UN Resident Coordinator Hana Singer with Negambo OIC

යන එන මං නැති සරණාගතයන්ට රැකවරණ දුන් මීගමුව පොලිසියේ ස්ථානාධිපති එක්සත් ජාතීන්ගේ ඇගයීමට ලක් වේ

අප්‍රේල් 21 ත්‍රස්තවාදී ප්‍රහාරවලින් පසු නැවතත් අවතැන් වූ ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදෙස් රටවල සරණාගතයන්ට රැකවරණ සැපයීම සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වූඩ්ලර් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ඇගයීමකට ලක් වී තිබේ.

මෙම සරණාගතයන් කවුරුද? මෙම ලිපියෙන් දැනගන්න: ලංකාවේ ඉන්න පකිස්තාන් සරණාගතයන් කවුරු ද? >>

“පකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඉරානය වැනි රටවලින් පැමිණි 800කට වැඩි සරණාගතයන් ඔවුන්ට සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා විසින් වෙනත් රටවල දේශපාලන රැකවරණ ලබා දෙන තෙක් ශ්‍රී ලංකාවේ ඉන්නවා. ඔවුන් වැඩි පිරිසක් රැඳී සිටියේ මීගමුවේයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසු ඔවුන්ට තර්ජන එල්ල වුණා.” (ලිපියෙන් උපුටාගත් කොටසක්)

මෙම සරණාගතයන් තාවකාලිකාව නවාතැන් ගෙන සිටි නිවාසවලින් ඔවුන් පලවාහරින්නට නිවෙස් හිමියන් කටයුතු කළ අවස්ථාවේදී යන එන මං නොමැතිව සිටි මෙම ජනතාවට පුරා සති හයක් ම රැකවරණ ලබා දී තිබෙන්නේ මීගමුව පොලිස් ස්ථානයේ සීමිත ඉඩකඩ තුළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරකවරිය වන හනා සිංගර් පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පසුගිය මැයි 31දාතමින් නිකුත් කරන ලද ඇගයීමේ ලිපියේ සඳහන් වෙනවා.

අගෝස්තු 16දා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හනා සිංගර් ට්විටර් පවසන්නේ මෙසේයි: “Every day in #lka I meet so many inspiring individuals whose #compassion, resolve, sense-of-duty, passion to serve, knows no bounds. Chief INSP Wootler is one such person, offering shelter at the Negombo Police Station to asylum-seekers & #refugees who had nowhere else to go.” (ශ්‍රී ලංකාවේදී මට හැමදාම බොහෝ ප්‍රබෝධය ඇති කරන පුද්ගලයන් හමු වෙනවා. ඔවුන්ගේ සහකම්පනය, අධිෂ්ඨානය, වගකීම්සහගතබව, සේවයට ඇති අනුරාගය සීමාවන්ගෙන් තොරයි. ප්‍රධාන පොලිස් පරීක්ෂක වූඩ්ලර් එවැනි පුද්ගලයෙක්. යන්නට අතක් නොමැතිව සිටි සරණාගතයන්ට ඔහු මීගමුව පොලිසියේ රැකවරණ සැපයුවා.)

සරණාගතයන්ට මිනිස්කමින් සලකන එක ලෝකවාසීන් ලෙස අපේ වගකීමක්. මෙම ලිපිය ඒ සම්බන්ධයෙන්: සරණාගතයන්ට මනුස්සකමින් සලකන ලාංකිකත්වයක් ගොඩනගා ගනිමු >>