Chinese workers

මිනිසා වැඩ කරන්නේ කුමටද?

අජිත් පැරකුම් ජයසිංහ

පාරවල ඉදිකිරීමක් සිදුකරන විට වාහන හැසිරවීමට ඉදිකිරීම් සමාගම විසින් කම්කරුවන් යොදවනු ලැබේ. පහසු, එහෙත්, වගකීම් සහගත මෙම කාර්යය සඳහා බොහෝ විට යොදවනු ලබන්නේ ශ්‍රී ලාංකික කම්කරුවන්ය. පසුගිය දිනෙක දේශීය කොන්ත්‍රාත්කාර සමාගමක් ඒ සඳහා චීන කම්කරුවකු යොදා තිබෙනු දුටු මට එම කම්කරුවා කෙතරම් කඩිසර අන්දමින් එම කාර්යය පවා කරන්නේදැයි සිතිණි.

ශ්‍රී ලංකාවේ චීන කොන්ත්‍රාත් මත ක්‍රියාත්මක වන බොහෝ ඉදිකිරීම් ව්‍යාපෘතිවල චීන කම්කරුවෝ සේවය කරති. නිල වශයෙන් 15,000ක් සිටින බව කීව ද, ඇත්ත සංඛ්‍යාව ලක්ෂයක් පමණ විය හැකි බව ඉදිකිරීම් කර්මාන්ත ආරංචි මාර්ග පවසයි. චීන ව්‍යාපෘතිවල ශ්‍රමිකයන්ගෙන් 30-40% අතර ප්‍රමාණයක් චීන ශ්‍රමිකයෝය. දැන් දැන් දේශීය ඉදිකිරීම් සමාගම් ද චීන කම්කරුවන් සේවයේ යොදවන බව පෙනේ.

චීන කම්කරුවෙකුට මසකට එක්සත් ජනපද ඩොලර් 1,000ක් පමණ වැටුප් ගෙවන බව ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ මහ ලේකම්/ ප්‍රධාන විධායක නිලධාරි නිස්සංක විජේරත්න මෑතදී මාධ්‍යයකට ප්‍රකාශ කර තිබිණි. එය ශ්‍රී ලාංකික මුදලින් රු. ලක්ෂ දෙකකට ආසන්නය. ශ්‍රී ලාංකික පුහුණු ඉදිකිරීම් කම්කරුවන්ගේ වැටුප් ද සාපේක්ෂ වශයෙන් ඉහළ වන මුත්, චීන කම්කරුවකුගේ මාසික වැටුපෙන් තුනෙන් එක ඉක්මවන්නේ කලාතුරකිනි.

ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ මහ ලේකම් පවසන පරිදි ලාංකික කම්කරුවන්ට ගෙවන වැටුප මෙන් තුන්ගුණයක් පමණ චීන කම්කරුවන්ට ගෙවීම ලාභදායීය. ඔවුන් දවසේ නියමිත මුළු කාලය ම වැඩ කරන අතර, නිවාඩු නොගෙන දිනපතා වැඩට පැමිණෙති.

ලාංකික කම්කරුවන් ගැන විස්තර සඳහන් කිරීම අවශ්‍ය නැත. සාමාන්‍යයෙන් ඔවුන් ස්ථිරව සේවයේ රැඳෙන්නේ නැත. අධික ලෙස නිවාඩු ලබාගනිති. අලසය. වැඩ සම්බන්ධයෙන් සුබවාදී නැත. අවස්ථාව ලැබුණොත් සොරකම් කරති.

එම කම්කරුවන්ට ම චීන කම්කරුවකුට ගෙවන වැටුප ගෙව්වොත් කුමක් වේදැයි කවුරුවත් දන්නේ නැත්තේ එවැනි වැටුප් නොගෙවන නිසාය.

මේ සියල්ලටමත් වඩා බරපතල තත්වය වන්නේ ලාංකික තරුණයන් ඉදිකිරීම් කම්කරු වැනි කය වෙහෙසා කරන රැකියාවලට යොමු නොවීමයි. යොමු වී සිටින සුළු පිරිසට ඕනෑ තරම් වැඩ තිබේ. ඔවුන්ට අවශ්‍ය නම් පහසුවෙන් ස්වයං රැකියා හෝ සුළු ව්‍යාපාර ලෙස තම කර්මාන්තය කළ හැකි නිසා ඔවුන් ඇතැම්විට ආයතනවල වැටුප් ශ්‍රමිකයන් වීමට කැමැත්තක් දක්වන්නේ නැත.

ලංකාවේ වැඩකරන චීන කම්කරුවාට වැඩ කිරීම, ආහාර ගැනීම, මත්පැන් බීම, පවුලේ අය සිටී නම් ඔවුන්ට කතා කිරීම, රූපවාහිනී බැලීම වැනි සීමිත කාර්යයන් ටිකක් හැර අන් ජීවිතයක් නැත. ලාංකික කම්කරුවන්ට ද ඊට වඩා දෙයක් නැතිමුත්, ඔවුන්ට මෙහි දරු පවුල් හා සමාජ සම්බන්ධතා රැසක් තිබේ. ඒ හා සම්බන්ධ නාට්‍යමය ජීවිතයක වින්දනය හෝ වේදනාව හෝ ලාංකික කම්කරුවාට තිබේ. චීන කම්කරුවන්ට ඒවා නැත. ඔවුන් ඒවා සමග සම්බන්ධ වන්නේ කලාතුරකින් නිවාඩුවට ගෙදර ගිය විටයි.

චීන කම්කරුවන් වඩා කාර්යක්ෂම බැවින් හොඳ බව ඉදිකිරීම් කර්මාන්තකරුවෝ පවසති. එහෙත්, එසේ වැඩකිරීමෙන් ඒ කම්කරුවන්ට කෙතරම් හොඳක් සිදුවේ ද යන්න අප දන්නේ නැත. කොන්ත්‍රාත් සමාගම්වලට හා ඒවායේ සුපරීක්ෂණ ශ්‍රේණිවලින් ඉහළ වෘත්තිකයන්ට නම් හොඳය.

කම්කරුවෙකු ජීවිතයේ කෙතරම් කාලයක් වැඩකිරීම වෙනුවෙන් කැප කළ යුතුද? කම්කරුවා විවේකය, විනෝදය වෙනුවෙන් කෙතරම් කාලයක් වැය කළ යුතුද? වැඩ කිරීම සතුටක් නොවේද? සතුටින් වුවත්, කොපමණ කාලයක් වැඩ කළ යුතුද? සතුට නම් වැඩ කිරීමද? වැඩ කරන්නේ කුමටද? පවුල් සාධක අත්හළ විට පුද්ගලයකු තමන් වෙනුවෙන් වැඩ කිරීම හා විවේකය, විනෝදය භුක්ති විඳීම අතර තුලනය නිර්මාණය කරගන්නේ කෙසේද? වැඩ කරන්නට බැරි දවසක් පැමිණෙනු ඇත. කම්කරුවා අනාගතය වෙනුවෙන් ද ආයෝජන කළ යුතුය.

කම්කරුවා පිළිබඳ ස්වර්ණමය ප්‍රශ්න මේවාය. මෙම සටහන තබන මා ද වෙනස් ආකාරයකට නම්‍යශීලීව වැඩකරන, එහෙත් අනිවාර්යයෙන් කළ යුතු වැඩ අනිවාර්යයෙන් කරන්නට ම සිදුවන, දිගු කාලයක් වැඩ කරන, විවේකය හා විනෝදය අඩු බුද්ධිමය කම්කරුවෙක්මි. මා සමාන වන්නේ ඉහත දක්වන ලද චීන කම්කරුවාටය. මගේ ආදායම ද එවැනි වේ.

මා වැඩ කරන්නේ මගේ ජීවිත අරමුණු කීපයක් සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසා ගැනීමට වුව ද, අවසානයේදී මගේ වැඩකිරීම හසුරුවනු ලබන්නේ මගේ එකී අවශ්‍යතාව විසින් නොව මට ලැබෙන වැඩ විසිනි.

මිනිසා වැඩ කරන්නේ කුමටද යන ප්‍රශ්නය මා ඉදිරියේ තිබේ. එහෙත්, මට එයට පිළිතුරක් නැත.