යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද විවෘත වේ

රු. මිලියන 2,250ක වියදමින් සංවර්ධනය කරන ලද ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපළ වන යාපනය ගුවන් තොටුපළට අද දින චෙන්නායි සිට පළමු ගුවන් යානය පැමිණෙයි. මෙය ශ්‍රී ලංකාවේ සමාජ හා ගමනාගමන ඉතිහාසයේ අලුත් නැම්මක් ඇති කරන සංවර්ධනයක් වනු නිසැක බව අපේ අදහසයි.

Translations by Creative Content Consultants

ශ්‍රී ලංකාවේ උතුරේ වැසියන්ට විදේශගත වීම සඳහා කොළඹට පැමිණීමේ අවශ්‍යතාව මේ සමග නැති වී යනු ඇත. එමගින් විශාල කාලයක් මෙන් ම මුදලක් ද ඉතිරි කරගැනීමට හැකි ය. පලාලි සිට ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම්, චෙන්නයි, බැංගලෝර් වැනි ගුවන් තොටුපලවලට ඉතා කෙටි කාලයක් තුළ පියාසර කිරීමේ හැකියාව තිබේ.

පලාලි ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන අතර මත්තල වැනි සුදු අලියෙකු නොවන බව සහතික ය. එයට හේතුව වන්නේ උතුරු පළාත මේ වන විටත්, විදේශගත දෙමළ ප්‍රජාවක් සමග සම්බන්ධ, නිතර විදේශගත වන දෙමළ මධ්‍යම පන්තියකින් සමන්විත ප්‍රදේශයක් වීමයි. මත්තල අසාර්ථක වීමට ප්‍රධාන හේතුව වූයේ, හම්බන්තොට වරාය ආශ්‍රිතව ආයෝජන නිර්මාණය කරගෙන කර්මාන්ත සංවර්ධනයක් සිදුකිරීමට රජයන් අසමත් වීමයි.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතීතයේදී පලාලි ගුවන් තොටුපළ ලෙස හැඳින්වුණ අතර වැඩිපුර භාවිතා වුණේ මිලිටරි කටයුතු සඳහා ය. මෙම ගුවන් තොටුපළෙහි කිලෝමීටර් 1.5ක ධාවන පථය හා මගී පර්යන්ත මෑතදී සංවර්ධනය කරන ලදී. ජාත්‍යන්තර ගුවන් ගමන්කේත අනුව යාපනය ගුවන් තොටුපළ හැඳින්වෙන්නේ JAF ලෙසයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපුව ගුවන් තොටුපළ ද ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය වෙමින් තිබේ. ඒ අනුව, ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංඛ්‍යාව පහක් වනු ඇත. ඒවා නම්, කොළඹ (කටුනායක), හම්බන්තොට (මත්තල) යාපනය (පලාලි), මඩකලපුව සහ කොළඹ (රත්මලාන) වේ.

Jaffna International Airport