Matugama UNP rally

සජිත්ගේ ජය පතන මතුගම මහ රැළිය අද

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පතන සජිත් ප්‍රේමදාසට සහයෝගය පිණිස මතුගම එජාප සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන විසින් සංවිධානය කරන මතුගම මහ රැළිය අද දින මතුගම මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Translations by Creative Content Consultants

මතුගම ප්‍රදේශයේ කාලගුණ තත්වය අයහපත් වුව ද, මෙම රැළියට දැවැන්ත ජනකායක් කැඳවා ගැනීමට කටයුතු සූදානම් කර තිබේ. සජිත් ප්‍රේමදාසගේ රැස්වීම් සඳහා තැනින් තැන යන බස් පනහක පමණ සජිත් ප්‍රේමදාස ගෘප් ද මෙම රැළියට සහභාගි වීම සඳහා පැමිණෙති.

මෙම රැළියේදී සජිත් ප්‍රේමදාස විසින් පවත්වනු ලබන කතාවේදී හෙට දින සිදු වන ජනාධිපති අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන් ඔහු කටයුතු කරන ආකාරය ගැන ඉඟියක් ලබාගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරන කෘත්‍යාධිකාරි මණ්ඩල ඡන්දය හෙට පෙරවරුවේ සිරිකොතේදී පැවැත්වීමට නියමිත ය. මේ වන විට, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය අතර සාකච්ඡා වට කීපයක් පැවැත්වී තිබෙන අතර, අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පක්ෂ බෙදීමකින් තොරව සම්මුතියකට පැමිණීමට උත්සාහ දරමින් තිබේ. එහිදී උත්සාහය වන්නේ ජනාධිපති අපේක්ෂකයාගේ නම සෙසු නායකයන් දෙදෙනා විසින් යෝජනා ස්ථිර කරගැනීමයි.

රනිල් හා සජිත් අතර බල තුලනය සම්බන්ධයෙන් නායකයන් අතර සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත උපායමාර්ගය තීරණය වන්නේ ද එජාප ජනාධිපති අපේක්ෂකත්වයේ ගැටලුව හෙට දිනයේ විසඳෙන ආකාරය අනුව ය. ශ්‍රීලනිපයේ සැලසුම වී තිබෙන්නේ සජිත් ප්‍රේමදාස සමග එක්ව අගමැති ධුරය අපේක්ෂාවෙන් සන්ධානයක් බිහි කරගැනීමයි. එය අසාර්ථක වුවහොත්, බොහෝ විට ශ්‍රීලනිපය අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ඉඩ තිබේ. මේ වන විට ශ්‍රීලනිප හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා අඩාල වී තිබේ. ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිපයෙන් ඉදිරිපත් වීමට තමන් සූදානම් බව කුමාර් වෙල්ගම ද ඊයේ පැවසී ය.