External degree graduates

‘පුළුවන් නම් ආපු වැඩේ කරගෙන පෙන්නපන්’ රාජ්‍ය සේවයට තවත් උපාධිධාරීන් පුරවයි

රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි බාහිර උපාධිධාරීන් 4,178 කට පසුගිය 18දා අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී අභ්‍යාසලාභී පුහුණු නිලධාරීන් ලෙස පත්වීම් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය ප්‍රකාශ කරයි.

Translations by Creative Content Consultants

උපාධිධාරීන් 20,000 කට රජයේ අභ්‍යාසලාභී පත්වීම් ලබා දීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් කළ යෝජනාවකට 2018 වසරේදෙ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු අතර, එහි ප්‍රථම පියවර ලෙස 2018 අගෝස්තු මාසයේදී උපාධිධාරීන් 3,200 කට ද, දෙවන පියවර වශයෙන් 2019 අගෝස්තු මාසයේදී 12,133 දෙනෙකුට ද පත්වීම් පිරිනැමිනි. මෙම පත්වීම් මූලික වශයෙන්ම ලබා දුන්නේ අභ්‍යන්තර උපාධිධාරීන්ට වන අතර, බාහිර උපාධිධාරීන් 887 කට පමණක් පත්වීම් ලැබුණු බව ද, 19දා පැවැති උත්සවයේදී තවත් බාහිර උපාධිධාරීන් 4,178 කට පත්වීම් ලබා දෙන ලද බව ද, ඒ අනුව මේ වන විට උපාධිධාරීන් 19,511 දෙනෙකුට රජයේ පත්වීම් ප්‍රදානය කොට ඇති බව ද නිවේදනයේ සඳහන් වේ.

රජයේ කාර්යාලයකට වැඩක් කරගන්නට ගිය විට ඔබට හමු වන, මුහුණු පුළුටු කරගෙන, පුළුවන් නම් ආපු වැඩේ කරගෙන පෙන්නපන් යන ආකල්පයෙන් කටයුතු කරන රජයේ නිලධාරීන් අතරට මෙම තරුණ විය පියමං කරමින් සිටින පිරිස ද ඇතුළත් වනු ඇත. හෙට අනිද්දා සිට කාර්යාල දුම්රිය තවත් තදබද වනු ඇත. සීසන් පෝලිම් දිගු වනු ඇත. විලාසිතා ප්‍රදර්ශනවලට මෙන් සාරි ඇඳි බහුතරයක් කාන්තාවන් වූ මෙම උපාධිධාරීන් රජයේ කාර්යාලවල මේස අසල කරන්නට හරිහමන් වැඩක් නැතුව හා වැඩක් ඇතත් කරන්නට දැනුම හා ආකල්ප නැතුව, ඇතැම්විට වරදකාරී හැඟීමෙන් යුතුව වාඩි වී හෝ කොරිඩෝවල එහා මෙහා ඇවිදිමින් සිටිනු ඔබට දැකිය හැකි වනු ඇත.

මේ සමග ඇති ඡායාරූපය බලන්න. මෙම නිලධාරීන් වැඩිදෙනෙකු තරුණ විය පියමං කළ අයයි. මොවුන් මෙතෙක් කල් රැකියා කළේ නැද්ද? එසේ විය නොහැකි ය. මොවුන්ගෙන් ඇතැමෙකු රජයේ රැකියාවට බැඳෙන්නේ මෙතෙක් කරමින් සිටි ඵලදායී රැකියා, ස්වයං රැකියා, ව්‍යාපාර ආදිය අත්හැර දමා ය. තවත් ඇතැමෙකු බිස්නස් කරන අතර, රජයේ රැකියාවට බැඳෙන්නේ සයිඩ් බිස්නස් එක ලෙස ය. මේ අතර ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස පත්වන අයට වැඩි සද්දයක් නැතුව තමන් මෙතෙක් කරගෙන ආ වැඩ කරමින් රජයෙන් වැටුප් ද ලබාගත හැකි ය. මේ අතර, වාඩිවෙන්නට මේසයක්, පුටුවක් නැති අසරණයන් ද සිටිය හැකි ය.

රජයේ සේවයේ උපාධිධාරී වැටුප් සාපේක්ෂව නරක නැති වුණත්, එතරම් ඉහළ මට්ටමක නැත. මේ ඇතැමෙකු සිහින දකින්නේ සීමිත තරග විභාගයට මුහුණ දී, පරිපාලන සේවයට බැඳී ඉහළ යාමට ය. එහෙත්, එම අවස්ථාව ලැබෙන්නේ සීමිත පිරිසකට ය. අනෙක් අය අඩුවෙන් වැඩ කර, සාපේක්ෂව වැඩි වැටුප්, නිවාඩු, වරප්‍රසාද, විශ්‍රාම වැටුප් ආදිය ලබාගැනීමට තිබෙන අවස්ථාවෙන් සැනසෙති. රැකියාවකුත් කරන ගමන් ළමයින් සම්බන්ධ කාර්යයන්ට වැඩි කාලයක් යෙදවිය හැකි නිසා මෙම කාන්තාවන්ට විවාහ වෙළඳපොළේ වැඩි අවස්ථා තිබේ (දැනට විවාහ වී නැතිනම්).

