estate worker eating rottee

වතු කම්කරු ජනතාව හා ඡන්ද අයිතිය

ටී.කේ. මහින්ද

වතුකරයේ ජනතාව අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ලබා දෙන්නාවූ දායකත්වය ඉතා වැදගත් වේ.ඔවුන් අපේ රටට පැමිණ මේ වසරේ සැප්තැම්බර් මාසයට හරියටම වසර දෙසීයකි.

ඔවුනගේ ආගමනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විවිධත්වය තුළ සංස්කෘතියේ වෙනමම හැඩතල නිර්මාණය වූයේය. එහෙත්, එදා සිට මේ දක්වා සීමාමායිම් ජයගෙන ජිවිත ජය ගෙන ඇත්තේ ඉතා සුළු පිරිසක් පමණි. බහුතර පිරිසක් තවමත් වතුකරයේ පරම්පරා ගණනාවක් තුළ රටේ ආර්ථිකයට ජීවය ලබා දෙන්නේ සීමිත ක්ෂේත්‍ර ගණනාවක් තුළය. කොටින්ම කියතොත් තේ වතු ආශ්‍රිතවමය. ඔවුන් ලයින් කාමරයක ජිවතය ගෙනයමින් ඇත්තේ ඉතා සිමිත පහසුකම් තුළය. ඇතැම් ස්ථානවල නිවාස ගණනාවකටම ඇත්තේ එක් වැසිකිළියකි. ගවේශණාත්මකව මොවුන්ගේ ගැටලු අධ්‍යයනය කළහොත් මානවයෙකුට ලැබිය යුතු මූලික පහසුකම්වත් ඇතැමෙකු නොලබන බව පෙනී යනු ඇත.

ඡන්දය යනු මානවයාගේ මූලික මිනිස් අයිතිවාසි කමකි. ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය තුළ ඔවුන්ට නියෝජනය ලබාගැනීමට ද, ඔවුන්ගේ ජීවන තත්වය උසස් කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිණිස උද්දේශනය කිරීමට ද ඡන්ද අයිතිය භාවිතා කළ හැකිය. එහෙත් එය ද ඇතැමුන්ට කඩවී ඇත්තේය.

ප්‍රතිභා මිඩියා නෙට්වර්ක් ආයතනය බදුල්ල, පස්සර ප්‍රදේශයේ චාරිකාවක යෙදෙමින් සිදුකළ අධ්‍යයනයෙන් පෙනීගියේ සැලකිය යුතු පිරිසකගේ ඡන්ද අයිතිය අහිමිව තිබුණේ නොදැනුවත්කම හේතුවෙන් බවය. නැතහොත් ආර්ථික පීඩාවන් හමුවේ දෛනික ජිවිතය ගැටගසා ගන්නවා විනා තම මානව අයිතිය ගැන සිතන්නටත් ඔවුනට කාලයක් නොමැතිකම නිසාය.

බොහෝ දෙනෙකු ඡන්ද නාම ලේඛනයේ ලියාපදිංචි නොවීමට හේතු ගණනාවක් බලපා ඇතැයි ස්වේච්ඡා සංවිධාන ක්‍රියාකාරිනියක වන එන්.නගුලෙෂ්වරි පැවසුවාය. “ලියාපදිංචි නොවූ පවුල් 100ක පමණ සාමාජිකයන් අනු පවුල් ලෙස එකම නිවසේ ජීවත් වුණා. මේ නිසා ඔවුන් ගැටලු ගණනාවකට මුහුණ දුන්නා. මේ ගැටලුවට විසදුමක් සොයන්නට අප ප්‍රාදේශීය ලේකම්තුමියත් එක්ක සාකච්ඡා කළා. එක ගෙදරක පවුල් දෙකක් ජිවත් වුවත්, ඔවුන් වෙන් වෙන් වශයෙන් ලියාපදිංචි කරන්නට මෙහිදී අප කටයුතු කළා. මේ තුළින් සෑම පවුලකට යම් යම් වරප්‍රසාද ලබා ගන්නට හැකියාව ලැබුණා. බඩු මල්ල, සමෘද්ධි සහනාධාරය, කිරිපිටි පැකට් වගේ වරප්‍රසාද මේ තුළින් ඔවුනට ලබා ගන්න හැකියාව ලැබුණා. ඇතැම් දරුවන් පාසල් යවන්නට පවා නොහැකි වූණේ උප්පැන්නය නැති නිසයි.”

