Indrani Wijebandara

ඉන්ද්‍රානි: සිසිරගේ දැවැන්ත සෙවණැල්ලෙන් මුවා වුණ ගායන පෞරුෂය

ඇය මාපා හාමු මුදියන්සේලාගේ ඉන්ද්‍රාණි විජයබණ්ඩාර ය. ඇයට තිබුණේ වීණාවක් වැනි ඉසියුම් කිංකිණි නාදයකි.

ඉන්ද්‍රානි විජයබණ්ඩාර උපන්නේ 1936 ජුලි 15දා ය. ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් සහ දේවි බාලිකා විදුහල්වල ය. පාසල් ගායිකාවක ලෙස දස්කම් දැක්වූ ඇය ගරු මර්සලීන් ජයකොඩි පියතුමා විසින් සුනිල් ශාන්තයන්ට හඳුන්වා දෙනු ලැබ, ගුවන් විදුලියට වසර 25ක් පිරීම නිමින්තෙන් 1956දී සුනිලුන් සමග ලෝ පුරා රැව් නඟා ආසිරී යි ගුවන් විදුලි සමරු ගීය ගයමින් කලා ක්ෂේත්‍රයට පිවිසුණා ය. ඉන් පසු ඇය ගුවන් විදුලියේ සරස්වතී මණ්ඩපය ද පොබ කළා ය.

රේඛාව චිත්‍රපටයට ඉන්ද්‍රානි ගායනා කළ ‘සුදු සඳ එළියේ’, ‘වෙසක් කැකුළු අතු අග හිඳ’ ගීත සදානුස්මරණීය ය. මර්සලීන් ජයකොඩි පියතුමා රචනා කළ, සුනිල් ශාන්තයන්ගේ තනු හැදූ මෙම ගීවලට සංගීතය සැපයුවේ ලන්ඩනයේ රෝයල් කොලේජ් ඔෆ් මියුසික් ආයතනයේ බටහිර සංගීත ඩිප්ලෝමාධාරියකු වූ බී.එස්. පෙරේරා ය. රේඛාව චිත්‍රපටයේ ගායනා වෙනුවෙන් ඇයට 1957දී දීපශිඛා සම්මානය ලැබිණි.


ඇගේ නමත් සමග හැමවිට ම පාහේ එකට ඇසුණු අනෙක් නම සිසිර සේනාරත්න ය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයේ ගී ගයන්නට පැමිණ සිටියදී ඇය හඳුනාගත් සිසිර 1962දී විවාපත් වූ හ. සිසිර සහ ඉන්ද්‍රානි යුවල කලක් තම නම්වල මුලකුරුවලින් සකසා ගත් සිසීන්ද්‍රා නම් වූ ප්‍රසංගය රට පුරාත්, විදෙස් රටවලත් ඉදිරිපත් කළ හ. පහත දැක්වෙන්නේ සිසීන්ද්‍රා ප්‍රසංගයකදී ඇය සජීවීව ගායනා කළ ගීයකි.

පසු කලෙක ඇගේ සමස්ත සංගීත වෘත්තිය ම සිසිර සේනාරත්නයන්ගේ දැවැන්ත සෙවණැල්ල තුළ සිදු වූ බව පෙනේ. 1950 දශකයේ අගභාගයෙන් පසු ඇය ගායනා කළ සියලු ගීතවල සංගීත නිර්මාණ සිසිර සේනාරත්නයන්ගේ ය. ඇය සිසිර තරම් ඇගයීමකට පාත්‍ර නොවුණේත්, ඇය ගැන වැඩි දෙයක් ලියැවී හෝ කතාබහක් සිදු වී නැත්තේත් එහෙයින් විය හැකි ය. එහෙත්, ඇය ඇයට ම අනන්‍ය වූ ගායනා පෞරුෂයකි. බටහිර සංගීත ආරෙන් ගැයෙන ‘ඔබ ගතින් මා ළඟයි’ ගීය ඇගේ ගායන පෞරුෂයට කදිම නිදසුනකි.

ගොළු හදවත කතාව පසුබිම් කරගෙන කරුණාසේන ජයලත් රචනා කළ ඇය සිසිර සමග ගැයූ ‘නුහුරු නුපුරුදු රහස පිළිබඳ’ ගීයේ ප්‍රේමනීයත්වය තුරුණු හදවත්වල නිදන් වී තිබේ.

ගී 400කට වඩා ගායනා කළ ඉන්ද්‍රානි සේනාරත්නයන් සිංහල ජාතිය පවතින තාක් කල් නොමැකී පවතින ඉතිහාසයක් ඉතිරි කර ගොස් තිබේ.