Ajith Perakum Jayasinghe in cartoon

අජිත් පැරකුම් ජයසිංහ

මං රනිල්ට කඩේ යනවද? උත්තරය මේ ලිපියේ අග තියෙනවා.

එතකොට මං ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ නැද්ද? මං ඔහු බලයට එන එකට හැමදාමත් විරුද්ධව වැඩ කළා. ඔහු බලයට පත්කළේ ඔබයි. හැබැයි, ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඔහු තවමත් ජනාධිපති. පත්කළ ඔබ ඔහු පන්නන්න අරගල කරනවා. ඔබ පරාදයි. එය ඔබත්, ඔහුත් අතර ප්‍රශ්නයක්. මට ඒක එච්චර අදාළ නැහැ. ආණ්ඩු පත්කරලා ඊට පසුදා සිට ඒක පන්නන්න වැඩකරන දේශපාලනයට මං හැමදාමත් විරුද්ධයි.

රනිල් හා ගෝඨාභය රාජපක්ෂ ඉන්නේ යම්කිසි සන්ධානයක බව පැහැදිලියි. එහි ගැටලු අනන්තයි. එහෙත්, මේ මොහොතේ එම බලතුලනය තුළ යම් සාධනීය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ සඳහා සහයෝගය අවශ්‍යයි.

අර්බුදයෙන් ගොඩඒම සඳහා විකල්ප සීමිතයි. දැන් කළ යුතුව තිබෙන්නේ පහත දැක්වෙන දේවල්. ඒවා ආණ්ඩුව කරනවා.

1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එළැඹීම. මේ කටයුතු දැන් ඉදිරියට යනවා.

2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතුව ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම. ඒ සඳහා මේ වන විට පිණිස ලසාඩ් සහ ක්ලිෆර්ඩ් චාන්ස් (Lazard and Clifford Chance) සමාගම සමග කටයුතු කරමින් සිටිනවා.

3. රාජ්‍ය මූල්‍ය හිඟය අවම වන පරිදි තිරසරව පවත්වාගත හැකි රාජ්‍ය අංශයක් ගොඩනැගීම. මේ සඳහා රාජ්‍ය ආදායම්වලට ගැලෙපෙන අන්දමින් වියදම් සකස්කරගත යුතුයි. ඒ කියන්නෙ බදු ආදායම් වැඩිකරගත යුතුයි. රාජ්‍ය සේවයට අලුතෙන් බඳවාගැනීම් අවම කළ යුතුයි. සේවකයන් තුලනය කළ යුතුයි. දේශපාලකයන් ඇතුළු රාජ්‍ය අංශයෙන් යැපෙන අයගේ වරප්‍රසාද අවම කළ යුතුයි. නාස්තිය, දූෂණය අවම කළ යුතුයි. වත්මන් පාලනය ඔස්සේ මේ සම්බන්ධ යම් යම් දේ වෙනවා. අඩුපාඩු තියෙනවා. හොඳම එක පස්සෙ. දැනට තියෙන එක.

4. අපනයන සංවර්ධනය කරගත යුතුයි. අපනයන ආදායමට ගැලපෙන පරිදි ආනයන සීමාකරගත යුතුයි. පරිභෝජනය සඳහා විදේශ ණය ලබාගැනීම මුළුමනින්ම නැවැත්විය යුතුයි. මේක දැනටමත් වෙලා ඉවරයි.

5. රටේ නීතියේ පාලනය තහවුරු කළ යුතුයි. ඒකෙ ගැටලු තියෙනවා. ආණ්ඩු බලය සහිත නිල ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. ගෝඨාභයගෙ කොන්ද පණ නැති එක ගැන බොහෝ අය එව්වා මෙව්වා කීවාට මං ඒකට කැමතියි. මේ යන අර්ධ අරාජිකත්වය නරකම නැහැ.

බොහෝදෙනෙකුට රාජපක්ෂ පවුල පරාජය කිරීමේ අවශ්‍යතාවක් ඇතිවී තිබෙනවා. 2015දීත් මෙය තිබුණා. ක්‍රමයක් සම්බන්ධයෙන් ගොඩනැගිය යුතුව තිබෙන විරෝධය පවුලකට කප්පාදු කරන්නේ ඇයි? එහි අරමුණ තමයි ක්‍රමයේ ගැටලුව රාජපක්ෂ පවුල පිට පටවා, ඔවුන් පන්නාදමා ක්‍රමය රැකගැනීම. ඒ නිසා අපි නම් ඒ පවුල් විරෝධී, පුද්ගල විරෝධී දේශපාලනයට ප්‍රමුඛතාව දෙන්නෙ නැහැ.

රාජපක්ෂලා පරාජය කරන ප්‍රශස්ත ක්‍රමය සරලයි. පරාජය කළ යුත්තේ පුද්ගලයන් ලෙස රාජපක්ෂලා නොව, රාජපක්ෂලා විසින් නිර්මාණය කරන ලද ක්‍රමයයි. එනම්, සිංහල බෞද්ධ, ගොවිගම, පිරිමි, මධ්‍යම පන්තික මූලික, ඊනියා ජාතික සමාජවාදී, රාජ්‍ය ධනවාදී රාජ්‍ය ක්‍රමය වෙනස් කළ යුතුයි. ඒකට රාජපක්ෂලා එක්කම මේ ක්‍රමය රැකගන්න කටයුතු කරන ජවිපෙ, පෙසප, සජබ ඇතුළු කොටස් ද සමග රාජපක්ෂලා පරාජය කළ යුතුයි. අලුත් ක්‍රමයක් ස්ථාපිත කළ යුතුයි.