මෙම රජයේ නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් තීරණයක් නැත. එය දායකත්ව විශ්‍රාම වැටුපක් ද, නැතිනම්, පැරණි ආකාරයට ම විශ්‍රාම වැටුප ගෙවනවා ද යන්න සම්බන්ධයෙන් රජය තීරණයක් ගත යුතුව ඇතත්, එය කල්යමින් තිබේ. එහෙත්, ඒ වෙනුවෙන් යමක් සිදු වනු ඇති බව ඔවුන්ට ෂුවර් ය. අනාගතයේ පත් වන ආණ්ඩුවකට මුහුණ දෙන්නට සිදු වන ප්‍රධාන ඉල්ලීමක් වන්නේ රාජ්‍ය සේවයේ මෑතදී බැඳුණු නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් අර්බුදයයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප‍්‍රියන්ත පසුගියදා මාධ්‍යවලට මෙසේ පැවසී ය. “2015 ට සාපේක්ෂව 2020 වන විට රාජ්‍ය සේවයේ වැටුප 107.7%කින් වැඩි වෙලා. ඒ වගේම ව්‍යවස්ථාපිත මණ්ඩලවල වැටුප 2015 ට සාපේක්ෂව 2020 දී 107.7%කින් වැඩි වෙලා. නමුත් විශ්වවිද්‍යාල සේවයේ වැටුප 2015 ට සාපේක්ෂව 2020 වන විට 92%කින් පමණයි වැඩි වෙන්නේ.”

වැටුප් වැඩි වුණ පරිමාණයට රාජ්‍ය සේවයේ ඵලදායිතාවත් වැඩි වුණා ද? රජය ඒ වෙනුවෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නැත. එෆ්සීඅයිඩී යන්න වෙනවා ය කියමින් පසුගිය සමයේ වැඩ මගඅරිමින් සිටි ඇතැම් රජයේ නිලධාරීන් දැන් කියන්නේ කෝප් කමිටුවේදී සුනිල් හඳුන්නෙත්ති ප්‍රශ්න කරන නිසා වැඩ කරන්නට බැරි ය කියා ය.

ඇතැම් විට, මේ වනාහි රජයේ රස්සා මේ අයුරින් හෝල්සේල් ක්‍රමයට දෙන අවසන් අවස්ථාව විය හැකි ය. ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මෙවැනි පොරොන්දු හෝ නැති බව පැහැදිලි ය. කවුරු බලයට පත් වුණත්, අනාගත රජයක් විසින් ප්‍රමුඛතාව දිය යුතුව තිබෙන්නේ රාජ්‍ය සේවයේ ඵලදායිතාව නැංවීමට මිස තව තවත් රජයේ කාර්යාල නිකමුන්ගෙන් පුරවා මහජන මුදල්වලට කෙළවීමට නොවේ.

පවත්නා රජය ඇත්තේ මධ්‍යම පන්තිකයන්ට රස්සා, වැටුප් හා වරප්‍රසාද දීමටයි. එයින් මහජන සේවය සලසන්නේ එම වරප්‍රසාද සාධාරණීකරණය සඳහා ය. ක්‍රම වෙනසක් ඇතිකිරීම යනු මූලිකව ම රාජ්‍ය සේවයේ මෙම තත්වය වෙනස් කිරීමයි. එහෙත්, රජයෙන් වරප්‍රසාද ලබන මෙම පන්තිය මත දේශපාලන බලය ගොඩනගා ගන්නා දේශපාලන පක්ෂ මෙම ක්‍රමය වෙනස් කරන්නට ඉඩදෙන්නේ නැත. රාජ්‍ය අංශයේ ඵලදායිතාව නංවන ප්‍රතිසංස්කරණයක් සිදුකරන තෙක් රට ගොඩගන්නා එක බොරු ය. මෙම ලිපියේ ඇති විවේචනය තම වෘත්තිය හරියට කරන නිලධාරීන්ට අදාළ නැති බව කරුණාවෙන් සලකන්න.

මේ ලිපිත් කියවන්න:

ඵලදායී රාජ්‍ය සේවයක් වෙනුවෙන් සංවාදයක්

2015ට සාපේක්ෂව රජයේ සේවක වැටුප් දෙගුණයකින් වැඩි වෙලා – විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති කියති