Sunil Madhawa Premathilaka

අජිත් පැරකුම් ජයසිංහ

මට කිසි දිනෙක සුනිල් මාධව හමුවී නැත. මා ඔහුගේ ලේඛන කියෙව්වේ ද මහත් අනුරාගයකින් නොවේ. අටවෙනි පිටුව දිවයින පුවත්පතේ පළවන 1987 සමයේදී මම ජවිපෙ පූර්ණකාලිකයකු ලෙස දුෂ්කර දිස්ත්‍රික්කයක සේවය කළෙමි. එසමයේ මම පුස්තකාලයේ පුවත්පත් පිටු අතර දීර්ඝ කාලයක් ගත කළෙමි. එයට හේතුව වූයේ රෑ නවාතැන් ගත් තැනින් අඩ අඳුරේම පිටවන ශිෂ්‍ය අංශයේ ක්‍රියාකාරිකයකු වන මට පාසල් ඇරෙනතෙක් කරන්නට වෙනත් දෙයක් නොතිබීමයි. අටවෙනි පිටුවේ තානය මගේ වෘත්තීය විප්ලවවාදී ජීවිතයේ වෙහෙස සමනය කරගැනීමට ඉවහල් විය. තහනම් දේශපාලන පක්ෂයක සංවිධායකයකු ලෙස, නීති විරෝධී හා ක්‍රම විරෝධී දේශපාලනයක යෙදීම ඒවා ගැන ලිවීමට, වෙන රටවල ලියවුණු දේ පරිවර්තනය කිරීමට හා ඒවා වර්ණනා කිරීමට වඩා බොහෝසෙයින් වෙනස්ය. නාගරිකව ජීවත් වූ ක්‍රියාකාරිකයකුට රෑට ඇහැ පියාගන්නට වැතිරිය හැකි තැනක් සොයාගැනීම පවා සිතාගත නොහැකි තරම් ගැටලු විය.

එකල මා එක්තරා කුල පීඩිත ගමක දුප්පත් ශිෂ්‍යයකුගේ නිවසක රැය ගෙවීමට පුරුදු වී සිටියෙමි. එම සිසුවාගේ මව සිතා සිටියේ මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුය කියාය. ඇය මට රෑට බත්පතක් පිරිනැමූ අතර එය මගේ එකම දෛනික ආහාර වේල විය. මා පක්ෂයේ බව දැන සිටියා නම්, ඒ බත්පත ලැබෙන්නේ නැත. මේ සිසුවා සත්දින අධ්‍යාපන කඳවුරක් වෙත රැගෙන යාමට මට සිදුවූ අතර ඉන්පසු සියල්ල හෙළිදරව් විය. ආපසු මට එම නිවසට යාමට අවස්ථාව නොලැබිණි. එම සිසුවාගේ සහෝදරයා මට අහම්බෙන් හමුවී තර්ජනය කළේ මා ආපසු ඒ පැත්ත පළාතේ හෝ ආවොත් මා පොලිසියට අල්ලාදෙන බව කියාය. පසුව මෙම තත්වය වෙනස් වී එම කුල පීඩිත ගම ජවිපෙට හොඳ මූලකඳවුරක් වූ බව මම අසා ඇත්තෙමි. එහෙත්, ඒ වකවානුවේ මා එහි ගොස් නැත.

එම දිස්ත්‍රික්කයෙන් මාරුවී වෙනත් දිස්ත්‍රික්කයක වැඩකරන සමයේ මට අටවෙනි පිටුවේ මැද කොටු කර දක්වා තිබුණු කෙටි කවියක මහත් සුපුරුදු බවක් දැනිණි. මම එය සිහිපත් කළෙමි. එය මා පරිවර්තනය කළ කවියකි. එය එකල 11 ශ්‍රේණිය වැනි පන්තියක ඉංග්‍රීසි පෙළපොතක තිබුණු කවියකි. මා එය පරිවර්තනය කළ කොළ කැබැල්ල ඉහත කී සිසුවාගේ නිවසේ දමා පැමිණියෙමි. ඒ සිසුවා එය ඔහුගේ නමින් අටවෙනි පිටුවට යවා තිබුණු අතර එය මුල්තැනක් දී පළකර තිබිණි. ඒ මා අටවෙනි පිටුවට ලියූ එකම අවස්ථාවයි. මා සමග ජීවිතයේ කෙටි කලක් බෙදාගත් ඒ ශිෂ්‍ය සහෝදරයා ඒ කාලයේ මියගිය බව මම අසා ඇත්තෙමි.

පසු කලෙක මා පදවියේ ගුරු වෘත්තියේ යෙදී සිටින අතර හිරු හා යුක්තිය යන පුවත්පත් දෙකටම විවිධ දේ ලියුවෙමි. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ පුවත්පත් දෙක මත දෙකක යමින් සිටි අතර මා සිටියේ මැද තැනකය. අවස්ථා කීපයක් යුක්තිය පුවත්පතේ කාර්යාලයට ගොස් තිබුණුමුත්, කිසිදු දිනෙක මම හිරු පුවත්පත් කාර්යාලයට ගිය බවක් මතක නැත. හිරු පුවත්පත ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය මූලික කරගත් දේශපාලනික ප්‍රකාශනයක් වූ සමයේ මට රෝහිත භාෂණ හමුවූ අතර අප අතර ඇතිවූ සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස මම හිරු කණ්ඩායමට එක්වුණෙමි.

මට කිසිදිනෙක සුනිල් මාධව හමුවී නැත. මට ඔහු පිළිබඳ යම් උනන්දුවක් තිබිණි නම්, භාෂණ වැනි ඔහු සමග වැඩ කළ අය ඔහු පිළිබඳ කළ විස්තරත් සමග මට ඔහු පිළිබඳ ඇතිවුණේ හිස් හැඟීමකි. මේ මොහොත දක්වාම පවතින්නේ එයයි. මම ඔහු මාධ්‍යවේදියකු ලෙස පිළිගන්නේ නැත. ඔහු ලේඛකයෙකි. විශිෂ්ටත්වයට පත්වීමේ විභවයක් තිබුණු, එහෙත්, ඒ සඳහා අවශ්‍ය අවම වැඩ විනය නොතිබීම නිසා නාස්ති වී ගිය මිනිස් සම්පතකි.

ඔහු ප්‍රවෘත්ති මාධ්‍ය සම්බන්ධයෙන් පරිචයක් තිබූ අයෙකු නොවේ. ඔහු පුවත්පත් කර්තෘවරයකු වූයේ ඔහුට තිබුණු සංකේතීය වටිනාකම නිසාය. ඔහු මාධ්‍ය කළමනාකරුවකුවත් වූයේ නැත. ඒ සියල්ල නාමිකය. විකල්ප පුවත්පත් කලාව යනු ස්වේච්ඡාවෙන් නොමිලේ ලියන මිනිසුන්ගෙන් ලැබෙන, මූලික වශයෙන් මතවාද වන, තොරතුරු අඩු ලිපි ටිකක් එකතු කර පළකරන අතර මුලපිටුවට ප්‍රවෘත්ති නමින් ප්‍රබන්ධ ටිකක් ඇතුළත් කරන ව්‍යාජත්වයක් බවට පත්වූයේ සුනිල් මාධවගේ නාමික මෙහෙයවීමෙනි. දේශපාලනික ප්‍රොපගැන්ඩා සඳහා එහි වටිනාකමක් තිබේ. එවැනි ප්‍රොපගැන්ඩාවන්හි නැති විකල්ප පුවත්පත් එයින් මිදීමට යම් උත්සාහයක් දරමින් තිබේ. එහෙත්, මූලික වශයෙන් වෘත්තීය ජනමාධ්‍යකරුවන් සේවයේ යොදවන්නට ප්‍රාග්ධන ශක්තිය නැතිවීම හා රාජ්‍ය නොවන සංවිධානයකින් ආධාර කළත්, වාමාංශික ස්වරූපයකින් පෙනීසිටිමින් නොමිලේම සේවය ලබාගැනීමට ඇති පෙරේතකම නිසා විකල්ප පුවත්පත්වලට කවදාවත් ඉහළ මට්ටමේ පුවත්පත් කලා භාවිතාවකට අවස්ථාව ලැබී නැත.

මේ ඊනියා විකල්ප පුවත්පත් කලාවේ පියා සුනිල් මාධවයි. එහෙත්, ඔහු ඒ ගැන හාංකවිසියක් දන්නේ නැත. ඔහු එම පුවත්පත් කලාවේ පියා වූයේ ද නමට පමණි. මත්පැන් ලෝලියකු වූ ඔහු කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ ඔහුගේ වැටුප ලබාගත්තේය. ඒ වෙනුවෙන් පත්තර අයිතිකාරයාගේ ලියුමක් රැගෙන පත්තර ලෑල්ලකට හෝ ගොස් මුදල් ඉල්ලාගන්නට ඔහු පසුබට වූයේ නැත.

