100% කලාකරුවෙක්: ජයලත් මනෝරත්න

ජයලත් මනෝරත්න ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ සඳ අමාවකයි ටෙලි නාට්‍යය වෙනුවෙන් සුමති සම්මානය දිනාගත් පසු ඔහුගෙන් අදහස් විමසූ අවස්ථාවේ කී කතාවක් ඒ.ඩී. රන්ජිත් කුමාර විසින් සටහන් කර ඇත්තේ මෙසේ ය:

“මගේ තාත්තා ලොරි ඩ්‍රයිවර් කෙනෙක්. නීතිගරුක රියදුරෙක්. මේ ටෙලිනාට්‍යයේ බස් රියදුරාගේ චරිතය රඟපෑමට තාත්තාගේ ඒ ආභාසය බලපාන්නට ඇති.”

ජයලත් මනෝරත්න 1948 ජුලි 12දා උපන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොහොක කෝරළයේ දෙහිපේගම නම් පිටිසර ගමක ය. පියා කෙසෙල්ගස්පෙ මනතුංග බණ්ඩාර ය. වෘත්තියෙන් රියදුරකු වූ ඔහු සුදු ජාතිකයකුට අයත් රට්ලන්ඩ් නම් වත්තක ලොරි රියදුරකු ලෙස සේවය කළේ ය. ඔහුගේ මව අගලකොටුව හේරත් මුදියන්සේලාගේ ලීලා කුමාරි ය. ඇය ගෙලිඔය ගුරුදෙණිය වලව් පෙළපතකින් පැවත ආ ගෙවිලියකි.

මනතුංග ජයලත් මනෝරත්න පවුලේ බාලයා ය. ඔහුට වැඩිමල් සෙනෙවිරත්න, විජේරත්න යන අයියලාත්, ඉන්ද්‍රා කුමාරි සහ මල්ලිකා කුමාරි යන අක්කලා දෙදෙනාත් සිටිති.

දෙහිපේ පාසලින් අධ්‍යාපනය ලද මනෝරත්න පසුව පහේ ශිෂ්‍යත්වය සමත්ව පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වූයේ ය. ඔහු නාට්‍ය කලාවට අත්පොත් තබන්නේ එම පාසලෙනි. ඔහු රඟපෑ, සුනිල් ශ්‍රියානන්ද ගුරුතුමා විසින් නිෂ්පාදනය කරන ලද ‘අස්ප ගුඩුං’ නාට්‍යය 1966 පාසල් නාට්‍ය හා එහි රඟපෑ ජයලත් මනෝරත්න සම්මානයට පාත්‍ර විය.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේදී මහැදුරු සරච්චන්ද්‍රයන් ඇසුරට වන් ඔහු ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයේ උද්දාල බමුණාගේ චරිතයෙන් ආරම්භ කර සරච්චන්ද්‍ර නාට්‍ය රැසක චරිත නිරූපණය කළේ ය. ඔහු විවාහ වූයේ සිංහබාහු නාට්‍යයේ සුප්පාදේවි චරිතය රඟපෑ මාලිනී රණසිංහගේ නැගණිය වූ තමරා ජයන්ති සිල්වා ඔහුට හමුවන්නේ ඇය පේමතෝ ජායතී සෝකෝ නාට්‍යයේ ස්වර්ණතිලකාගේ චරිතය රඟපෑමට පැමිණි විට ය.

විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසු නුවරඑළියේ ලිපිකරු රැකියාවක නියුතුව සිටි මනෝරත්නව නිශ්ශංක දිද්දෙනිය විසින් ඔහු හෙන්රි ජයසේනයන්ට හඳුන්වා දෙන ලද අතර ‘මකරා’ නාට්‍යය තුළින් ඔහු කොළඹ කේන්ද්‍රීය වේදිකාවට පිවිසි බව ද වාර්තා වේ. ස්ථානමාරුවක් ලබාගෙන කොළඹ පැමිණි ඔහු වසර 16කට පසු රැකියාවෙන් සමුගෙන පූර්ණකාලීනව කලාවට ඇපකැප වූයේ ය.

හඳයා චිත්‍රපටයේ ‘සූප්පුවාගේ’ චරිතය රඟපෑ කිත්සිරිමෙවන් ජයසේන විසින් ටයිටසේ තොටවත්තයන්ට හඳුන්වා දෙනු ලැබ මනෝරත්න ‘හඳයා’ චිත්‍රපටයේ නිවේදකයකුගේ චරිතය රඟපාමින් ඔහු සිනමාවට ද පිවිසියේ ය. පසු කලෙක ඔහු සිනමා හා රූපවාහිනී චරිත රැසක් ද රඟපෑවේ ය.

වේදිකාව රංගනයෙන් දිග්විජය කළ මනෝරත්න මහගිරිදඹ, තල මල පිපිලා, අන්දරේලා, කනේරු මල්, ලෝකය තනියායක් වී යන ස්වතන්ත්‍ර නාට්‍ය ලියා නිෂ්පාදනය කළේ ය.

‘සිංහල නාට්‍යයේ ප්‍රාසාංගික කලාත්මක වර්ධනය’ පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථයක් කරමින් ඔහු ආචාර්ය උපාධිය ද ලබාගත්තේ ය.

මනෝරත්න නිර්මාණාත්මක ලේඛකයකු ලෙස කාව්‍ය, නවකතා සහ ළමා ග්‍රන්ථ ද රචනා කර තිබේ.

බණ්ඩාර ඇහැලියගොඩ විසින් සංස්කරණය කරන ලදුව ‘මනෝ රංග තීර්ථ යාත්‍රිකයා’ නමින් ඔහු පිළිබඳ චරිතාපදානයක් ලියැවී තිබේ.

ජයලත් මනෝරත්න සියයට සියයක් ම තම කලාව ජීවත් කළ, එහි ජීවත් වූ සැබෑ කලාකරුවෙකි. කොයි තරම් ලොකු කලා ලෝකයක් තිබුණ ද එවැනි කලාකරුවෝ විරල ය. මනෝරත්න තබා යන හිස් තැන පුරවන්නට බැරි එකකි. ඔබට සුබ ගමන්!