහර දිනවල ඇදිරි වැටෙද්දී අසල්වැසියන්ගේ දුක සැප විමසා ඔහු එනතුරු වැල් කැඩුණු පුටුවක වාඩි වී මම ද බලාහුන්නෙමි.

Old house of Daya T. Pasqual
මතුගම පස්කුවල් මහගෙදර

අඳුර මැද්දෙන් මතුවන කෙසඟ මිනිසා විසල් නිවසේ සාලයේ මැද ඇති ඇඳ මත වාඩිවී රිදුම් පිරිමදිමින් මා හා දොඩමළු වෙයි. කෙලවරක් නැති කතා ය. විටෙක සිනාව උතුරා යයි. විටෙක ඇස් කඳුළින් පිරී යයි. කෙමෙන් කෙසඟ මිනිසා මා ඉදිරියේ යෝධයෙකු වෙයි. කතා බහ අවසන් වෙයි. රෑ බෝවෙන්නට ආසන්න ය. මා කිලෝ මීටර් 15ක් දුර ගෙවිය යුතු ය. වසර සියයක් දිවිගෙවන මිනිසාට සුභ රාත්‍රියක්….

ඔහු පුරා විසි එක් වසරක් මතුගම ආසනයේ මහජන නියෝජිතයා වූ දයා.ටී පැස්කුවල් ය.

Translations by Creative Content Consultants

අපි දෙදෙනාගේ මිතුදමට මුල පිරෙන්නේ එක්තරා පුවත්පතකට මා අකුරු කරන අවදියක චරිතාපදානයක් ලියන්නට නොතිත් ආසාවෙන් පෙළෙද්දී මගේ පාසැල් සගයා අනුප පැස්කුවල් තම ඥතියා මට හදුන්වා දුන් නිසාවෙනි. මුල් දිනයේ මගේ නම ගම විමසූ ශතකය ආසන්නයේ ජීවත්වූ ඔහු මා එතෙක් නොදැන සිටි ම⁣ගේ ඥාති පරපුරේ සම්බන්ධතා ගැන මට කියා දුන්නේ තියුණු මතකය අවදිකරමින්ය.

අවසන මගේ අවශ්‍යතාවය පැහැදිලි කිරීමෙන් පසු, “මං කෙනෙකුට පොරොන්දුවක් දීලයි තියෙන්නෙ මගේ ජීවිත කතාව ලියන්න. මම අවුරුදු සියය වෙනකන් ජීවත් වුනොත් මගේ සිය වෙනි උපන් දිනයට ඒ පොත එළි දක්වන වගක් මට කිව්වා. මහත්තයාටත් මම අවසර දුන්නොත් මං අර මහත්තයා ට කරන අසාධාරණයක් නේද?” කියල මගෙන් විමසුව . ( මගේ මතකයේ හැටියට ඒ සුහද ගම්ලත් මහතායි)

චරිතාපදානය ලීවීම පැත්තකින් තියල බොහෝ හැන්දෑවල අපි දෙන්න දොඩමළු වුනා. කහට කෝප්පයක් තොල ගාමින් ශතකයක මතකය අවදිකිරීම එතුමාට මහත් සතුටක් වූවා සේම සැන්දෑවක කිහිප දෙනෙකු සමග මීවිතක් තොලගානා තරමටම මාද අසීමිත මිහිරක්, ආස්වාදයක් වින්දෙමි.

කුස්සියේ ඇති සරල භාජන කිහිපයකුත් සාලයේ මැද අතුරා ඇති ඇඳත්, වැල් කැඩුණු පුටු කිහිපයත්, විශ්‍රමික වැටුපත්, විසිඑක් වසක පාර්ලිමේන්තු ජීවිතය සහ ඇමති තනතුර දැරු මිනිසෙකු හිමිකරගත් වත්කම් විය.

(විශ්‍රාම වැටුප වියහියදම් කළේ පළාතේ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කිරිම වෙනුවෙනි.)

(1956 වසරේ දයා ටී ඡන්ද 25,797ගනිද්දී ප්‍රතිවාදියා වූ ගුනරත්නට ලබා ගත හැකිවූයේ ඡන්ද 6,184 කි. 60 මාර්තු මැතිවරණයේදි මතුගම සිව්කොන් සටනින් රත්නපාල, තිරිමාන්න, එඩ්මන්ඩ් ජයනෙත්ති සහ විතානගේ පරදා දයාටී ඡන්ද 7,099ක් ලබා මතුගම ආසනය ජයගත් අතර ජූලි මැතිවරණයේදි ඡන්ද 14,790 ක් ලබා නැවතත් ජය ගත්තේ ය. 1965 දී ඡන්ද 18,122 ක්ද 70 මැතිවරණයේදී ඡන්ද 24,780 ක් ද ලබා ජය තහවුරුැ කරගත්ත ද 1977ජේ ආර් ජයවර්ධනගේ රැල්ලට රටේම ශ්‍රීලනිප සෝදාපාළුවට ලක්වද්දී මතුගම ආසනය වැඩි ඡන්ද 15,000කින් දයාටී පරදා රෙජිනෝල්ඩ් විජේගුණරත්න ජය ලැබී ය.

1977 දී දයාටීලා පරදා ජේ ආර් බලය ගත්තේ රට වෙනස් කරන්නටය, සැබැවින්ම රට වෙනස් විය. ගරු මහජන නියෝජිත ධූරය වැටුප් ලබන වෘත්තීය ක් බවට පත්විය. රටේ ඉහළම ව්‍යාපාරය දේශපාලනය බවට පත්විය. මහජන නියෝජිතයෝ කොන්ත්‍රාත් කරුවෝ වූ හ. මනාප ඡන්ද සටන දිනාගන්නට අසීමිත කළු සල්ලි අවශ්‍ය විය.

තම නිල කාලය තුල රජයේ වාහනයක් පාවිච්චි නොකළ , කිසිදු විදේශ සංචාරයක් නොගිය, කොන්ත්‍රාත් කරුවන්, බාර් කාරයන්, සමාජ විරෝධීන් අනුගාමිකයන් කර නොගත්, මතුගමට ආනන්දයක් වූ ආනන්ද ශාස්ත්‍රාලය නම් අධ්‍යාපන නිකේතනය ගොඩනගන්නට වෙහෙසුණු දයා ටී. පැස්කුවල් නම් අව්‍යජ මිනිසා මතුගම ප්‍රාදේශීය සභාවට තරග කළ මෙහොතේ එහිදී ද පරාජය කර දමන්නට තරම් මතුගම මිනිස්සු කෲර වූ හ.