පස්සර ආර්.එම්.ඉන්ද්‍රානන්දා පැවසූ පරිදි “ඇතැම් තැන්වල ලියාපදිංචි වෙන්න තැනක් නැහැ. මේ අය දැනුවත්වීම ඉතා අඩුයි. ග්‍රාම නිලධාරි කොලේ පුරවාගත්ත. ඉගෙන ගත්ත අයත් හිටියා. නමුත් ඔවුන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ ගෙවල්වල. ඡන්ද ගැන වතුකරයේ ජනතාව දක්වන උනන්දුව අඩුයි. 2018 වර්ෂයේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා. උප්පැන්න, හැඳුනුම්පත් හදා දෙන්න මේ වැඩ සටහන තුළින් අවස්ථාව ලබා ගත්තා. එවගේම පාසල්වලට නොගිය දරුවන් කිහිප දෙනෙකු පාසල් යවන්න හැකියාව ලැබුණා. වතුකරයේ ජනතාවට දැනුවත්කමක් නොමැතිකම නිසායි මෙවැනි ගැටලුවලට මුහුණ දී තිබෙන්නේ. ආර්ථික ප්‍රශ්නත් පැවතීම නිසා මේ ගැන දක්වන උනන්දුව අඩුයි කියලයි මා හිතන්නේ. මේ ගම්මානයේ  20% ක් ඉන්නේ වතුකරයේ ජනතාවයි. පවුල් වශයෙන් ගතහොත්  පවුල් 90 ක් ඉන්නවා. වත්තේ වැඩ කරන අය මුහුණ දෙන තවත් ප්‍රශ්නයක් තමයි හැම නිලධාරියෙකුම වැඩ කරන්නේ සිංහල භාෂාවෙන්. එයත් අප හඳුනාගත් ප්‍රශ්නයක්. මේ ගැටලුවලට හොඳම විසඳුම තමයි දැනුවත් කිරිම. ඇතැම් අය භාෂා දෙකම දන්නවා. මාධ්‍ය හරහා මේ පණිවිඩ යැවිය යුතුයි. ඡන්ද ඩැහැ ගන්න දක්වන උනන්දුව ඡන්ද අයිතිය ලබා දෙන්න නැහැ. මේ සදහා ස්වේච්ඡා සංවිධාන ඉදිරිපත් විය යුතුය්.”

කෝකිලාතැන්න කාන්තා සමිතියේ සඳමාලි දිසානායක මෙසේ පැවසුවාය: “ලක්ෂ 14ක් කඳුරට දෙමළ ජනතාව ඉන්නවා. ඔවුන් තුළ ආකල්ප වෙනසක් ඇති විය යුතුයි. එය ඉතාම වැදගත්. මේ වැඩ සටහන තුළ එවැනි කුසලතා දියුණු වුණා. ඔවුන් දක්වන ප්‍රතිචාර වෙනස් වෙලා.ඒත් වයස 50 – 70 වගේ වයස් කාණ්ඩවල ඇතැම් අය හැදුනුම්පතක් ගන්නවත් උනන්දුවක් නැහැ. හුදකලාවයි ජිවත්වෙන්නේ. අඩුම ගණනේ බැංකුවට එන්න පවා උනන්දුවක් දක්වන්නේ නැහැ. ඊට හේතුව ඔහුන් තුළ පවතින ආකල්ප.”

ප්‍රවාහන අපහසුතා ද මෙම තත්වයට බලපාන බව ගනේෂන් මහාදේව පැවසීය. “ප්‍රවාහන අපහසුතා නිසා ඇතැම් විට නිලධාරින් කාර්යාලවලට යන්නෙ නැහැ. කොතරම් වැඩසටහන් කළත් දුෂ්කර පළාත්වල අය එන්නේ නැහැ. ඒ නිසා දුෂ්කර ප්‍රදේශවලට අප යායුතුයි. ජනතා  අවශ්‍යතාවන් සොයා බලන්නට නිලධාරින්  ගමට යායුතුයි. කිලෝමිටර් 7 – 8 පයින් යන්න වෙනවා. මේවා නිලධාරිනුත් මුහුණ දෙන ගැටලුයි. හැබැයි නිලධාරින් මානුෂික විය යුතුයි.

“ඇත්තෙන්ම ඡන්දය ගැන වතුකරයේ ජනතාව ලොකුවට හිතන්නෙ නැහැ. කාන්තාවන් විශේෂයි. ගෘහ මූලිකයා විතරක් ඡන්දය දාන භාවිතයක් පවා තිබුණා. ඡන්ද අයිතිය කොතරම් වටිනාවාද කියන එක ගැන අවබෝධයක් නැහැ. කාන්තාවන් මෙන්ම පිරිමින්ටත් එය අදාළයි. සුදුසුකම් ඇති පුද්ගලයෙකුට ඡන්දය දෙන්න ඕනැ කියන සිතුවිල්ල වතුකරයේ ජනතාව ලබා ගත යුතුයි.”