ඒකට මග වැටිලා තියෙන්නෙ මධ්‍යම පන්තියේ දේශපාලන බලය බිඳදැමීම, ඒකාධිකාරී රාජ්‍ය ව්‍යවසාය වෙනුවට පෞද්ගලික අංශය දිරිමත් කිරීම, රාජ්‍ය සේවකයන් වෙනුවට වැඩකරන පන්තීන් හා ව්‍යවසායකයන්ගේ රාජ්‍ය බලය ශක්තිමත් කිරීම, ඒකාධිපතිවාදය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම හරහායි.

මං දේශපාලන පක්ෂයකට කඩේ යන, ඒ පක්ෂයේ නායකයන් අතිශයෝක්තියෙන් වර්ණනා කරමින් ඔවුන් සිහසුනේ වාඩි කරවීමට වැඩකරන කෙනෙකු නෙමෙයි. මං වැඩකරන්නෙ අරමුණක් වෙනුවෙන්. ඒ අරමුණ මං අඩුවැඩි වශයෙන් පැහැදිලි කර තිබෙනවා. ඒ වෙනුවෙන් මං ඕනැ යකෙකු එක්ක වැඩකරනවා. මං වැඩ කරන්නෙ දෙන ලද තත්වයන් යටතෙ, මට හමුවෙන ජනතාවත් එක්ක. තෝරාගත්ත අමුතු ජනතාවක් එක්ක නෙමෙයි.

ඒ නිසා නැවත නැවත මගෙන් අහන්න එපා. මං මේ ආණ්ඩුවට සහාය දක්වනවා. හැබැයි, ඒක කවුරුවත් පුද්ගලයකුට කඩේ යාමක් නෙමෙයි. ඕනැ හොඳ නායකයකුට මං ගරු කරනවා. නායකයන් හැමවිටම හොඳ විය යුතු නැහැ. හොඳ වෙලාවට හොඳයි. නරක නම් නරකයි. ඒක ලෝක ස්වභාවය.

ප්‍රශ්නය: මං රනිල්ට කඩේ යනවද? නැහැ. මං රනිල්ට සයාය දෙන්නෙ ඔහු මගේ අරමුණට අනුකූලව කටයුතු කරන නිසායි. එහෙම නැති වුණ මොහොතේ මං මගේ සහාය ඉවත්කරගන්නවා.

3 thoughts on “මං කඩේ යන්නෙ කාටද?

  1. Paraajaya kaka yuththe , pawathina krame menma raja pissuwa oluwata gesuo undala haa owunage henchmen .
    Amatharawa obe nirwachanaya paridi , wagavibawayak nethiwa viplavieya awasyathawak nethuwaayai kiyana peduren bimata wetieme wenasak nodenena minisunta preranayavie athi Burusuwaasie ( Bourshuwashie ) sihina paraajaya kala yuthuya .

  2. නාගරික මන්ත්‍රීවරයකු ලෙස ප්‍රේමදාස ජීවිතය පටන් ගත් දවසේ සිටම කොළඹ නාගරික සමාජය ඉතා නරක ලෙස ඔහුට හිංසා කළේය. මේ හිංසාවල නිමක් නැත. එහෙත් ප්‍රේමදාස ඔරිජිනල් පිත්තලෙන් සෑදු නියම වෙඩි උණ්ඩයක් සේ කිසිම ඇඹරීමකින් තොරව දීර්ඝ දේශපාලන ගමනක නිරත විය. ඔහු අගමැති වූ පසු කොළඹ ඉහළ පංතිය එය ඉවසුවේ නැත. ජේ. ආර්. ජයවර්ධන ඔහුට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා දුන්නේ කර කියා ගන්නට දෙයක් නොතිබූ විටය. ජේ. ආර්. එම ධුරය සඳහා සිතේ තබාගෙන සිටියේ ගාමිණි දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි යන නම් දෙකය. එයට හේතුව ජේ. ආර්. ජයවර්ධනගේ ඉහළ පන්ති පදනම හා සමාන පන්ති පදනමක් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක සතුවද පැවතීමය. ජේ. ආර්. මෙන්ම ඒ දෙදෙනා ද එංගලන්තයේ උගත් අය වූහ. එහෙත් ජේ. ආර් ට නොතිබූ ලොකු සුදුසුකමක් ප්‍රේමදාසට විය. ඒ වූ කලී ජන පදනමය. ආර්. ප්‍රේමදාස සතුව තිබූ ජන පදනම කොළඹ හතේ පන්ති පදනම සුනු විසුණු කළ හැකි තරම් බලගතු වූවකි. ආර්. ප්‍රේමදාස මේ රටේ අගමැති වීම, ජනාධිපති වීම සහ මැරුම්කෑම යන කාරණා තුනම පිටුපස මෙකී පන්ති පදනම තිබේ. ජනතාව තමා සමග සිටිතැයි නිතර කල්පනා කළ ජනාධිපති ප්‍රේමදාස නිතරම සෙනග අතර ගැවසුණේය. තමන් සාමාන්‍ය ජනතාව සමග සිටින්නකු නිසා කිසි කලකත් ජනතාව වෙතින් තමන්ට හානියක් වනු ඇතැයි ඔහු කල්පනා කළේ නැත.

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: