Namal and Cabraal at St. Kitts

ඩිජිටල් එන්නත් හැඳුනුම්පතක් පිළිබඳ නාමල් රාජපක්ෂගේ උනන්දුව මොකක්ද?

නාමල් රාජපක්ෂ සෞඛ්‍යය සම්බන්ධ ඇමතිවරයෙකු නොවේ. එහෙත්, පසුගිය මැයි 15දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වුණු එන්නත්කරණය පිළිබඳ සාකච්ඡාවකට සහභාගී වූ නාමල් රාජපක්ෂ පිටතට පැමිණ මාධ්‍යවලට ප්‍රකාශයක් කරමින් ඩිජිටල් එන්නත් හැඳුනුම්පතක් පිළිබඳ කතා කළේය. අන්තර්ජාලය හරහා ලියාපදිංචි කරමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දත්ත ලබාගැනීමේ හැකියාව පිළිබඳව ද ඔහු කතා කළේය.

එන්නත්කරණය සම්බන්ධ ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන ගැටලුව එන්නත් හිඟයයි. ශ්‍රී ලංකාවට නොමිලේ ලැබුණු එන්නත් මේ වන විට ලබාදෙමින් තිබේ. එය ද සිදුකරන්නේ ඉතා අවිධිමත් ආකාරයටයි. එන්නත් ලබාගන්නා අයගේ දත්ත ලබාගැනීමේ කිසිදු විධිමත් ක්‍රමයක් නැත. කෝවිඩ්-19 යනු කෙටි කලකින් විසඳී අවසන් වන ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිය. ඩිජිටල් එන්නත් හැඳුනුම්පතක් මගින් එන්නත්කරණය කළමනාකරණය කිරීම පහසු වනු ඇත.

එහෙත්, මෙහිදී ඊට වඩා වැදගත් කාරණයක් තිබේ. එනම්, මේ හැඳුනුම්පත් කෝටි දෙකක් පමණ අලුතින් සැකසීම පිටුපස තිබෙන දැවැන්ත ව්‍යාපාරයයි. එසේම, එන්නත්කරණයට කිසිදු අදාළකමක් නැති, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට මෙම කාඩ්පත පිළිබඳ තිබෙන අසාමාන්‍ය උනන්දුවයි. සාමාන්‍යයෙන් මේ කාඩ් සෙල්ලම් කාට හෝ අධික ලාභ ලැබිය හැකි ව්‍යාපාරයි.

මේ සමග දැක්වෙන පුවත්පත් නිවේදනය බලන්න.

කොවිඩ්-19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ වියදම් අතර දැනුවත් කිරීමේ වැඩසටහන් වෙනුවෙන් ගිය වියදම රු. මිලියන 68ක් ලෙස දැක්වේ. මේ මිල අධික දැනුවත් කිරීම් මොනවාද? මෙතරම් මුදලක් ලබාදුන්නේ කාටද? මේ ප්‍රශ්නවලට රජය පිළිතුරු ලබාදිය යුතුය. අධික වියදම්කාරී කාර්යයක් වන නිරෝධායනයට වැය කර තිබෙන මුදලටත් වඩා මේ ඊනියා දැනුවත් කිරීම්වලට ගිය වියදම වැඩිය.

එසේම, ගිලන් රථයක් වෙනුවෙන් ලක්ෂ 194ක් වැය කිරීම ද ප්‍රශ්නකාරී බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පෙන්වා දුන්නේය. ඔහු පවසන පරිදි බෙන්ස් සමාගමෙන් ගිලන් රථ මිලදීගත්තත් මෙතරම් මිලක් නොයන බවයි.

කොවිඩ්-19 යනු ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට හා ඔවුන්ගේ ආශ්‍රිතයන්ට දැවැන්ත ජාවාරමක් වී ඇති බව ඉතා පැහැදිලිය. විදෙස් ශ්‍රමිකයන් ලංකාවට ආපසු පැමිණීමේදී ගුවන් ටිකට්පතෙන්, හෝටල් නිරෝධායනයෙන් පමණක් නොව රෝගීන්ගෙන් පවා ගසාකෑම සිදුවේ. වරින්වර හඳුන්වාදුන් ඇප්, අන්තර්ජාල ලියාපදිංචිකිරීම්, වෙබ් අඩවි පවා මේ වංචාවේ කොටස්ය. ගොඩක් සද්දෙ දමා දියත් කරන ලද මේවා දැන් සොයාගන්නටවත් නැත.

මෙම පසුබිම තුළ ඩිජිටල් එන්නත් හැඳුනුම්පත කෙරෙහි ද පුරවැසියන් ඉතා පරීක්ෂාවෙන් සිටිය යුතුය.

මේ ලිපියත් කියවන්න: ඩිජිටල්කරණය නම් කෝකටත් තෛලය හා රාජ්‍ය අංශය

Creative Content Consultants

ඩිජිටල් හැඳුනුම්පත ගැන පුවතක් මෙතැනින්