හිරු පුවත්පත යනු එවකට ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණ නොසිටි ජනතා විමුක්ති පෙරමුණ විසින් ගොඩනඟන ලද බහුජන අංශයකි. එහි සුනිල්, විනී වැනි ජවිපෙට හිතවත් කලාකරුවෝ මෙන්ම විමල්, භාෂණ වැනි ජවිපෙ ක්‍රියාකාරිකයෝ ද සිටියහ. පුවත්පතට අවශ්‍ය සන්නාමය නිර්මාණය කිරීමට මුල් පිරිස වැදගත් වූ අතර, ඇත්ත වශයෙන්ම පුවත්පත පවත්වාගෙන ගියේ ජවිපෙ ක්‍රියාකාරිකයන් විසින් පක්ෂයේ ශක්තියෙන් පක්ෂය වෙනුවෙනි. හිරු කර්තෘ මණ්ඩලය ජවිපෙ මතයෙන් ඉවත්වී දෙමළ ඊලාම් මතවාදයට අනුගත වීම හිරු පුවත්පත සම්බන්ධ ඉතිහාසයේ වැදගත්ම දේශපාලනික සංසිද්ධියයි. ඒ වන විට සුනිල් මාධව හිරු පුවත්පතේ වැදගත් භූමිකාවක් ඉටුකළේ නැත. හිරු පුවත්පතට පැවති වෙළඳපොළ අහිමිව ගොස් හිරු කණ්ඩායම නම් දේශපාලනික කණ්ඩායමක් නිර්මාණය වූ අතර රෝහිත භාෂණ එහි අසහාය නායකයා බවට පත්වූයේය.

ඉන්පසු කාලයේදී සුනිල් මාධව යනු දේශපාලනික වශයෙන් අතරමං වී සිටි අයෙකි. ජවිපෙ අනුව යමින් මහින්ද රාජපක්ෂට එකතු වූ ඔහු කලක් සිළුමිණේ නැවත සේවය කළ බව මට මතකය. ඒ වන විට සුනිල් මාධවගෙන් ජවිපෙටවත් ප්‍රයෝජනයක් තිබුණේ නැත 1989-94 සමයේ ජවිපෙ නැවත ගොඩනැගෙමින් සිටියදී සුනිල් හා විනී හෙට්ටිගොඩ ජවිපෙට දැවැන්ත ශක්තියක් විය. ඉන්පසු ඒවා අතීත කතා පමණක් විය.

ඉන්පසු සුනිල්ට තිබුණේ විමතිකයන් හෙවත් ජවිපෙන් හා/ හෝ රැඩිකල් දේශපාලනයෙන් ඉවත්වී තමන්ගේ ව්‍යාපාර, රැකියා ආදිය කරගෙන මුදල් හම්බ කරමින්, පවුල් පන්සල්වලට මුල්තැන දෙමින් සාමාන්‍ය ජීවිත ගත කළ පුද්ගලයන්ට සිය අතීත ක්‍රියාකාරකම්වලින් වර්තමානයට යශෝප්‍රභා අයිසිං ටිකක් දමාගැනීම සඳහා දැන හෝ නොදැන අඩුමිලකට විකිණෙන එකය. ඔහුට අරන් දුන් අරක්කු වඩියක්, එකට ගත් සෙල්ෆියක් පවා සමාජ ප්‍රාග්ධන වෙළඳපොළෙහි නින්දිත අන්දමින් අලෙවි විය. තමන්ට වන්නේ කුමක්දැයි තේරුම්ගැනීමට තරම් නිනව්වක් සුනිල් මාධවට අවසාන සමයේදී තිබුණේ නැත.

මා සුනිල් මාධව සමග අරක්කු බී තබා හමුවී හෝ නැති බව කියන්නේ ආඩම්බරයෙනි. සුනිල් මාධව වැනි මිනිසුන් සමාජයේ මතක සිටිය යුත්තේ ලේඛකයන් ලෙසය. එහෙත්, දේශපාලනික මඩගොහොරුවක ගිලීම නිසා සුනිල් මාධව ප්‍රේමතිලක නම් ලේඛකයා පූර්ණත්වයට පත්වූයේ නැත. වෙනත් අය සුනිල්ගේ ජීවිතයෙන් පාඩමක් ඉගෙනීම වැදගත්ය. තමන්ගේ යුගය අවසන් වන්නට පෙර පුද්ගලයන් හැකියාවන්ගේ පූර්ණත්වයට පත්විය යුතුය. සුනිල් මාධව වැනි අය වෙනුවෙන් අපට පළ කළ හැකි හොඳම ගෞරවාචාරය එයයි.

(කවරයේ ඡායාරූපය: රවීන්ද්‍ර පුෂ්පකුමාර)

1 thought on “සුනිල් මාධවකරණයේ දේශපාලනික මොහොත

  1. ඔය අටවෙනි පිටුව නිසායි මං සුනිල් ගැන දැන ගත්තේ. හඬනු මැන නිදහස වගේ පරිවර්තන මං කියවා නෑ.

    ඇත්තටම හොඳට තිබුණු අටවෙනි පිටුව 1986 අග වෙන කොට තනිකරම පැරාලාගේ ජේවීපියේ ජාතිවාදයට යටවුණා!

Leave a Reply to Rasika Suriyaarachchi Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: