Prof. Gamini Keerawella

බහුතරයක් තරුණයන් ජනවර්ගය වැදගත් යයි සිතනවා -මහාචාර්ය ගාමිනී කීරවැල්ල

“ප්‍රචණ්ඩත්වයත් අන්තවාදයත් එකිනෙක සම්බන්ධයි. ඒවා අවුළුවන්නේ විවිධ දෘෂ්ටිවාදයන් විසිනුයි. ඒ දෘෂ්ටිවාදයන් පැනනගින්නේ හිස්තැනකින් නෙමෙයි. බහුතරයක් ශ්‍රී ලාංකික තරුණයන් තමන් වෙනත් බෙදීම් නැති ‘ශ්‍රී ලාංකික’ හෝ ‘මනුස්සයන්’ ලෙස හැඳින්වුවත්, ජනවර්ගය වැදගත් යයි ඔවුන් තවමත් සිතනවා.” මෙසේ පැවසුවේ මූලෝපායික අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිනී කීරවැල්ලයි.

Translations by Creative Content Consultants

ඔහු මෙම අදහස් පළ කළේ 2019 සැප්තැම්බර් 17දා ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීමේදී තරුණ නායකයන්ට හා ස්වේච්ඡා සේවකයන්ට දැරිය හැකි භූමිකාවනම් අධ්‍යයනය දියත් කරමිනි. මෙම අධ්‍යයනය සිදු කළේ මූලෝපායික අධ්‍යයන සඳහා කලාපීය මධ්‍යස්ථානය
(RCSS) විසිනි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයෝ සංවිධානය (UNV) විසින් එක්සත් ජාතීන්ගේ සාමය ගොඩනැගීමේ අරමුදලේ අනුග්‍රහයෙන් අධ්‍යයනයට බලය පවරන ලදී.

එයට උතුර, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වයස අවුරුදු 15-29 අතර 2800ක තරුණ නියැදියක් යොදාගන්නා ලදී. මෙම ක්ෂේත්‍ර අධ්‍යයන කරනු ලැබුවේ පාස්කු ඉරිදා ප්‍රහාරවලට පෙර 2018 නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී ය. එම සොයාගැනීම් අනුව, 25%ක් ම සම වයස් සගයන් ප්‍රචණ්ඩ අත්තවාදී දෘෂ්ටිවාදයන්ට ආකර්ශනය වන බව පළාත් හතරේ තරුණයෝ විශ්වාස කළ බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල නිවේදනයක් නිකුත් කරමින් පැවසී ය.

වාර්තාව දියත් කිරීමෙන් පසු සභාව අමතමින් මහාචාර්ය කීරවැල්ල විසින් පහත දැක්වෙන කරුණු ද පෙන්වා දෙන ලදී “ප්‍රචණ්ඩ අන්තවාදය සහ තරුණයන් බිලී බාගැනීමට එයට ඇති හැකියාව සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකාව සිටින්නේ ගිනිකන්දක් උඩයි. බහුතරයක් තරුණ ජනයා සිතන පරිදි රටේ තිබෙන තත්වයන් යුද්ධය අවසන් වීමේ සිට සංවර්ධනය වී තිබෙනවා.

“මෙම අධ්‍යයනයේ සොයාගැනීම්වලින් පෙනෙන පරිදි තරුණයන් අතර අන්තර් ජනවාර්ගික සම්බන්ධතා සහ අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකිරීම සඳහාත්, සෙසු ජනවර්ග දෙස සතුරන් දෙස බලන්නා සේ බැලීම වෙනස් කිරීමටත් ශ්‍රී ලංකාව තව බොහෝ දුර යා යුතුයි.

“තරුණයන්ට නිසි ආදර්ශ භූමිකා නැතිකම සම්බන්ධව අධ්‍යාපනය සහ මාධ්‍ය ඔස්සේ මැදිහත් වීම ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම සඳහා ඉතා වැදගත්. තරුණ නායකයන්ගේ සහ ස්වේච්ඡා සේවකයන්ගේ කුසලතා භාවිතා කිරීම සඳහා ජාතික සහ පළාත් මට්ටම්වලදී මනා ලෙස සම්බන්ධීකරණය කරන ලද ක්‍රියාකාරී සැලැස්මක් විධිමත් ලෙස පිහිටුවිය යුතුයි,,” මහාචාර්ය කීරවැල්ල පැවසී ය.

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු සහ කුසලතා සංවර්ධන සහ තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝදි මහතා මෙසේ පැවසුවේ ය: “සාමකාමී සහජීවනය සඳහා තරුණ ප්‍රජාවේ ශක්තිය ශක්තිය ගොනු කරගැනීම උදෙසා විධිමත් ප්‍රවේශයන් ක්‍රියාත්මක වන බව ජාතියක් ලෙස අප තහවුරු කළ යුතුයි. සාමය තිරසර කිරීමේදී තරුණයන් වැදගත් භූමිකාවක් ඉටුකරනවා. අප ඔවුන් සාමය ගොඩනැගීමේ ක්‍රියාවලියට සහභාගි කරගත යුතුයි. සාමකාමී සමාජයන් ගොඩනැගීම සඳහා තරුණ ප්‍රජාව බලමුළුගැන්වීම පිළිබඳ මා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවලට ප්‍රශංසාව පිරිනමනවා.”

එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මිය මෙසේ පැවසුවා ය: “දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තෝරාගන්නා ලද තරුණ පිරිසක් වන ඔබට පැවරී තිබෙන්නේ සාමය ගොඩනැගීමේ සහ සමාජ ඒකාබද්ධතාව ගොඩනැගීමේ ක්‍රියාකාරකම් ඔබගේ ප්‍රජාවන් තුළ ධෛර්ය සම්පන්න ලෙස ඉදිරියට ගෙන යාමයි. ඉදිරි සති, මාස සහ අවුරුදුවලදී ඔබගේ ක්‍රියාකාරකම් ප්‍රචණ්ඩ හැඟීම් උත්කර්ෂයට නැංවීම වැළැක්වීමේ ලා නිත්‍ය වශයෙන් ම උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. වෛරය ජයගත හැක්කේ ආදරයෙනි.”

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නැකෙන් මහත්මිය කතා කරමින් මෙසේ කීවා ය: “එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ අප වෙහෙසෙන්නේ සෑම තරුණ පුද්ගලයකු ම තම පූර්ණ හැකියාවන් අත්කරගනු තහවුරු කරනු සඳහායි. එහි අරුත වන්නේ, තරුණයන්ට තම හිමිකම් උපයෝගී කරගැනීමට සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියට සහ සාමය තිරසර කිරීම සඳහා සක්‍රිය ලෙස සහභාගි විය හැකි විවෘත සහ ආරක්ෂාකාරී අවකාශයක් සැපයීමයි. ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ වැරදි තොරතුරු මගින් වාර්ගික ප්‍රචණ්ඩත්වයන් ඇවිලුණ ආකාරය අප දැක තිබෙනවා. තරුණ සාම මණ්ඩලය ඔස්සේ අප බලාපොරොත්තු වන්නේ, සියලු දෙනා වෙනුවෙන් වඩා අපක්ෂපාතී, සාමකාමී සහ සාධාරණ අනාගතයක් වෙනුවෙන්  තරුණ ප්‍රජාව වඩා දැනුවත්භාවයට පත්වීමයි.”

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පළාත් නවයෙන් විවෘත අයදුම්පත් කැඳවීමකින් තෝරාගන්නා ලද තරුණ සාම උද්දේශකවරුන් 30දෙනෙකුගෙන් තරුණ සාම මණ්ඩලය දියත් කිරීම ද මෙම අවස්ථාවේදී සිදු විය.

එම වාර්තාව මෙතනින් ඩවුන්ලෝඩ් කරගත හැකි ය>>

Youth Peace Panel